Wednesday, July 16, 2014

අබිරහස් සොයා බයිකල් විලේ පතුළට!

ලෝකයේ විශාලතම හා ගැඹුරුතම මිරිදිය විල තමා බයිකල් විල. බයිකල් විල පිහිටා තිබෙන්නේ රුසියාවේ. මීට වසර 4කට පෙර, 2008 ජූලි 29 වැනිදා බයිකල් විලේ අබිරහස් සොයා කුඩා රුසියානු සබ්මැරීනයක් බයිකල් විලේ ගැඹුරුතම පතුළ බලා ගමන් කිරීමට සමත් විණි. මිරිදිය විලක ගැඹුරුම පතුළට ගවේෂණ චාරිකාවක් ලෙස මෙය වාර්තා පොත්වලටද එක්විණි.


මෙම විද්‍යාත්මක ගවේෂණ චාරිකාවේ සංවිධානය කරනු ලැබුවේ ක්‍රෙම්ලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ආක්ටික් ගවේෂකයෙක් ලෙස ප‍්‍රසිද්ධ ආතර් චිලිංගාරෝව් විසිනි. ආතර් චිලිංගාරෝව් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායම මීට පෙර උත්තර ධ‍්‍රැවයේ මූදු පතුළ ගවේෂණය කර රුසියානු ධජයක් පවා එහි සිටවූහ. මෙම ගවේෂණ චාරිකාවට දේශපාලනමය පසුබිමක්ද තිබේ. එක්සත් රුසියා පක්ෂයේ පූර්ණ අනුග‍්‍රහය තමාට ලැබුණු බව ආතර් චිලිංගාරෝව් පවසයි.


බයිකල් විලේ පතුළට යමින් වාර්තාවක් පිහිටුවීමට හැකිවූයේ රුසියාවේ නිෂ්පාදිත මීර් 2 නම් කුඩා යාන්ති‍්‍රක සබ්මැරීනයටයි. එය බයිකල් විලේ මීටර 1,680 ක් (අඩි 5,512) ගැඹුරු පතුළට ළඟාවිණි. මෙම ගවේෂණය ඇරඹීමේ ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ගෝලීය උණුසුම බයිකල් විලට කෙසේ බලපාන්නේදැයි තේරුම් ගැනීමටයි. එමෙන්ම විල් පතුළේ තෙල් හෝ වායු තිබේදැයි දැන ගැනීමටද මෙම ගවේෂණය ඉවහල් වෙයි. ‘අපට ඕනෑ බයිකල් විල හොඳින් අධ්‍යනය කිරීමට සහ එය ආරක්ෂා කර ගන්නයි’ ගවේෂණය ඇරඹීමට මොහොතකට පෙර බයිකල් විලේ පිහිටා ඇති ‘තර්කා’ නම් තොටුපොළේ මීර් 1 සහ 2 සබ්මැරීන සූදානම් කරමින් සිටි අවස්ථාවේදී ආතර් චිලිංගාරෝව් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.


සෙමින් සෙමින් විලේ අඳුරු මෙන්ම ගැඹුරු පතුළට යද්දී විවිධ ගැඹුරු සීමාවන්වලදී ජල සාම්පල සහ පස් සාම්පල එකතු කර ගැනීමක් සිදු කෙරිණි. මීට පෙර හඳුනා නොගත් නව ජීවීන් කිහිප දෙනෙක් සොයා ගැනීමටද ගවේෂණ කණ්ඩායමට හැකිවිණි. මේ වන විට බයිකල් විලට පමණක් ආවේණීක වූ ජීවීන් 1,700 ක් සිටිති.

බයිකල් විල, ‘බ්ලූ අයි ඔෆ් සයිබීරියා’ නැතහොත් ‘සයිබීරියාවේ නිල් ඇස’ ලෙසින්ද හැඳින්වේ. ධාරිතාව අතින් ලොව විශාලතම මිරිදිය පොකුණ ලෙස සැලකෙන්නේ ද මේ බයිකල් විලය. 1996 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස බයිකල් විල නම් කෙරිණි.

Source  :  malkakulu web

පොළොව යට විස්මිත සවාරියක්


ලෙන්, උමං ආදියෙන් පිරි මේ ලෝකය අති සුන්දර එකක්. ආලෝකය නැති නිසා ඒවායේ ලස්සන බලන්න, ඉතාමත් අසීරුයි.

පොළෝ ගර්භයේ පිහිටි පාෂාණ රටා ආලෝකමත් කළ විට අදහගන්න බැරි තරම් ලස්සනයි! හරියට පිට සක්වළ පරිසරයක් කියල පහසුවෙන් ම රැවටෙන්නත් පුළුවන්.

මේ විස්මිත ලෙන් උමං පද්ධතිය ඇත්තේ නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ (Austria) ඔබීර් ට්‍රොප්ස්ටින් (Obir Tropfsteinh) නම් ස්ථානයේයි.

 
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ මේ නව උමං පද්ධතියේ පුංචි ලෙනක් තුළ වතුර කාන්දු වන ආකාරය මනින්න විද්‍යාත්මක උපකරණ සවි කරන අයුරු.

ලෙන් හා උමං ලෙස පොළොවේ අඩි සියගණනක් ඈතට විහිදී ගිය මේවා ගවේශනය කිරීමෙන් අවට ප‍්‍රදේශවල දේශගුණික වෙනස්කම් සිදු වන ආකාරය ගැන ඇති ගැටලූ විසඳා ගන්නට උපකාර වෙතැයි විද්‍යාඥයන්ගේ විශ්වාස කරනවා.

ඔස්ටි‍්‍රයාවේ ඇල්ප්ස් කඳුකරයේ පාෂාණ තුළින් වසර බිලියන ගණනක් තිස්සේ ජලය කාන්දු වූ ආකාරය සිතියම් ගත කරන්නට විද්‍යාඥයන් මෙහි සිට විශාල ප‍්‍රයත්නයක් දරනවා.

ඔවුන් භූගත ජලාශවලට ජලය යන මාර්ග සොයා ගැනීමට ප‍්‍රතිදීප්ත ඩයි වර්ගයක් පාවිච්චි කරනවා.

බි‍්‍රතාන්‍ය ඡායාරූප ශීල්පී රොබී ස්ටෝන් අඩි සිය ගණනක් පොළොව යටට විද්‍යාඥයන් සමග ගියා, මේ ලෙන් හා ඒවා තුළ ඇති ස්ඵටික මෙන් ම පාෂාණ රටා නරඹන්න හා ඡායාරූපයට නගන්න.

 
ආචාර්ය ජිනා මෝස්ලි ඔස්ටි‍්‍රයාවේ ටිරෝල්හී ඉපැරණි ලෙනක් වන ග්ලෝකන් සැචැට් තුළට කඹයක ආධාරයෙන් බසින අයුරු.

 
ඔස්ටි‍්‍රයාවේ ලෙන් ගවේශනයේ යෙදුණු ආචාර්ය ජිනා මෝස්ලි කඹයක ආධාරයෙන් ලෙන් විවරයෙන් එළියට ආ අයුරු. සරුවට වැඩුණු කොළ පැහැති ශාකවලින් ලෙන් විවරය වට වී ඇති අයුරු බලන්න.

 
ඔස්ටි‍්‍රයාවේ මේහොෆෙන්වලට ඉහළින් ඇති හින්ටර්ටක්ස් ග්ලැසියරය තුළ පාෂාණ රටා විහිදී ඇති අන්දම.

මැන්චෙස්ටර් නගරයෙන් ආ මේ 32 හැවිරිදි ඡායාරූප ශිල්පී රොබී මේ අත්දැකීම ගැන කියන්නේ මෙහෙමයි: ”ලෙන් ඉතා අසීරු, අනුකම්පා විරහිත ස්ථානයි. ඒ පරිසරය ඉතා දුෂ්කරයි. මොනම විදියක හෝ ආලෝකයක් නැති මුළුමනින් අඳුර රජ කරන ඒ වගේ තැන්වල අඩිය තියන්න ඕනෑ ඉතා පරිස්සමෙන්. කොයි වේලේ අනතුරක් වෙයිද කියන්න බැහැ”.

එහි අනතුරුදායක තත්වය නොසලකා රොබී ඒ ලෙන් හා උමං තුළට කැමරා ආම්පන්න හා අලෝක කරන උපකරණ රැගෙන ගියේ ලෙන් තුළ ඇති ඒ විස්මිත දසුන් ඔබ වෙත ගෙන එන්නයි.

 
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ කැටර්ලොක් ලෙන තුළ ජලය රැස්වී ඇති අයුරු.

 
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ කැටර්ලොක් ලෙන.

 
ආචාර්ය උපාධියට හදාරන සුසාන් බ්රෑන්ඞ්ස්ටටර් ඔස්ටි‍්‍රයාවේ මේහොෆෙන්වලට ඉහළින් ඇති හින්ටර්යක්ස් ග්ලැසියරය තුළ ගල් ලෙනක් පරීක්ෂා කරද්දී.

”මේ පින්තූර දකින බොහොම දෙනෙක් විස්මයට පත් වන්නේ ඔවුන් කිසිදාක මෙවැනි දසුන් දැක නොමැති නිසයි. ඒ විතරක් නොවෙයි, වැඩි දෙනෙක් මේ වගේ ගැඹුරු තැන්වලට යන්නේ නැහැ. මේ වගේ ලෝකයක් තමන්ගෙ දෙපා යට තියෙනව කියල ඔවුන් කවදාවත් හිතන්නවත් නැතුව ඇති.

”මේ විදියට පොළොව යට ලෙන් උමං ආදිය දිහා බලන්න ලැබෙන්නෙ කලාතුරකින්. ඒ මොකද ලෙන් ගවේශනය කරන අය වුනත් යන්නේ හිසේ පුංචි ටෝච් එකක් එක්ක. ඔවුන්ට මෙහි ලස්සන පේන්නේ වරකට එළිය වැටෙන පුංචි ප‍්‍රදේශයක විතරයි. මේ විදියට ලොකු ආලෝක ධාරා ගෙනිහින් ආලෝකමත් කරල පින්තූර ගන්නේ පළමු වතාවටයි.” ඔහු වැඩිදුරටත් කියනවා.



Source  :  malkakulu web

මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට පිළිතුරු!


සියවස් ගානක් තිස්සේ මිනිසාගේ සිත කැලඹූ ලොකුම ප‍්‍රශ්නය 
‘විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?’
යන්නයි.
දැනට බි‍්‍රතාන්‍යයේ කර ඇති අලූත්ම සමීක්ෂණයකට අනුව අපට විසඳා ගත නොහැකිව ඇති ගැටලූ අතර තවමත් ඉහළින් ම ඇති ගැටලූව එයයි.

ඒ සමික්ෂණයේ දෙවැනි තැන් ගෙන ඇත්තේ පිළිකාව නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හමුවන්නේ කවදාද? යන්නයි. ඊළඟට බොහෝ දෙනා නැගූ ප‍්‍රශ්න නම් ‘දෙවියන් සිටින බව කවදා හෝ ඔප්පු කළ හැකි වේද?’ යන්නයි.

 
ඊටී (ET): බොහෝ දෙනා නගන ලොකුම ප‍්‍රශ්නය ‘විශ්වයේ අප ඉන්නේ තනිවම ද?’ යන්නයි.

ලොකුම ප‍්‍රශ්න ලැයිස්තුවේ තවත් පහළට යන කොට සාමාන්‍ය ප‍්‍රශ්නත් සමහරුන්ට ලොකු ගැටලූ ලෙසට පෙනුණා. ඒ එකක් තමයි, ශීතකරණය වහපුවාම ‘දොරේ ලයිට් එක ඇත්තට ම නිවෙනවාද?’ යන්න.

බි‍්‍රතාන්‍යයේ ඊඞ්න් ටීවී චැනලය 2000 දෙනකු යොදා ගෙන ලෝකයේ ලොකුම ගැටලූ 10 ගැන මත විමසුමක් කළා.
එහි දී විශ්වය කොතරම් විශාල ද? කාලයේ ආපස්සට යා හැකි ද? ඉස්සෙල්ලා ආවේ බිත්තරය ද? කිකිළි ද? කාලාන්තරයක් තිස්සේ මිනිස් හිතට වද දුන් ප‍්‍රශ්න 10 තෝරන්නයි, මේ මත විමසුම කළේ.

ඒඞ්න් ටීවී චැනලය විසින් අලූතින් අරඹන ලද ‘විද්‍යා මාසය’ නම් වැඩ සටහන දියත් කිරීම නිමිත්තෙන් තමයි, මේ මත විමසුම සිදු කළේ. එහි දී හෙළිදරවු වුණු එක් කරුණක් වන්නේ බි‍්‍රතාන්‍යයේ වැඩිහිටි අයගෙන් හතරෙන් තුනක් විද්‍යාව ගැන උනන්දුවක් අතර ඔවුන් ඒ සම්බන්ධ පුවත් වඩාත් නිවැරදිව හා සවිස්තරව අසන්නට කැමති බවයි.

බි‍්‍රතාන්‍යයේ සේවයේ තොරතුරු අංශයේ සාමාන්‍යාධිකාරී ඒඞ්රියන් විල්ස් මේ මත විමසුම ගැන කියන්නේ මෙහෙමයි:

”මීට වසර 500කට ඉස්සර ලෝකයේ වැඩි දෙනා සිතා සිටියේ ලෝකය පැතලියි කියායි. ඒත් දැන් මේ තත්වය වෙනස් වෙලා. විද්‍යාව ගැන අපේ ඇති අවබෝධය සීග‍්‍රයෙන් වැඩි වේගන යනවා.

”අපේ මත විමසුමෙන් පෙනී යනවා, තවමත් අප වැඩි දෙනකු විශ්වයේ අපේ තැන ගැන, අප දන්නා තරම ගැන ප‍්‍රශ්න කරන බව. තවමත් අපට විසඳාගත නොහැකිව ඇති ලොකුම ගැටලූ ඇති බව.

”අප උත්සහ කළා ‘ඒඞ්න් විද්‍යා මාසය’ ඔස්සේ මේ ගැටලූවලට මෙතෙක් දී ඇති විසඳුම් ඉදිරිපත් කරන්නට. ඒත් එකක් පැහැදිලියි, මේ අතින් අපට තවත් බොහෝ ඉගෙන ගත යුතුව තියෙනවා.”

මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට ........ මෙන්න පිළිතුරු


1.විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?
විද්‍යාඥයන් කියන්නේ විශ්වයේ බුද්ධිමත් ජීවයක් බිහි වීමට අවශ්‍ය තත්වයන් ඇති, එවැනි ජීවියකුට මතු වීමට හැකියාව ඇති, තවත් ග‍්‍රහ ලෝක පද්ධති රැසක් තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, එවැනි ජීවියකු ඇත් නම් ඔවුන් සොයා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතට යන්නට, ඔවුන් හා සබඳකම් පවත්වන්නට ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුම හා හැකියාව තවමත් අප විසින් ඇති කර ගෙන නැහැ.

2. පිළිකාව සුව කළ හැකි පිළියමක් කවදා හෝ සොයා ගත හැකිවේද?
මේ සම්බන්ධව විස්මිත නව ප‍්‍රතිකාර ක‍්‍රම පර්යේෂණ මගින් නොකඩවා සොයා ගනිමින් තියෙනවා. ඒවා භාවිත කරමින් වැඩි කලක් දිවි රැක ගෙන සිටීමේ හැකියාව දැන් තියෙනවා. ඒත් තවමත් පිළිකා නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හෝ එක රැයින් පිළිකාව තුරන් කළ හැකි ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නැහැ. හැබැයි, රෝගීන්ගේ ජීවත්ව සිටීමේ කාලය එන්න එන්න ම වැඩි කළ හැකි පිළියම් නම් සොයා ගනිමින් තියෙනවා.

3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

4.විශ්වය කෙතරම් විශාල ද?
සමහර තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයට සීමාවක්, ප‍්‍රමාණයක් නැතැයි කියායි. අනෙක් අය පිළිගන්නේ බිග් බෑන් හෙවත් මහා පිපිරුමෙන් පසු විශ්වය විශාල වෙමින් ගොස් දැන් ආලෝක වර්ෂ බිලියන 150ක් තරම් දුරකට පැතිර ඇති බවයි.

5.පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ කෙසේ ද? කොතැන ද?
ජීවයේ ආරම්භය ගැන පළ කළ මත ගණනාවක් තියෙනවා. විවිධ බැක්ටීරියාවන් සංජීවි සම්බන්ධතා ඇති කර ගනිමින් සංවහන ප‍්‍රවාහ ඔස්සේ පෘථිවි පෘෂ්ඨය පසා කර ගෙන යාමෙන් ජීවය බිහි වීමට මග පෑදුණු බව තමයි, ඉන් බොහොමයකින් ම කියැවෙන්නේ.

6.කාල චාරිකාව (time travel) සැබෑ කළ හැක්කක් ද?
අභ්‍යවකාශ කාල වියමන තුළ ‘පණු සිදුරු’ (wormholes) යනුවෙන් හැඳින්වෙන කෙටි මං තියෙනවා, න්‍යායාත්මකව කාල චාරිකාවෙහි යෙදිය හැකි. කොහොම වුනත්, මේ පණු සිදුරු ඇති තැන් කෙළින්ම දැක ගන්න බැහැ. එවැනි එකක් විවෘත කර ගන්න විකර්ෂ ගුරුත්වයක් ඕනෑ වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට ක‍්‍රමයක් තවමත් පෑදී නැහැ.

7.අපට කවදා හෝ අභ්‍යවකාශයෙහි ජනාවාසයක් ඇති කර ගත හැකි වෙයි ද?
සමහර විට හැකි වේවි. ඇතැම් අය කියන්නේ අපට මේ පෘථිවියෙහි ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වුවහොත් අප අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙනත් තැනක ජනාවාස පිහිටුවීම ගැන බරපතල ලෙස සිතිය යුතුය කියායි. ඇමරිකාවේ නාසා ආයතනය දැනටමත් වෙනත් ග‍්‍රහ ලෝකවල හා චන්ද්‍රයන්වල පරිසරය වෙනස් කොට පෘථිවි පරිසරයට සමාන අයුරින් සකස් කිරීම සඳහා සාකච්ඡා පවත්වා තියෙනවා.

8.තෙල් වෙනුවට එන විකල්පය කුමක්ද? එන්නේ කවදාද?
විකල්ප බල ශක්ති සම්පත් ගණනාවක් ම තියෙනවා. ඒත් ඒවා තෙල් වෙනුවට විකල්ප වශයෙන් යොදා ගැනීමට තරම් වියදම් අඩු කාර්යක්ෂම ඒවා නොවෙයි. ඒත් දැන් නැනෝ තාක්ෂණ විද්‍යාව ඔස්සේ දියුණු කර ගෙන යන නව ක‍්‍රමවලින් මෙයට පිළිතුරක් ලැබේවි කියලා හිතන්න පුළුවන්.

9.විශ්වය අවසන් වන්නේ කෙසේ ද?
විශ්වයේ අවසානය ගැන දක්වපු න්‍යායික මත අතර විශ්වය විශාල වෙමින් ගොස් එසේ විශාල වීම නවතින මොහොතේ විශ්වයේ විනාශය ඉබේම සිදු වෙනවා යන මතය ප‍්‍රධානයි. එසේ වන්නේ එය විශාලනය වීමත් සමග ම ක‍්‍රමයෙන් ශීතල වෙමින් යාමයි. විශාල වීම නවතින්නේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යය වන විටයි; එනම් කෙල්වින් අගය බින්දුව (-273.15°c) වන විටයි. එහි දී අඳුරු ශක්තිය (dark energy) විසින් ගුරුත්ව ශක්තිය ගිල ගන්නවා කියලයි විශ්වාස කරන්නෙ.

10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

Source  :  malkakulu web

අරුම පුදුම ගිනි වළක් - අපායේ දොරටුව

 

මෙය බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධයක එන දර්ශනයක් වාගෙයි.

ඒත් මේ යෝධ ගිනි වළ ඇත්තේ කාරාකුම් කාන්තාරයේ මැදයි. මෙය සක්වළ ජීවීන් පෘථිවියට කළ පහරදීමකින් පසු සෑදුණු එකක් නොවෙයි.
මෙය  මීට වසර 40කට පෙර භූවිද්‍යාඥයන් විසින් ඇති කළ එකක්. එදා සිට මේ දක්වා ගිනි ගෙන දැවෙනවා. නිවා දමන්න ඒ කිසිවකුටත් හැකි වී නැහැ.

එන්න, බලන්න යන්න රුසියාවේ තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස්වලට. ‘අපායේ දොරටුව’ යනුවෙන් මෙහි ප‍්‍රදේශවාසීන් හඳුන්වන මේ අරුම පුදුම ගිනි වළ බලන්න යන්න.

 
‘අපායේ දොරටුව’ ලෙස හැඳින්වෙන තැන පිහිටි දැවෙමින් තිබෙන දැවැන්ත පොළෝ කුහරයේ දාරය අසල සිටින මිනිසුන් දෙදෙනාගෙන් ඔබට එහි ප‍්‍රමාණය සිතා ගත හැකියි.

මීට අවුරුදු 41කට පෙර මෙහි කැණීම් කළ සෝවියට් භූවිද්‍යාඥයන්ගේ කැණීම් යොමු වුණේ ස්වාභාවික වායුව පිරි අඳුරු ගුහාවකටයි. එහි වූ වායුව පිට වෙන්න පටන් ගත්තා. පසුව ඒ සිදුර ලොකුවෙලා ඔවුන්ගේ කැණීම් අට්ටාලය ඇතුළට කඩා වැටුණා. එහි මීටර් 70ක වළක් සෑදුණා.

ඔවුන් සිතුවා පසුව මෙයින් විෂ වායුවක් නිකුත් වුණොත් එයින් අනතුරක් වේවි කියලා. ඒ නිසා එය පුළුස්සා හරින්නට සිතා ඊට ගිනි තිබ්බා. ඔවුන් සිතුවේ දින කීපයකින් මෙය පිළිස්සී අවසන් වේවිය කියා. ඒත් ඒක වුණේ නැහැ.

 
තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස් හී ඇති ගිනි ගෙන දැවෙන දැවැන්ත පොළෝ කුහරය මීටර් 70ක් පළලයි.

 
කරකාකුම් කාන්තාරයේ මැද පිහිටි මෙම යෝධ ආවාට විවරය තුළින් ගිනි දලූ විහිදෙන අයුරු.

 
මෙම ගින්න දැනට වසර 40කටත් වැඩි කාලයක් තිස්සේ මෙසේ දැවෙමින් තියෙනවා.

 
ස්වදේශිකයන් ‘අපායේ දොරටුව’ යනුවෙන් හඳුන්වන මේ විස්මිත විවරය ළං වී බලතොත් පෙනෙන්නේ මෙසේයි.

 
මේ ගින්න හටගත්තේ සෝවියට් භූවිද්‍යාඥයන් පිරිසක් මෙහි කැණීම් කරද්දී මතු වූ ස්වාභාවික වායු ධාරාවක් පුළුස්සා හරින්නට තැත් කළ අවස්ථාවේදියි.

 
‘අපායේ දොරටුව’ පිහිටි තැන. මෙය ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ (Turkmenistan) කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze) හියි.

සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.

මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා. මේ ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.

මෙය පිහිටා ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතිනි.

2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කක් නොවෙයි. මේ කාන්තාරය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට නැගෙනහිරින්.

ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමු දර්යා ගංගාව හා කිසිල් කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා.

මෙම ප‍්‍රදේශයෙහි විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි ඇතැයි සැලකෙනවා.

 
මෙය ඒ කලාපයේ හොඳ මඟ සලකුණක් වී හමාරයි. සැතැපුම් ගණනක් ඈත සිට මෙය දැකිය හැකියි.

 
මේ ගිනි වළ පෙනෙන්නේ ඒ කාන්තරය මැද ඇති රන්වන් පැහැ මිරිඟුවක් ලෙසයි.

 
1971 දී තෙල් ගවේෂණය සඳහා කළ කැණීමක දී මෙහි ඉදි කළ තාවකාලික අට්ටාලය කඩා වැටී මෙහි පතුල නොපෙනෙන දැවැන්ත සිදුරක් ඇති වුණා.


 
සෝවියට් භූ විද්‍යාඥයන් විසින් ඇති කළ මෙම සිදුර දැන් සංචාරක ආකර්ෂණයක් වෙලා. වසර 40ක් තිස්සේ මෙය දැක බලා ගන්නට පිරිස් නොකඩවා එනවා.

 
භූ විද්‍යාඥයන් මෙහි ඇති වායුව දින කීපයකින් දැවී අවසන් වෙතැයි කියායි. එහෙත් අදත් එක සේ ගිනි ගෙන දැවෙමින් තියෙනවා.
 
 

Source  malkakulu web

තුන්ගස්කා මහා පිපිරුමේ අබිරහස!


මීට වසර 104 කට ඉස්සර රුසියාවේ බටහිර සයිබීරියාවේ ටයිගා වගුරු වනාන්තරයට ඉහළ අහසේ දැවැන්ත පිපිරීමක් සිදු වුණා. මෙම පිපිරීම අදත් විශාල අබිරහසක්. මේ පිපිරීමෙන් නිකුත් වූ දිප්තිමත් ආලෝකය ඈත අහසට විහිදුණා. එයින් ඇති වූ කම්පන තරංගය පරමාණු බෝම්බ දහසක් පිපිරුවාට සමානයි. ඒ පිපිරුම නිසා වර්ග කිලෝමීටර 2000 කට වැඩි ප‍්‍රදේශයක පිහිටි රූස්ස ගස් 80,00,000 කට වැඩි ප‍්‍රමාණයක් පොළොවට සමතලා වුණා. උතුරු සයිබීරියාවේ ඉවෙන්කි ගෝති‍්‍රක ජනයා මේ පිපිරීමේ දී තම නිවෙස් හා සතුන් අහසට ඇදී ගිය හැටි විස්තර කර තියෙනවා. එතැන සිට කි.මි. 1,500 ක් ඈතින් පිහිටි ඉර්කුට්ස්හී ඇති කම්පන මානවල එය දක්වා ඇත්තේ දැවැන්ත භූමිකම්පාවක් ලෙසයි. මෙයින් ගිනි බෝලයක් මෙන් ඉහළ අහසට නැගි ආලෝකයෙන් එදා රෑ ලන්ඩන් වැසියන් පුවත්පත් පවා කියවූ බව සඳහන්.


මේ අපූරු අද්භූත සංසිද්ධිය හැඳින්වෙන්නේ ‘තුන්ගුස්කා සිදුවීම’ කියලයි. ඒ නම ඊට ලැබුණේ ඒ අසලින් ගලන තුන්ගුස්කා ගංගාව නිසයි.

හරියට ම මීට සියවසකට ඉස්සර සිදු වුණු මේ පිපිරීමට හේතුව තවමත් හරියට ම නිශ්චිතව කියන්න අමාරුයි. ඒත් විද්‍යාඥයන් නම් මත කීපයක් ම පළ කරලා තියෙනවා. ප‍්‍රධාන මතය තමා වසර මිලියන ගානක් තිස්සේ සක්වළ පුරා සැරිසැරූ යෝධ උල්කාවක් හදිසියේ ම 1908 ජූනි 30 වැනිදා උදේ 7:17 ට පොළොවට කඩා වැටුණු බව. මෙවැනි උල්කා කඩා වැටීම ගැන විමසිල්ලෙන් සිටින විද්‍යාඥයන් මේ ගැන තොරතුරු තවමත් සොයනවා. ඔවුන් කියන්නේ මෙවැනි උල්කා කඩා වැටීමක් වසර 200කට වරක් හා වසර 1000 කට වරක් අතර කාල පරාසයක් තුළ පෘථිවියට කඩා වැදීමේ ඉඩකඩක් තියෙන බවයි.


‘‘සිතා බලන්න, අහසේ පාවෙමින් ඇති ග‍්‍රහකයක්, විශාල පාෂාණ කුට්ටියක් තුන්ගුස්කා වැනි ජනශූන්‍ය ප‍්‍රදේශයකට නොව අද ලොව ජනාකීර්ණ ප‍්‍රදේශකට වැටුණොත් කෙතරම් විනාශයක් සිදු වෙයි ද?’’ මේ ගැන විස්තරයක් පළ කරමින් ලෝකප‍්‍රකට ‘නේචර්’ විද්‍යා සඟරාව පසුගිය සතියේ ප‍්‍රශ්න කර සිටියා.

ඒ මහා පිපිරුමට හේතුව ග‍්‍රහකයක් නම් එවැනි ග‍්‍රහක ලක්ෂ ගණනක් ඇති වළල්ලක් ම තියෙනවා, අඟහරු හා බෘහස්පතී ග‍්‍රහයන් අතර. ඒ  ඕනෑම එකක් යන ගමන් මගින් වෙනස් වී ඇවිත් පෘථිවියේ හැපෙන්න පුළුවන්. එහෙම නැතිව ඒ පිපිරීම ඇති වුණේ වල්ගාතරුවක් හෙවත් ධුමකේතුවක් පොළොවට කඩා වැටීම නිසා නම් තත්වය තවත් භයානකයි. ධුමකේතුවක් ග‍්‍රහකයකට වඩා ඉතා වැඩි වේගයකින් යන නිසා එවැන්නක් පොළොවේ හැපුණොත් වන විනාශය අති විශාලයි.


තුන්ගුස්කා සිද්ධියට හේතු වූයේ යැයි සැලකෙන උල්කාවේ කුඩා කැබැල්ලක්වත් මේ වසර 100 තිස්සේ ම කෙතරම් සෙව්වත් තවමත් හමුවී නැහැ.

‘‘කෑල්ලක් සොයා ගැනීම තමා වැදගත් ම දේ. එයින් අපට පෘථිවි ආසන්න වස්තූන්ගෙන් එල්ල විය හැකි අවදානම ගැන ඇති අපේ දැනුම වැඩි කර ගත හැකියි.’’ ඒ ගැන පර්යේෂණය කරන ඉතාලි පර්යේෂකයන් වන ලූකා ගැස්පෙරිනි, එන්රිකෝ බොනාටි හා ගුයිසෙප් ලොංගෝ කියනවා.

අලූත් ග‍්‍රහයකයක් හඳුනාගත් විට වසර ගණනාවක් තිස්සේ ආ මගත් එහි අනාගත ගමන් මගත් යෙදෙන කක්ෂය අඳින්න පුළුවන්. ඒත් ධූමකේතුවක ගමන්මග ඒ විදියට නිශ්චිතව අඳින්න බැහැ.



මිදී ඝන වූ න්‍යෂ්ටියක් හා දූවිලි වළාවක් සහිත වල්ගයක් ඇති මේ ධූම කේතු සංඛ්‍යාවෙන් ග‍්‍රහකවලට වඩා අඩුයි. විකේන්ද්‍රික එනම් කේන්ද්‍රයක් නැති කක්ෂයක ගමන් කරන නිසා කොයිවේලේ කොහෙන් මතු වේවි දැයි කිව නොහැකියි. සමහර ධුමකේතුවකට හිරු වටා යාමට වසර සිය ගණනක් ගත වෙනවා. ඒ නිසා තවමත් අප හඳුනා නොගත් ධුමකේතු තියෙනවා. ඒ නිසා නොදන්නා ධූමකේතුවකින් එවැනි අවදානමක් කොයි වේලේ එල්ල වේවි දැයි කියන්න බැහැ. 
 

 
 source  malkakulu web