Tuesday, September 23, 2014

විනිවිද පෙනෙන ජංගම දුරකතනය


ඉතා වේගයෙන් වෙනස් වේගන යන දුරකතන ලෝකයේ අලූත් ම පෙරළිය මෙයයි. මෙම විනිවිද පෙනෙන ජංගම දුරකතනය මේ වසර අගදී වෙළෙඳපොළට ඒවි.

පසුගියදා මෙය ඒ සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. තායිවානයේ පිහිටුවා ඇති පොලිටොන් ටෙක්නොලොජීස් නම් සමාගම තමයි, මේ නව නිපැයුමේ ගෞරවය හිමි කර ගෙන තියෙන්නේ.

විනිවිද පෙනෙන බහුකාර්ය ස්පර්ශක (multi-touch) තිරයකින් සමන්විත මෙම දුරකතනය 2013 දී අග භාගයේදී අළෙවි කරන්නට ඔවුන් විසින් කටයුතු කර තියෙනවා.

මෙහි මුලාකෘතියට ඔවුන් යොදා තියෙන්නේ ‘වෙනස් කළ හැකි වීදුරු තාක්ෂණය’ (Switchable Glass technology) යන අරුත් ඇති නව ක‍්‍රමයක්. ඒ ක‍්‍රමයට අනුව මෙහි රූප තිරයට ගෙනෙන්නේ ද්‍රව ස්ඵටික අණු යොදා ගෙනයි. සන්නයන ගුණ ඇති කාබනික ආලෝක විමෝචන ඩියෝඩ (OLED) රූප තිරය මත මැවීමට මෙහි දී භාවිත කෙරෙනවා.

 
මෙන්න විනිවිද පෙනෙන ජංගම දුරකතනය පෙනෙන හැටි!

දුරකතනය වසා තබා ඇති විට මෙහි අණු ඒකරාශී වී කිරි පැහැති සංයෝගයක් බවට පත් වෙනවා. ඒත් ස්විච් කළ වහාම ඒවා නැවත පෙළ ගැසී රූප සටහන්, සංකේත ඇතුළු වෙනත් ලකුණු තිරය මත මතු වෙනවා.
මෙයට විදුලි බලය සැපයෙන්නේ විනිවිද පෙනෙන වයරයකින්.

‘මේ වසර අගදී මෙය ඔබ වෙත එන බව ස්ථිරයි.’ පොලිටෝන් ප‍්‍රධාන කළමනාකාර සෑම් යූ කියනවා.

මේ මෙවලම තුළ සඟවන්න බැරි, ඒ කියන්නේ විනිවිද පෙනෙන්නට සැලැස්විය නොහැකි කොටස් කීපයක් තියෙනවා, එස්ඞී කාඞ්, සිම් කාඞ් වැනි. ඒ වගේම මයික්‍රෝෆෝනය, කැමරාව, බැටරි ආදියත් සඟවන්න බැහැ. මෙය නිෂ්පාදනයට යන විට ඒවා අඳුරු කළ වීදුරුවකින් මුවා කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

යූ කියන්නේ සමාගම මේ සඳහා කැපී නොපෙනෙන ආකාරයේ කුඩා ලිතියම් අයන් බැටරියක් මේ සඳහා නිපදවන බවයි.

 
තාක්ෂණයේ නව නැම්මක්! මේ දුරකතනයේ තිරය මත රූප මැවෙන්නේ ද්‍රව ස්ඵටික ක‍්‍රමයටයි.

ඔබ අතට එන විට මෙම දුරකතනයේ දෙපැත්තම පාවිච්චි කරන්න ඔබට හැකි වේවි. බහුවිධ ස්පර්ශක ක‍්‍රමය දෙපැත්තට ම යොදන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා කුමන සංකි‍්‍රයණ පද්ධතියක් (operating system) එනම් මෘදුකාංග(software)යක් යොදා ගන්නවාදැයි තවමත් තීරණය කර නැහැ. මෙවැනි මෙවලමකට ඇති වෙළඳපොළ ඉල්ලූම අනුවයි එය තීරණය කෙරෙන්නේ.

වසර ගණනක් තිස්සේ සැම්සුන් හා එල්ජී ආයතන විශාල ප‍්‍රමාණයේ විනිවිදක තිර ඉදිරිපත් කරනවා. ඒත් ඔවුන් පවා මේ තරම් කුඩා මෙවලම්වලට ඒ ක‍්‍රමය යොදන්න එතරම් උනන්දුවක් දක්වා නැහැ.

දැනටමත් ටෝකියෝ ෆ්ලෑෂ් සමාගම ඔවුන්ගේ අලූත්ම ඔරලෝසුවට, එනම් කිසයි ස්පයිඩර් අත් ඔරලෝසුවට විනිවිදක තිරයක් යොදා ගෙන තියෙනවා. එහෙත් එවැනි කුඩා රාමුවක් තුළට දෘඪාංග එක් කිරීමේ ගැටලූවට ඔවුන් මුහුණදීලා තියෙනවා.

‘ඔරලෝසුවකට විනිවිද තිරයක් සවි කිරීමේ දී මුහුණ පාන්නට වන ලොකුම අභියෝගය එන්නේ එහි බැටරිය තැන්පත් කිරීමෙදියි. සාමාන්‍යයෙන් ඒවා සවි කළ හැක්කේ ද්‍රව ස්ඵටික තිරය පසුපසයි.’ ටෝකියෝ ෆ්ලෑෂ් අළෙවි කළමනාකරු පෝල් කූපර් සඳහන් කර තියෙනවා.

 
මෙහි දී දුරකතනයේ අලංකාරය රැක ගන්නට, සැඟවිය නොහැකි කොටස් කළු වීදුරුවකින් ආවරණය කිරීමට ඔවුන් විසින් පියවර ගෙන තියෙනවා.

මේ නව පොලිටොන් විනිවිදක දුරකතනයේ දෘඪාංග භාවිත කිරීමට ඕනෑතරම් ඉඩකඩ තියෙනවා.

දැන් පැන නගින ගැටලූව මේ විනිවිදක තිරය පමණකින් ගැනුම්කරුවන් ආකර්ෂණ කළ හැකිද යන්නයි. ‘නෑ එය ම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. මෙහි රූප පතිත වීම ඉතා පැහැදිලියි. අද ඇති හොඳම රූප ගෙනෙන ‘ඇමොලෙඞ්’ (AMOLED) හා එල්සීඞී (LCD) තිරවලට සමානව ම මෙහි රූපත් ඉතා පැහැදිලියි. අද ඇති හැම ස්මාට් ෆෝන් එකක් තරමටම මෙයත් සමර්ථයි’ ඔවුන් මේ ගැන කියන්නේ එවැනි අදහසක්.



Taken fro malkakulu web

දැන් බිඳුණු අස්ථි වැඩෙන්න සලස්වන්න පුළුවන්!

කඳ සෛලවලින් තැනූ කෘති‍්‍රම අස්ථියක් හා නව සැහැල්ලූ ප්ලාස්ටික් අස්ථියක් යොදා ගෙන බිඳුණු අස්ථිවලට ප‍්‍රතිකාර කරන්න දැන් හැකියාව ලැබී තිබෙනවා. මේ ආරංචිය ලොව පුරා විකලාංග චිකිත්සක වෛද්‍යවරුන්ගේත් රෝගීන්ගේත් සිත්වල සහනයක් ගෙන දෙන්නක් වෙනවා නිසැකයි.

විද්‍යාඥයන්ගේ මේ නව සොයා ගැනීමට අනුව කඳ සෛල යොදා ගෙන තැනූ කෘති‍්‍රම අස්ථියත් සමග ප්ලාස්ටික් අස්ථිය සැත්කමකින් ඇතුළු කළ පසු බිඳුණු අස්ථිය ඒ තුළ නැවත වැඩෙන්න පටන් ගන්නවා.

 
‘දැන් මට වේදනාවක් දැනෙන්නේ හිනා වෙන කොට විතරයි.’ විස්මිත නව ප‍්‍රතිකාර ක‍්‍රමයක්.

මේ ප්ලාස්ටික්වල මී වදයක බඳු සැකිලි ව්‍යුහයක් තියෙනවා. ඒ තුළින් රුධිරය ගලා යා හැකි නිසා ඊට බද්ධ කොට ඇති, රෝගියාගේ ඇට මිදුලිවලින් ලබා ගත්, කඳ ෙසෙල වර්ධනය වී අලූත් අස්ථියක් එම ස්ථානයේ වැවෙන්න පටන් ගන්නවා.

ඒ අතර නව අස්ථිය වැඩෙත්ම ඒ නව අස්ථියට ඉඩ දෙමින් ප්ලාස්ටික් අස්ථිය කෙමෙන් ක්ෂය වී යනවා.

මේ නව ක‍්‍රමය සංවර්ධනය කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ හා සදම්ටන් විශ්ව විද්‍යාලවල පර්යේෂණ කණ්ඩායමක්.

රසායනාගාරවල කළ පර්යේෂණ සාර්ථක වීමෙන් පසු දැන් ඔවුන් මිනිසුන් සඳහා ශායනික අත්හදා බැලීම් පටන් අරන්.

විද්‍යාඥයන් වසර හතක්ම ගත කළා ප්ලාස්ටික් වර්ග තුනක් යොදා ගෙන, ඒවා එකට මුසු කරමින් නව අස්ථියට සුදුසු ද්‍රව්‍යය සොයා ගන්නට. ඊට කලින් ඔවුන් ප්ලාස්ටික් නිර්මාණය කරන සංයෝග සිය ගණනක් පරීක්ෂාවට ලක් කළා. ඔවුන් මේ කඳ සෛල වැඩෙන්නට සුදුසු පරිසරයක් ඇති කළ හැකි ශක්තිමත්, සැහැල්ලූ ද්‍රව්‍යයක් නිපදවීම සඳහා අත්හදා බැලීම් කළා.

සදම්ටන් විශ්ව විද්‍යාලයේ පේශි අස්ථි විද්‍යාව (musculoskeletal science) පිළිබඳ මහාචාර්ය රිචඞ් ඔරිෆෝ (Richard Oreffo) කියන්නේ, ‘කැඩුම් බිඳුම් හා වෙනත් රෝගී තත්වයන් නිසා අස්ථිවලට සිදුවන හානිය ශායනික අතින් මෙන් ම සමාජ ආර්ථික අතිනුත් වර්තමානයේ පවතින ලොකු ගැටලූවක්.’ කියායි.

‘රසායන විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව එක් වී කර ඇති මේ පර්යේෂණය නිසා මිනිස් අස්ථි කඳ සෛල වර්ධනයටත් ඒ අස්ථි යළිත් කලින් පැවති තත්වයට ගෙන ආ හැකි, ඒ සඳහා වඩාත් සුදුසු නව ද්‍රව්‍යයක් සොයා ගැනීමට හැකි වී තියෙනවා.

’අපේ මේ සහයෝගිතා ක‍්‍රමෝපායයන් නිසා මේ අංශයෙන් විකලාංග චිකිත්සාවේ විශාල පෙරළියක් සිදු වීමට ඉඩ තියෙනවා’ ඔහු තවදුරටත් කියනවා.

 
විකාලංග වේදයේ පෙරළියක්! එක්ස් රේ පටලයක් පරීක්ෂා කරන වෛද්‍යවරුන් දෙදෙනෙක්.

එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය මාක් බ‍්‍රැඞ්ලි (Mark Bradley) කියන්නේ, ‘අපි සිය ගණනක් ද්‍රව්‍ය පරීක්ෂා කළා අස්ථියක් වෙනුවට යෙදිය හැකි ශක්තිමත් ද්‍රව්‍යක් සොයා ගන්නට. එසේ ම එම ද්‍රව්‍යය අලූත් අස්ථියක් ඒ මත සාර්ථකව වැඩෙන්න සැලැස්විය හැකි තත්වයේ එකක් ද විය යුතු වුණා.

‘අපට හොඳටම විශ්වාසයි, දරුණු අස්ථි ආබාධවලට ගොදුරු වන රෝගීනට ලොකු සහනයක් මේ නව ක‍්‍රමයෙන් ලැබෙන බව. ඒ වගේම වියපත් ජනගහනය තුළ ඇති අස්ථි ආබාධ තත්වයන්ටත් මෙයින් ලොකු යහපතක් සිදු වෙනවා.’ ඔහු වැඩි දුරටත් කියනවා.

මේ විස්මිත සොයා ගැනීම ගැන විශේෂ අධ්‍යයන වාර්තාවක් ‘ඇඞ්වාන්ස් ෆන්ක්ෂනල් මැටීරියල්ස්’ නම් විද්‍යා ජර්නලයේ පළ වී තියෙනවා. ඒ සඟරාව බි‍්‍රතාන්‍යයේ ජෛවතාක්ෂණ හා ජීව විද්‍යාත්මක පර්යේෂණ කවුන්සලය විසින් ප‍්‍රසිද්ධ කරන්නක්.

taken from malkakulu web

වර්ණ අන්ධතාවයට පිළියමක්!

පාට හරි හැටි පේන්නෙ නැති කම පාරෙ යන්නත් බාධාවක්. සමහර වර්ණ මුළුමනින් ම පෙනෙන්නෙ නැහැ. සමහර ඒවා වෙනුවට වෙන ඒවා පේනවා. මේ ගැටලූවට සාර්ථක විසඳුමක් දැන් සොයා ගෙන තියෙනවා.
විද්‍යාඥයන් සංවර්ධනය කරලා තියෙනවා, දම්පාට උපැස් යුවළක් රතු සහ කොළ වර්ණ ඉස්මතු වෙලා පෙනෙන. වඩාත් බහුලව අප අතර ඇත්තේ ඒ වර්ණ නොපෙනෙන අයයි.

පවුම් 190කට ඔක්සි-ඉසෝ උපැස් යුවළක් මිල දී ගෙන පරීක්ෂා කර බැලූ බි‍්‍රතාන්‍ය විද්වතකු එය මුල්වරට පැලඳි අවස්ථාවේ කීවේ, තමා ලද අලූත් පෙනුම නිසා ඇති වූ සතුටින් තමාගේ ඇඟකිලිපොළා ගිය බවයි.

 
මේ ඔක්සි-අයිසෝ ඇස් කන්නාඩිය නිසා කලින් නුදුටු වර්ණ දැක ගන්න වර්ණ අන්ධ අයට දැන් පුළුවන්.


බි‍්‍රතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඩැනියෙල් බෝර් කීවේ, ”මට ලොකු ගැටලූවකට තිබුණේ සමුළුවලදී සහභාගිවන්නන් රතු හා කොළ වර්ණ වගුවලට යෙදූ විට ඒ වර්ණ වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වීමයි.” කියායි.

”ඒ වගේම ඉඳහිට මම ඇඳුම්වල වර්ණ වැරදියට වටහා ගන්නවා. ඒ වේලාවට මගේ බිරිඳ මාව නිවරදි කරනවා. ඒත් මේ අලූත් උපැස් යුවළ පැලඳි මොහොතේ මුලින්ම මගේ පෙනීමේ විශාල පෙරළියක් ඇති වුණා. මට අදහන්නත් බැරි තරම්. මම ජිම් එකේ හිටියෙ මගෙ දුවත් එක්ක. ඇගේ තොල් වෙනදාට වඩා වැඩියෙන් කැපී පෙනුණා.

”ඇය ඇඳ සිටියේ රතු හා දොඩම් පැහැති ව්‍යායාම් ඇඳුමක්. ඒකත් වැඩියෙන් මතුවෙලා පෙනුණා.”

මේ නව උපැස් යුවළ මුලින් ම සංවර්ධනය කළේ වෛද්‍ය කටයුතුවලට යොදා ගන්නයි. ඇමරිකානු විද්‍යාඥයකු වූ මාක් චැන්ගිසි (Mark Changizi) තමයි මේ නව නිපැයුමේ ගෞරවයේ හිමිකාරයා වන්නේ.

සමහරුනගේ රතු හා කොළ වර්ණවල විවිධ උපවර්ණයන් (shades) හඳුනා ගැනීමේ හැකියාවට බාධා කරන ආලෝක කිරණ පෙරා ඉවත් කිරීමයි මේ උපැස් යුවළෙන් කෙරෙන්නේ.

ඇමරිකාවේ අයිඩහෝහී ටූඒඅයි ලැබ්ස් (2AI Labs) ආයතනයේ ආචාර්ය චැන්ගිසි කියන්නේ, ”මේ උපැස් යුවළ හරහා මීට කලින් ඔවුන්ගේ ඇස්වලින් හරි හැටි හඳුනා ගැනීමට තරම් ප‍්‍රමාණවත් නො වූ රතු-කොළ උපවර්ණ වෙනස්කම් හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා.” කියායි.

 
ඔබට මෙහි ඇති අංකය පෙනෙනවාද? මේ ඉෂිහාරා වර්ණ පරීක්ෂණය තමයි වර්ණ අන්ධතාව ඇති අය හඳුනා ගැනීමට යොදා ගන්නේ.

මේ උපැස් යුවළ පැලඳ ගෙන ආචාර්ය බෝර්ට පුළුවන් වුණා, ලොව පුරා පාසල් ළමුන් තුළ ඇති වර්ණ අන්ධතාව සොයා ගැනීමට කරන පරීක්ෂණයෙන් සමත් වීමට. කෙසේ වෙතත් මේ ක‍්‍රමයේත් අඩුපාඩු තියෙනවා.

”මගේ දුවගේ බබාට යොදා තියෙන බේබි මොනිටරයේ ඇති කහ එළිය මේ උපැස් යුවළ දැම්මට පස්සෙ මට සම්පූර්ණයෙන් ම පෙනෙන්නෙ නැතුව ගියා.” ඔහු කියනවා.

”උපැස් යුවළ පලඳින්නේ නැතුව බලන කොට කිසිම දෙයක් නොපෙනී යන්නේ නෑ. නියම වර්ණයෙන් නොපෙනුනාට මට ඒවා දකින්න පුළුවන්. ඒත් මේක නිසා දැන් යම් යම් දේ නොපෙනී යාම මගේ හිතට වදයක්.
”ඒ නිසා හැම තිස්සේම මං ඒවා පලඳින්නේ නෑ. මං චිත‍්‍ර හෝ මල් ප‍්‍රදර්ශනයක් බලන්න යනවා නම් මේ උපැස් ගෙන යනවා. ඒවා එහිදි මට හරිම ප‍්‍රයෝජනවත්.”

මේ කන්නාඩි ප‍්‍රයෝජනවත් වන්නේ රතු හා කොළ වර්ණාන්ධතාවට පිළියමක් ලෙස පමණයි. මේක වඩාත් බහුලව හමුවන වර්ණාන්ධතාව අපේ සමාජයේ. මේ තත්වය කාන්තාවන් අතර පිරිමින් තරමට බහුල හමු වන්නේ නැහැ.

ආචාර්ය චැන්ගිසි මේ උපැස් යුවළ ගැන ඔහුගේ බ්ලොගයේ ලියන්නේ මෙහෙම දෙයක්: ‘අපි මේ තාක්ෂණය සැලසුම් කළේ නැහැ මොළයේ ඇති වන වර්ණ ඌණතාවලට. අපට අවශ්‍ය වුණේ ඔක්සි-අයිසෝ මගින් රතු-කොළ වර්ණ අන්ධතාවට පිළියමක් යොදන්නයි.

’මං මගේ ”දෘෂ්ටි විප්ලවය”(Vision Revolution) නම් පොතේ මගේ පර්යේෂණ ගැන සඳහන් කරල තියෙනවා. මිනිසාගේ විවිධ වර්ණ අන්ධතා ගැන, ඒවා අනෙක් ක්ෂීරපායීන් අතරත් දකින්න පුළුවන්. එහි දී සිදුවන ඔක්සිකරණයේ විවිධතා ගැන අවබෝධයක් ලබා ගන්නත් ඒ මගින් සම මත ඇති වන විවිධ වර්ණවල පැල්ලම් හඳුනා ගන්නටත් මා උත්සාහ ගන්නවා. ඒවා තුළින් සෞඛ්‍ය ගැටලූ තේරුම් ගැනීමටත් හැකි වෙනවා.

‘මෙහිදී ඔක්සි-අයිසෝ පෙරණය යොදා ගන්නේ රතු-කොළ වර්ණ අන්ධ අයගේ දුර්වලතා මග හරින්න විතරයි.’

සසෙක්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයකු වූ ඩැනියෙල් බෝර් කියන්නේ මේ උපැස් යුවළ පැලඳ ඔහුට ඉෂාරා වර්ණ පරීක්ෂණයෙන් සමත් වෙන්නට හැකි වූ බවයි. (ඒ පරීක්ෂණය මෙහි පළ වෙනවා. ඔබටත් වර්ණාන්ධතාවක් ඇද්දැයි එයින් පරීක්ෂා කර ගන්න පුළුවන්.)

වර්ණාන්ධතාවෙන් පෙළෙන අයට විවිධ උපවර්ණ සහිත බෝලවලින් එහි දක්වා ඇති ඉලක්කම් හඳුනා ගන්න බැහැ.

”මට මුලින්ම පැලඳ වේලේ පුදුම හිතුනා. මගේ අවට රතු පැහැති දේ වැඩියෙන් ඉස්මතු වෙලා පෙනුනා.” බෝර් කියනවා.

දැන් මේ කන්නාඩි ඇමරිකාවේ දී මිල දී ගන්න පුළුවන්. මෙහි ඇති එකම බාධාව කහ සහ නිල් වර්ණ වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි වීමයි.

මොකක්ද මේ වර්ණ අන්ධතාව කියන්නේ?

වර්ණ අන්ධතාව වැඩිපුර තියෙන්නේ පිරිමින් අතරයි. ලෝකය පුරා පිරිමින් 12කට එක් අයෙකු වර්ණ අන්ධතාවෙන් පෙළෙනවා. මේ තත්වය ඇත්තේ කාන්තාවන් 200කට අයකුට පමණයි.
වර්ණ අන්ධතාව ඇති වීමට හේතු විවිධයි.

බොහොම දෙනකුට වර්ණ අන්ධතාව ඇති වන්නේ ජානමය හේතූන් නිසයි. විශේෂයෙන්ම මව් උරුමයෙන්.

කෙසේවෙතත් ඇතැම් අයට වර්ණ අන්ධතාව ඇති වන්නේ දියවැඩියාව හා ස්නායු පද්ධතිය ආශ‍්‍රිත සංකීර්ණ රෝග තත්වයන් නිසයි. වියපත් වීම නිසා ඇති වන පටක ඝන වීම නිසාත් ඖෂධවල අතුරු ආබාධ නිසාත් ඇතැම් අයට මේ තත්වය ඇකිවෙනවා.

බොහොමයක් වර්ණ අන්ධතාවෙන් පෙළෙන්නන්ට අනිත් අයට වගේ හැම දෙයක්ම පෙනෙනවා. ඒත් අයට රතු, කොළ හා නිල් ආලෝකයන් වෙන් වී පෙනෙන්නේ නැහැ.

මේ හැරෙන්නට වර්ණ අන්ධතාව විවිධ ආකාරයෙන් ඇතිවුනත් කලාතුරකින් කෙනකුට කිසිම වර්ණයක් නොපෙනෙන අවස්ථාත් තියෙනවා.



taken from malkakulu web

විස්මිත ඔත්තු බලන යානයක්!

ගූගල් වීදි දසුන් දැන් ඔබටත් හුරු ඇති. සමහර විට ඔබට පාර සොයා ගෙන යන්නත් ඒවා උදවු වෙනවා ඇති. දැන් ඇමරිකානු හමුදාව සතු මිනිසුන් රහිත ඔත්තුකාර ගුවන් යානාවලට ඉහළ අහසේ සිට, බිම ඇවිදින, ඔබේ සාක්කුවේ තියෙන දුරකතනය පවා හඳුනා ගන්න පුළුවන්.

අපේ ඔත්තු බලන ගුවන් යානාවලට වඩා ඉතා සියුම් කැමරා පද්ධතියක් ඒ යානාවලට සවි කර තියෙනවා. ආගස්-ඉස් (ARGUS-IS) නමින් හැඳින්වෙන මේ කැමරා පද්ධතිය සෑම මිනිසුන් රහිත ගුවන් යානයකටම සවිකර තියෙනවා.

එයට වර්ග සැතැපුම් 15ක ප‍්‍රදේශයක් එකවර හසු කර ගන්න පුළුවන්. ඇදහිය නොහැකි විස්මිත මෙගා පික්සල් 1,800කින් යුත් පින්තූරයක් ලබා දෙන්න පුළුවන්. පින්තූර ගැනීමේදී එය අයි ෆෝන් කැමරාවකට වඩා 225ස් ගුණයක් සංවේදියි.

අහසේ අඩි 17,500ක් ඉහළ සිට බිම ඇති අඟල් 6ක් තරම් කුඩා වස්තුවක් වුනත් පැහැදිලිව කැමරාවට හසුකර ගන්න පුළුවන්. යුද පිටියක දී නම් එහි සිදු වන සියල්ලම ඉතා පැහැදිලිවම ඒ මොහොතේ ම දැක ගන්න හමුදාව මෙහෙයවන්නන්ට හැකියාව ලැබෙනවා.

 
අඩි 17,500ක් ඉහළ අහසේ සිට ගන්නා පින්තුරවල විශේෂයෙන් පාටින් ලකුණු කර ඇති කොටස් එවේලේම විශාලනය කොට වඩාත් සමීපව දැක ගන්නට පුළුවන්.

”මේවා මහජනතාව දැන ගෙන ඉන්න ඕනෑ. මේ යානාවලට ඔත්තු බැලීම ඉතා සියුම් ආකාරයට කළ හැකි බව ඔවුන් දැනුවත් වී ඉන්න එක හොඳයි.” කියා මේ පද්ධතිය සැලැසුම් කළ බි‍්‍රතාන්‍යයේ බීඒඊ ආයතනයේ ඉංජිනේරු යිආනිස් ඇන්ටෝනියේඞ්ස් පීබීඑස් රූපවාහිනී නාලිකාවට පසුගිදා කීවා.

බීඒඊ කියන්නේ බි‍්‍රතාන්‍යයේ අභ්‍යවකාශ උපකරණ හා අවි ආයුධ තනන සමාගමක්. ඔවුන් තමා මේ ආගස්-ඉස් කැමරා පද්ධතිය ඇමරිකාවේ ආරක්ෂණ පාලන අධිකාරිය වූ පෙන්ටගනය වෙනුවෙන් නිපදවූයේ. ඒ වියහියදම් දැරුවේ ඩාපා (Darpa) යනුවෙන් හැඳින්වෙන ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Defense Advanced Research Projects Agency) මගිනුයි. ඒ සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 18.5ක්.

ආගස් කියල චරිතයක් ගී‍්‍රක මිථ්‍යා කතාවල එනවා. ඔහුට ඇස් සීයක් තිබුණා, අපේ ප‍්‍රවාදවල එන සක්දෙවියන්ට ඇස් දාහක් තිබුණා වගේ.

ඒ වගේ පෙන්ටගනයේ ආගස්ටත් ඇස් 368ක් තියෙනවා. අහසේ සිට පහත වෙන දේවල් බලන්න. ඒ ඇස්වලට ස්වයංකී‍්‍රයව සැබෑ කාලයක් තුළ කි‍්‍රයාත්මක වෙලා බිම සිදුවෙන දේවල් දිහා බලලා එසැණ වාර්තා කරන්න පුළුවන්. හරියටම කියනවා නම් අපේ ජීවිතවලට එබිලා අපේ රහස් සොයලා වීඩියෝ කරලා ඇමරිකාවට ඔත්තු සපයන්න පුළුවන්.

මිනිසුන් රහිතව අහසට නගින ගුවන්යානයක තමයි, මේ වීඩියෝ ඇස් සවි කරපු චිප් තියෙන්නෙ. ඒවායින් දකින දේ එක්කාසු කරලා තනි විශාල පින්තුරයක් සකසන්න පුළුවන් ප්‍රොසෙසරයක් යානය තියෙනවා. පහළ දර්ශනයෙ ඇති වෙන වෙනස්කම් තත්පරයට රූප රාමු 15ක වේගයෙන් ඒ තනි පින්තූරෙ ඇතුළෙ වෙනස් කෙරෙනවා. ඒ හැරෙන්නට එහි ඇති රාමුවක් තුළ ඇති දෙයක් වෙනවෙනම ළං කරල බලන්නත් පුළුවන්.

 
බිම සිදු වන සියල්ල ඒ මොහොතේම ඩිජිටල් කැමරා සංවේදක සිය ගණනකින් රූප ලබා ගෙන එකතු කර දෙන්නට මේ ඇමරිකානු යුද හමුදාවේ ආගස්-ඉස් කැමරා පද්ධතියට පුළුවන්.

මේ ආගස්-ඉස් කියන නම හදාගෙන තියෙන හැටි අපූරුයි. එය Autonomous Real-time Ground Ubiquitous Surveillance-Imaging System යන වදන් පෙළේ මුල් අකුරු ආපස්සට කියවෙන විටයි, ්ඍඨඹී-ෂී යන්න සෑදෙන්නේ. එය සිංහලෙන් කියන්න ගියොත් ‘ සැබෑ කාලය තුළ ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරන භූමි සර්වවර්ති ආවේක්ෂණ පිළිබිඹු පද්ධතිය’ වැනි ටිකක් බරපතල වචන එකතුවක් තමයි ලැබෙන්නෙ.

 
මේ ආගස්-ඉස් කැමරා පද්ධතියට සම්බන්ධ කර තියෙනවා, ඩිජිටල් කැමරා පිළිබිඹු චිප් 386ක් තනි ඒකකයක් හැටියට එක විට ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කළ හැකි වන ආකාරයට.

මේ පද්ධතිය කෙතරම් පැහැදිලි සවිස්තරාත්මකව රූප ලබා දෙනවා ද කීවොත් අඩි දහස් ගණනක් බිම සිටින අය එහා මෙහා යන අයුරු පමණක් නොව ඔවුන් කරන්නේ මොනවාද ඔවුන් අතේ ගෙන යන්නේ මොනවාද ආදී හැම දෙයක් ම ඒ වීඩියෝ පින්තූරවලින් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ජංගම දුරකතනයක් ඇත්නම් එය කුමන වර්ගයේ එකක් ද කියාත් දැන ගන්න පුළුවන්.

ආගස් කැමරා පද්ධතිය මේ තොරතුරු ඒ මොහොතේම සජීවීව අහස් යානයේ සිට පහළ ඇති පාලක මැදිරියකට යවනවා. ඒ මැදිරියේ ඇති ස්පර්ශ කළ හැකි තිරයක් මත ඒවා පතිත කෙරෙනවා.

ඔබට එහි ඇති යමක් වඩාත් ළං කර බලන්නට අවශ්‍ය නම් කළ යුත්තේ අත තැබීම පමණයි. ඒ රූපය විශාල වී ඔබට අවශ්‍ය දේ වඩාත් පැහැදිලිව බලා ගත්තෑකි. කැමරා නෙතට අසු වන ඕනෑම දෙයක් බලා ගන්න ඔබට පුළුවන්. එකවර සමීප රූපවලට යා හැකි වීඩියෝ කවුළු 65ක් එහි තියෙනවා.

මේ සෑම වීඩියෝ කවුළුවක් ම වෙන වෙනම විද්‍යුත්ක‍්‍රමයෙන් නිදහස්ව හසුරුවන්න පුළුවන්. එසේ ම යමක් කෙරෙහි නොකඩවා බැල්ම හෙළිය යුතු නම් ඒකත් තිතටම කරන්න ඔබට පුළුවන්. යම් අයකු පසුපස හඹා යායුතු නම් ඒකත් ස්වයංකී‍්‍රයව මෙහෙය වන ලෙසට අණ දෙන්න ඔබට පුළුවන්.

මේ ක‍්‍රමයෙන් සියලූම චලනය වෙන වස්තූන් පාට කොටුවලින් ලකුණු කොට දක්වනවා. ඒ නිසා වාහනයකින් හෝ පයින් යන හැම කෙනකු පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය ඔවුන් පසුපස හඹා යාම පහසුවෙන් කළ හැකියි. පාලක මැදිරියේ සිට ඒ හැම සිදු වීමක් ගැන සීරුවෙන් සොයා බලන්න ඔබට පුළුවන්.

මෙහිදී සියල්ල පටිගත කෙරෙනවා. ඒ මගින් ටෙරාබයිට් මිලියනයක දත්ත ගබඩා කරන්න පුළුවන්. ඒක හරියට අධිරූපණ වීඩියෝ පැය 5000කට සමානයි.

”ඔබට අවශ්‍ය නම් ආපසු ගිහිල්ලා දින තුනකුත් පැය දෙකකුත් මිනිත්තු හතරකට කලින් වෙච්ච දෙයක් බලන්න ඕනෙ නම් ඒ සිද්ධිය ප‍්‍රතිවාදනය කරල බලන්නත් පුළුවන්, එවේලේ වෙච්ච විදියටම කිසිම වෙනසක් නැතුව.” ඇන්ටෝනියේඞ්ස් කියනවා.

”දැනට තියෙන මිනිසුන් රහිත යානා යවා අහසින් කෙරෙන විමසීම්වල ඇති අඩුපාඩු සියල්ල මේ නව ක‍්‍රමයෙන් හරිගස්සලා තියෙනවා. මීළඟට අපි ගෙන එන්නේ රාති‍්‍ර කාලයේ දී පවා දැකිය හැකි අධෝරක්ත කිරණවලින් කි‍්‍රයා කර හැකි කැමරා පද්ධතියක්.” ආචාර්ය ස්ටීවන් වේන් කියනවා. ඔහු තමා මේ බීඒඊ සමාගමේ දෘශ්‍ය සංවේදක පද්ධති භාර අධ්‍යක්ෂවරයා.

 
මේ ක‍්‍රමයෙන් සියලූම චලනය වෙන වස්තූන් පාට කොටුවලින් ලකුණු කොට දක්වන නිසා ඔවුන් පසුපස හඹා යාම පහසු වෙනවා. පාලක මැදිරියේ සිට ඒ හැම සිදු වීමක් ගැන සොයා බලන්න පුළුවන්.

 
ආගස් වෙතින් පාලක මැදිරියට යැවෙන රූප ස්පර්ශක තිරයක් මත වැටෙනවා. එය ඔබට ස්පර්ශයෙන් හසුරුවන්න පුළුවන්.

 
පාලක මැදිරියේ ඉන්නා අයට එහි ඇති විශාල තිරය මත තමන්ට ළං කර බලන්නට අවශ්‍ය කොටස කවුළුවක් විවෘත කිරීමෙන් තෝරා ගන්න පුළුවන්. එවැනි කවුළු 65ක් එකවර කි‍්‍රයාත්මක කරන්න පුළුවන්.

 
මේ ක‍්‍රමය හඳුන්වා දෙද්දී ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේ ක්වොන්ටිකෝහි දර්ශනයක් පීබීඑස් නාලිකාවෙන් විකාශනය කෙරුණේ මෙහෙමයි.




taken from malkakulu web

Sunday, September 21, 2014

ඉන්ජෙක්ෂන් වෙනුවට පැලැස්තරයක්!

එන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා ගැනීමයි.

මේ නව ක‍්‍රමය ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ නව සොයා ගැනීමක්. ඒ පිළිබඳව එහි පර්යේෂකයන් කියන්නේ මේ නව ක‍්‍රමයෙන් ක්ෂුද්‍ර ඉඳිකටු තුඩු සහිත ‘පච්චයක්’ වැනි පැලැස්තරයක් යොදා ගෙන වඩාත් ආරක්ෂිතව, වේදනා රහිතව අනාගතයේ දී එන්නත් ලබා දිය හැකි බවයි.

ඔවුන් කියන විදියට ඒඞ්ස් වැනි රෝග තත්වයන් ඇති කරන එච්අයිවී ආසාදනවලදී සාමාන්‍යයෙන් එන්නත් දීමේ ක‍්‍රමයෙන් සිදු වන අවදානමට මුහුණ නොදී මේ නව ක‍්‍රමයෙන් ඞීඑන්ඒ එන්නත පහසුවෙන් ලබා දිය හැකි බවයි.

‘මයික්‍රොනීඞ්ල් පච්ච’ යනුවෙන් හැඳින්වෙන මේ නව ක‍්‍රමයේ පැලැස්තරය තනා ඇත්තේ බහුඅවයවික ස්තර ගණනාවක් ඇති ඞීඑන්ඒ එන්නතක් ඇතුළත් කරලයි.

 
මේ නව මයික්‍රොනීඞ්ල් එන්නත් ක‍්‍රමයෙන් ඉසියුම් ඉඳිකටුතුඩු මගින් සම තුළින් අවශ්‍ය එන්නත දින කීපයක් තිස්සේ ඇතුළු වීමට සැලැස්විය හැකියි.

මේ බහුඅවයවික පටල, ‘මයික්‍රොනීඞ්ල්’ (ඉසියුම් ඉඳිකටු තුඩු) භාවිත කරමින් සමට මිලිමීටර් බාගයක් යටින් තැන්පත් කළ හැකියි. අපිචර්මයේ පිහිටි ප‍්‍රතිශක්ති සෛලවලට ඞීඑන්ඒ ලබා දෙන්නට ඒ ගැඹුර ප‍්‍රමාණවත්. අපට වේදනාව දැනෙන සමෙහි ස්නායු තුඩු තියෙන්නේ ඊට වඩා පහළින් නිසා මේ ‘මයික්‍රොනීඞ්ල්’ පච්චයේ ඇති ඉසියුම් ඉඳිකටු තුඩු ඒවායෙහි ගෑවෙන්නේ නෑ. ඒ නිසා වේදනාව දැනෙන්නේ නැහැ.

සම යට දී මේ බහුඅවයවික පටල එහි ඇති ජලය මිශ‍්‍ර වීම නිසා අනුක‍්‍රමයෙන් දිය වී දින හෝ සති ගණනාවක් තිස්සේ එහි අන්තර්ගත කර ඇති එන්නත සිරුර තුළට මුදා හැරෙනවා.

බහුඅවයවික පටලය බිඳුණු පසු ඒ බහුඅවයවික කොටස් ඞීඑන්ඒ රැහැන් සමග දැවටී ඒවා ආරක්ෂා කර ගනිමින් ඒවාට සෛල තුළට රිංගා ගැනීමට උදවු කරනවා.

මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය සම මත ඇල වූ සැණෙන් එහි ඇති ඖෂධය ශරීර ගත වෙන්න පටන් ගන්නවා. ඒක ‘පච්චයක්’ වැනි දෙයක් ඇති කරනව වගෙයි.

මේ ඉසියුම් ඉඳිකටු තුඩු සැලසුම් කරන්න පුළුවන් සමෙහි ඉහළම ස්තර පමණක් විනිවිද යන විදියට. එතකොට ස්නායු අන්ත හා රුධිර නාළවලට ඒවා ළං වෙන්නේ නැහැ. කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ, අධස්චර්මීය (පිට හමට යටින් වූ) කොටසට එන්නත් කිරීමට ගන්නා ඉන්ජෙක්ෂන් කටුවලින් වගේ.

”මේවා භාවිත කරන විට සිරින්ජ අවශ්‍ය වන්නේත් නැහැ.” යැයි මහාචාර්ය ඩැරල් අර්වින් කියනවා. ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයෙක්.

”ඔබට කරන්න තියෙන්නේ මිනිත්තු කීපයක් මේ පැලැස්තරය අලවා තබා එය ඉවත් කිරීම පමණයි. එවිට ඖෂධ කොටස සහිත බහුඅවයවික පටලය සමට කා වැදී පවතිනවා.” ඔහු කියනවා.

පර්යේෂකයන් කියන විදියට මේ ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ දැනට භාවිත කෙරෙන්නේ නව පරම්පරාවක ඞීඑන්ඒ එන්නත් සිරුරු ගත කිරීමට පමණයි.

වර්තමානයේ භාවිත වන එන්නත් සිරුර තුළ ප‍්‍රතිශක්තිය වර්ධනය වීමට උදවු වෙන්නේ ආක‍්‍රමණශීලී වෙතැයි සැලකෙන රෝග කාරකවලට ප‍්‍රතිශක්ති පද්ධතියට නිරාවරණය කිරීමෙනුයි.

විද්‍යාඥයන් දැන් සංවර්ධනය කර ගෙන යනවා ඞීඑන්ඒ එන්නතක් ස්පර්ශයෙන් බෝවෙන රෝගවලට. ඒ අනුව ඒවා එන්නත් කළ අයගේ සිරුරු තුළ ආක‍්‍රමණශීලී රෝග සඳහා අනතුරු හැඟවිය හැකි අණු නිපදවෙනවා. ඒවා හඳුනා ගෙන වඩා ඉක්මනින් ඒවාට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතියට හැකි වෙනවා. මෙය සම්ප‍්‍රදායික එන්නත්වලට වඩා ඉතාමත් කාර්යක්ෂමයි.

 
ඉසියුම් ඉඳිකටු තුඩු යෙදූ මේ නව පැලැස්තරය සම මත අලවා ඉවත් කළ පසු ඖෂධය සෙමින් සෙමින් සිරුර තුළට උරා ගන්නේ මෙහෙමයි.

කෙසේවෙතත්, පර්යේෂකයන්ට අධික ලෙස වෙහෙසෙන්නට සිදු වුණා, වඩාත් සාර්ථකව මේ එන්නත් සිරුරු ගත කළ හැකි ක‍්‍රමවේදය සොයා ගන්න. ඒ සඳහා දැන් ඔවුන් විදුලි දහරක් භාවිත කරනවා.

විද්‍යාඥයන් මේ පැලැස්තර රීසස් වඳුරන්ට යොදා පරීක්ෂා කර බැලූවා, මේ ඞීඑන්ඒ එන්නත දුන් පසු කොයිතරම් ප්‍රෝටීන් ප‍්‍රමාණයක් ඒ සතුන් තුළ නිපදවෙනවාද කියා. ඒ වඳුරන්ගේ සිරුරු තුළ කලින් සාමාන්‍ය අධස්චර්මීය ඉඳිකටු යොදා ගෙන දෙන එන්නතට වඩා 140 ගුණයකින් ප්‍රෝටීන් නිපදවෙන බව හෙළි වුණා.

”මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය හරියට බළල් දිවක් වගේ තමයි, අතට දැනෙන්නේ.” යැයි එහි එක් පර්යේෂකයකු වූ පීටර් ඩිමුත් කියනවා. ඔහුත් මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ විද්‍යාඥයෙක්.

”අපට මේ ක‍්‍රමයෙන් එන්නත දෙන ආකාරය කෙළින් ම පාලනය කරන්න පුළුවන්. එන්නත ශරීර ගත කරන කාලය හා ප‍්‍රතිශක්තිය වර්ධනය කර තබා ගත යුතු කාලය නිශ්චිතව පවත්වා ගෙන යන්න පුළුවන්, පැරණි ක‍්‍රමයට වඩා සාර්ථකව.” යනුවෙන් පීටර් ඩිමුත් වැඩිදුරටත් කියනවා.

 
ඉතා විශාලනය කළ විට ඒ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය පෙනෙන හැටි. මේ ඉඳිකටු තුඩක දිග මිලිමීටර් බාගයක් විතර ඇති.

taken from malkakulu web

ඇමරිකාවේ කාන්තාරයකින් අභිරහස් බෝල විශේෂයක්


ඇරිසෝනාවේ කාන්තාරයකින් හමු වී ඇති මේවා අමුතු දම් පැහැයකින් යුත් ගෝලාකාර ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මෙතෙක් මේ ලෝකයේ කිසිම තැනක හමු වී නැති මේ ගුප්ත ගෝලාකාර ද්‍රව්‍ය කුමක් ද? ඒවා එහි පැමිණියේ කොහේ සිටද යන්න දැන් ඒවා හමු වූ ටූසෝන් ප‍්‍රදේශවාසීන්ට ලොකු ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

පසුගිය ඉරිදා සවස ඇවිදින්නට ගිය ජෙරාඞීන් වාගාස්ට හා ඇගේ සැමියාටයි, මේ දම්පැහැති අමුතු බෝල එකතුව හමුවෙලා තියෙන්නෙ.

”අපි ඒ ප‍්‍රදේශයේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේ තමයි, මේවා දකින්නට ලැබුණේ. ලේසියෙන් මග ඇරෙන දෙයක් නෙවෙයි. හිරු එළියට හොඳින් දිලිසෙමින් තිබුණේ.” ජෙරාඞීන් කියවනවා.

 
මේ දීප්තිමත් දම් පැහැති ගෝලකාර ද්‍රව්‍ය කුමක්ද? තාන්තාරයට ඒවා ආවේ කොහේ සිටද?

”අපි මේවා මිට කලින් කවදාවත් කොහේදිවත් දැකලා නෑ.” ඔවුන් කියනවා.

”මේවා සමහරක් දියරකින් පිරිලා. සමහර ඒවා ආලෝකය විනිවිද පෙනෙනවා. ඒ කාන්තාර පරිසරයේ අනෙක් සියලූම දෙයින් සම්පූර්ණයෙන් ම වෙනස් ඒවා බවයි පෙනෙන්නේ.”

”අපි මේ ගැන අපේ මිත‍්‍ර සත්ව විද්‍යාඥවරියකගෙන් විමසීමක් කළා. ඇය කීවේ ඇයටත් මේ ගැන කිසිවක් සිතා ගත නොහැකි බවයි. ඇයට මේවා මොනවාදැයි හඳුනා ගන්න බැරි වුණා.” ජෙරාඞීන් වාර්තාකරුවන්ට කියා තිබෙනවා.

වාර්තාකරුවන් ඒවා වීදුරු බෝල වැනි ඇලෙනසුලූ ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා තියෙනවා. ඔවුන් කියන්නේ ඒවා මිරිකූ විට දියරයක් පිට වෙන බවයි.

ටකස්න් උද්භිද උද්‍යානයේ ප‍්‍රචාරක අධ්‍යක්ෂවරිා වන ඩැරලීන් බුරෝ කියන්නේ තමා මේවා පිළිබඳව උද්භිද විද්‍යාඥයන්ගේ අදහස් විමසූ බවත් මේවා ස්වභාවිකව ඇති වූවක් නම් සෙවල හෝ දිලීර හෝ විශේෂයක් විය හැකි බවයි.

අනෙක් අය කියන්නේ මේවා ශාක ජලීකරණය සඳහා ගන්නා ජලය පිර වූ ගෝලාකාර ද්‍රව්‍යයක් විය හැකි බවයි. එසේ නම් මේ තරම් ප‍්‍රමාණයක් කාන්තාරයේ මෙසේ අතහැර දමා ගොස් ඇත්තේ කවුරුන් විසින්ද?

 
සමහරු හිතන්නේ මේ ගෝලාකාර වස්තු යම් සෙවල විශේෂයක් හෝ ජෙලි දිලීර වර්ගයක් විය හැකියි කියලයි. තවත් අය හිතන්නේ ඒවා ශාකවලට ජලය සැපයීමට මිනිසා විසින් තනන ලද ජලීකරණ ද්‍රව්‍යයක් විය හැකි බවයි.

 
මේ ශූෂ්ක ප‍්‍රදේශයට මේවා ආවේ කෙසේද යන්න හැම දෙනාටම ප‍්‍රශ්නයක්. 
 

taken from malkakulu web

කුරුමිණියා තරු දිහා බලා ගෙන කාන්තරයේ ගමන් කළ හැටි!


පුංචි අපි‍්‍රකානු කරුමිණියෙක් තමයි, විද්‍යාඥයන් කියන විදියට, කෘමීන් අතරින් තරු ඇසුරු කර ගෙන මුලින් ම පාර හොයා ගෙන ගිහින් තියෙන්නෙ.

සහරා කාන්තාරයේ එෙඬ්රුන් හා පැරණි නැවියන් වගේ අපි‍්‍රකානු ගොම කුරුමිණියා ඉතාමත් ඈත කාලයක සිට ක්ෂීරපථයේ ආලෝකය භාවිත කරමින් රාති‍්‍ර කාලයේ දී මේ ගමන් බිමන්වල යෙදුණු බවයි ඔවුන් කියන්නෙ. මේ බව සොයා ගෙන ඇත්තේ අලූත්ම පර්යේෂණයකින්.

 
අලූත්ම පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, අපි‍්‍රකානු ගොම කුරුමිණියා ක්ෂීර පථයේ ඇති තරුවල ආලෝකයෙන් මග සොයා ගෙන බව.

කාන්තාර හා සවානා බිම්වල ජීවත් වන මේ ගොම කුරුමිණියන් අහස පැහැදිලිව පෙනෙන රැයක දී දසදහස් ගණනක් වූ තරුවල පිහිටෙන් තමන්ට යායුතු තැන සොයා ගෙන යන්න හරිම දස්සයි.

මේ කුරුමිණියන් ආහාරයට ගන්නේ සත්ව වසුරු හෙවත් ගොමයි. ඒක නිසයි, මේ කුරුමිණියාට ‘ගොම ගුළියා’ කියල කියන්නෙ. මුලින් ම ඌ ඒවා බෝලයකට ගුළි කර ගන්නවා. ඊට පස්සේ ආරක්ෂා ඇති ස්ථානයක් සොයා ගෙන ඒ ගොම ගුළිය පෙරළා ගෙන යනවා.

මේ ගොම බෝලය තවත් එවැනි වසුරු ගොඩක් උඩට ආපසු තල්ලූ කිරීම වැළැක්වීමට උපායක් හැටියට ඍජු රේඛාවක් දිගේ ඉස්සරහට පෙරළා ගෙන යාම තමයි ඔවුන් කරන්නේ.

බොහොමයක් විද්‍යාඥයන් පුදුම වුණා, ඒ කුරුමිණියන් ආලෝකයක් නැති විටත් මේ ගමන නිවැරදිව කරන්නේ කෙසේද කියා.

ඒ විතරක් නොවෙයි, හඳ නැති රැයේදිත් ඔවුන් කිසිම වැරදීමක් නැතිව ඒ විදියට ම මේ ගමන සිදු කරන්නේ කොහොමද කියන එක සොයන්න ඔවුන් පෙලඹුණේ ඒ නිසයි.

”හඳ නැති රෑටත්, අහසේ වලාකුළු නැතිව තරු ඇති රෑටත් මේ ගොම කුරුමිණියන් කෙළින් ඉරක් දිගේ කොහොමද නිවැරදිව සොයා ගෙන මේ ගමන යන්නේ කියන ගැටලූව අපට ආවා.” ස්වීඩනයේ ලූන්ඞ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාරී ඩැකී ඒ ගැන විස්තර කියන්න පටන් ගත්තා.

”මේ නිසා අපි සැක කළා, ඔවුන් මේ විදියට යන්න මග සොයා ගන්නට, අහසේ තරු රටා යොදා ගන්නවද කියලා. ඒ වෙන කොට අපි දැන ගෙන සිටියේ නෑ කෘමීන් මේ වගේ ක‍්‍රමයක් අනුගමනය කරන බව.” ඇය කියනවා.

දකුණු අපි‍්‍රකාවේ රක්ෂිත සවානා බිමකදී ඔවුන්ට හමු වුණා, මේ ගොම කුරුමිණියෙක් තනි කෙළින් ඉරක් දිගේ බෝල කර ගත් ගොම ගුළියක් පෙරළා ගෙන යනවා. ඒ අවස්ථාවේ දී හඳ පායලා තිබුණේ නෑ. අහස වලාකුළුවලින් බරවෙලා තිබුණෙත් නැහැ.

 
 
කිරි සයුරෙන් විහිදෙන යම්තම් ආලෝකයත් ප‍්‍රමාණවත් ගොම කුරුමිණියන්ට මග සොයා ගෙන යන්නට.

විද්‍යාඥයන් ඒ පරීක්ෂණ සඳහා ගොම කුරුමිණියන්ට පුංචි කාඞ්බෝඞ් කැප් සවි කළා ඔවුන් අවට දේ නොපෙනෙන්න.

ඊළඟට ඔවුන්ව වටයක් සහිත බිම්කඩක කොටු කළා. මීටරයක් උසින් කළු රෙද්දක් ඇද්දා ඒ වටය ආවරණය වෙන විදියට, අහසේ ලක්ෂණ කිසිත් නොපෙනෙන්න.

සඳ නැති ඒ රැයේ වුනත් ගොම කුරුමිණියන්ට සුළු වේලාවක් විතරයි ගියේ, ඒ වටයේ මැද සිට වටයේ අද්දර අහස පෙනෙන මානය තෙක් දුරක් යන්නට.

ඒත් අහස නොපෙනුන නිසා මේ කාලය තත්පර 40 සිට 124ක් දක්වා කාලයක් වැඩියෙන් ගන්නට ඔවුන්ට සිදුවුණා.

මේ පරීක්ෂණය දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් ග‍්‍රහලෝකාගාරයේදී යළිත් වරක් ඔවුන් විසින් සිදු කරන්නට යෙදුනා. එහි ප‍්‍රතිඵලයත් ඒ හා සමාන වුණා.

ගොම කුරුමිණියන් අහසේ ඉතා හොඳින් තරු පායා ඇති විට පමණක් නොව කිරිසයුර විතරක් යම්තමට පෙනෙන විටත් එක වගේ පාර සොයා ගෙන ගියා, විද්‍යාඥයන් විස්මයට පත් කරමින්.

”සමහර තරුවල ආලෝකය මඳි ගොම කුරුමිණියන්ගේ කුඩා සංයුක්ත ඇස්වලට” පර්යේෂකයන් කියනවා. ”ඒ නිසා තරු පන්ති හඳුනා ගන්නට ඔවුන්ට බැහැ. ඒත් ඔවුන්ට හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ හිසට උඩින් අහසේ ඇති කිරිසයුර හා එහි එළිය. ඒ එළිය අහසේ ආරුක්කු හැඩයෙන් විහිදී ඇති ආකාරය.”

”මේ සොයා ගැනීම තමයි, පළමුවරට අපට සනාථ කර දුන්නේ කෘමීන් තරු විහිදි අහස යොදා ගෙන මග සොයා ගන්නා බව. සත්ව ලෝකය මග සොයා ගැනීම පිණිස කිරිසයුර යොදා ගන්නා බව ප‍්‍රථම වරට ලිඛිත වාර්තාවකට ඇතුළත් කළේ මේ අවස්ථාවෙදියි.” ඒ පර්යේෂකයන් වර්තමාන ජීවවිද්‍යාව යන අරුත් ඇති ‘කරන්ට් බයොලොජි’(Current Biology) නම් විද්‍යාත්මක සඟරාවට ලිපියක් ලියමින් සඳහන් කරනවා.

මීට කලින් කුරුල්ලන්, සීල් මසුන් හා මානවයන් තමයි, තරු ඇසුරු කර ගෙන මග සොයා යන සතුන් ලෙස හඳුනා ගෙන සිටියේ. ඒ වගේ ම මල් පැණි සොයා යන මී මැස්සන් හිරු එළිය විහිදෙන අයුරු බලා ඒවා සොයා යන බවත් සොයා ගෙන තිබුණා.

ඒ වගේ ම ගොම කුරුමිණියනුත් කොම්පාසුවක් මෙන් සූර්යයාත්, චන්ද්‍රයාත් උපයෝගී කර ගෙනත් මග සොයා ගන්නවා යැයි දැන් විද්‍යාඥයන් කියනවා.

මේ විදියට කිරිසයුර උපයෝගී කර ගෙන මග සොයා යාම මුල්වරට මේ විදියට විද්‍යාඥයන් හඳුනා ගත්තත් ඔවුන් හිතනවා මේ හැකියාව සත්වලෝකයේ තවත් සතුන් තුළත් පිහිටා තිබිය හැකි බව. ඒ නිසා මෙය සත්වලෝකයේ රහස් හෙළි කර ගන්න මේ අතින් ගත් මුල් පියවර විය හැකියි. 
 
 
taken from malkakulu web

කොළ එළවළු හා කහ පලතුරු කන අයගේ සතුට වැඩියි!

කොළ පැහැති එළවළු පලතුරු කන අයට හැම දෙයක් ගැන සුබවාදීව හිතන්න පුළුවන් වෙනව කියල පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා.

විද්‍යාඥයන් දැන් සොයා ගෙන තියෙන විදියට කහ සහ කොළ පැහැති පලතුරු හා එළවළුවලින් ලැබෙන කැරෝටීන පෝෂකය රුධිරයට එක්වීම නිසා අනාගතය සුබවාදීව දකින්නත්, ඒ නිසාම ජයග‍්‍රාහීව ජීවත් වෙන්නත් ඒ අයට හැකියාව ලැබෙනවා.

මේ පෝෂකය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ බීටා-කැරෝටීන කියලයි. සිරුර තුළ දී විටමින් ඒ තැනීමට උපකාර වන්නේ මේ කැරෝටීනයයි. මේවා වැඩිපුරම හමු වන්නේ කහ පැහැති පලතුරුවල හා කොළ පැහැති එළවළු හා පලා ආදියෙහියි.

 
විද්‍යාඥයන් සොයා ගෙන ඇත්තේ කහ සහ කොළ පැහැති එළවළු හා පලතුරුවලින් ලැබෙන අධික කැරොටීන ප‍්‍රමාණය නිසා සර්වශූභවාදීව ජීවත් වීමට ඉඩ සැලසෙන බවයි.

කලින් කළ අධ්‍යයනයන්ගෙන් පෙන්වා දී තිබුණේ සිරුරේ ප‍්‍රතිඔක්සිකාරක (antioxidants) මට්ටම වැඩි වීම නිසා නිරෝගීතාව වැඩි වන බවයි. කැරෝටීනත් සැලකෙන්නේ සිරුරට ප‍්‍රතිඔක්සිකාරක ලබා දෙන එක් මාර්ගයක් ලෙසයි.

මේ ප‍්‍රතිඔක්සිකාරක තමයි සිරුර තුළ අහිතකර මූලාංශු (free radicals) ඇති වීම වළක්වන්නට උදවුවෙන්නෙ. මූලාංශුවලින් සිරුරේ ෙසෙලවලට හානි පමුණුවනවා විතරක් නෙවෙයි රෝගවලට මග පෑදීමත් සිදු වෙනවා.

”සර්වශුභවාදී මනසක් හා ප‍්‍රබෝධමත් ජීවිතයක් ගත කරන අය වැඩි දෙනෙක් බීටා-කැරෝටීන වැනි කැරෝටිනොයිඩ මට්ටම වැඩි අය බව මේ පරීක්ෂණයෙන් පැහැදිලි වුණා.” යැයි හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශයේ ජූලියා බොඑම් කියනවා. ඇය තමා මේ පර්යේෂණයට නායකත්වය දුන්නේ.

”සර්වශූභවාදී මනසකට කැරෝටිනොයිඩ මට්ටම බලපාන බව හෙළිදරවු කෙරුණ ප‍්‍රථම පර්යේෂණාත්මක අධ්‍යයනය මෙයයි.” ඇය කියනවා.

මෙහි දී මතු වූ එක න්‍යායක් තමයි, ප‍්‍රතිඔක්සිකාරක මනසේ ආතතිය නැති කරන්නට උපකාර වන බව.
වර්තමාන අධ්‍යයනයෙන් රුධිරයේ සාන්ද්‍රණය වී ඇති විවිධ ප‍්‍රතිඔක්සිකාරක වර්ග නවයක් ගැන වයස අවුරුදු 25ත් 74ත් අතර ඇමරිකානුවන් 1000ක් යොදා ගෙන විමසුමක් කළා. එහිදි බීටා-කැරෝටීනවලට හා විටමින් ඊ වලට විශේෂ අවධානයක් යොමු කළා. විටමින් ඊ ත් එක් ප‍්‍රතිඔක්සිකාරකයක්.

හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ මනෝකායික වෛද්‍ය විද්‍යා අංශයෙන් (Psychosomatic Medicine) කළ මේ පර්යේෂණය සඳහා ඊට සහභාගිවූවන්ට ප‍්‍රශ්නාවලියක් පුරවා දෙන්නත් රුධිර සාම්පයක් ලබා දෙන්නත් සිදු වුණා.
එම කණ්ඩායමේ අය තුළ සර්වශුභවාදී භාවය කොතෙක් දුරට තිබේදැයි විමසා බැලීමක්ද එහි දී සිදු කෙරුණා.

 
දිනකට වරක් දෙකක් එළවළු හා පලතුරු ආහාරයට ගන්නා අයට වඩා කීප ගුණයක් වැඩියෙන් ගන්නා අයගේ ජීවිතය සර්වශූභවාදී ජයග‍්‍රාහී එකක් වීමේ ප‍්‍රවණතාව වැඩි බවයි, මෙම විද්‍යාඥයන්ගේ අදහස.

මෙහි පර්යේෂකයන්ට පෙනී ගියා, රුධිරයේ කැරෝටිනොයිඩ සාන්ද්‍රණය සියයට 13කින් වැඩි අය අනික් අයට වඩා සර්වශූභවාදී ව කි‍්‍රයා කරන බව. මේ නිසා ඔවුන් විශ්වාස කරනවා මේ මානසික තත්වයට හේතුව වැඩිපුර එළවළු හා පලතුරු ආහාර ගැනීම බව.

ඔවුන් සොයා ගෙන තියෙනවා, පලතුරු හා එළවළු අඩුවෙන් කන අය නිතරම වැඩියෙන් කන අයට වඩා අසුබවාදීව අනාගතය දිහාත් බලන බව.

ජීවිතය දෙස සුබවාදීව බැලීම හා කැරෝටිනොයිඩ මට්ටම අතර සම්බන්ධයක් ඇති බව මේ සමීක්ෂණයෙන් පැහැදිලිව පෙනී ගොස් තියෙනවා.

මිනිසුන්ගේ ව්‍යායාම් මට්ටම හා සමස්ත ආහාර ගැනීමේ ක‍්‍රමය පොදුවේ මිනිසුන් ප‍්‍රබෝධවත්ව තබන්නට උපකාර වන බව ඇත්තක්. ඒත් දැන් පෙනී ගොස් තියෙනවා කැරෝටිනොයිඩ මට්ටමත් කිසියම් ප‍්‍රමාණයක කාර්යභාරයක් මේ සම්බන්ධයෙන් ඉටු කරන බව.

හොඳ සෞඛ්‍ය පුරුදු ලෙස පලතුරු කෑමට පුරුදු වූ අය සිගරට් බීම වැනි නරක පුරුදු අත්හරින්නත් පෙලඹෙනවා.
පසුගිය වසරේ වර්වික් විශ්ව විද්‍යාලය විසින් කළ අධ්‍යයනයකදී ද වැඩියෙන් ම පලතුරු කන අය වැඩියෙන්ම සතුටින් සිටි අය බව හෙළි වුණා.

තවත් ප‍්‍රධාන පර්යේෂකයකු වූ මහාචාර්ය ඇන්ඞ්රූ ඔස්වල්ඞ් මේ අධ්‍යයනයේ දත්ත දැක පුදුමයට පත් වුණා.
”මං හිතන්නේ අපි වැදගත් දෙයක් මෙහිදි සොයා ගෙන තියෙනවා. මේක සිද්ධ වෙන්නෙ කොහොමද කියන්න අපි තාම දන්නේ නෑ. සමහර විට පලතුරු හා එළවළුවල ඇති ජෛව රසායන කිසියම් ආකාරයකින් අපේ මනසට බලපාන දෙයක් අපේ සිරුර තුළ සිදු කරනවා වෙන්න පුළුවන්.

”අපි දන්නවා, පලතුරු හා එළවළු මගින් අපේ සිරුරට ප‍්‍රතිඔක්සිකාරක විශාල ප‍්‍රමාණයක් ලබා දෙන බව. ඒ තුළින් අපේ සිරුර මුහුණ දෙන සතුරු ප‍්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊට ඉඩ සලසා දෙනවා. ඒත් ඒවා අපේ මනස කෙරෙහි කි‍්‍රයා කරන ආකාරය, අපේ හැඟීම්වලට බලපාන අකාරය, ආදිය ගැන මේ පර්යේෂකයන්ට අදහස් පළ කිරීමේ හැකියාවක් නැහැ.” ඔහු වැඩි දුරටත් කියනවා.

කෙසේ වෙතත් ආහාරවල පෝෂණීය ගුණ ගැන නොයෙක් පර්යේෂණ ලොව පුරා කෙරුණත් මේ නව හෙළි කිරීම මුළුමනින් ම අලූත් දෙයක්. මේ අනුව ඉදිරියේ දී ඒවා මනසට බලපාන අයුරු ගැන ජෛව රසායනික අංශයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කෙරේවි.

taken from malkakulu web

රෝහල්වල ආසාදන ඇතිවීම් වළක්වා ලීමට හැකියාව ඇත්තේ මාළුන් ළඟයි!


මාළුන්ගේ කරමල්වල ඇති රසායනයක් මේ සඳහා උපයෝගී කර ගත හැකි බව ඒ නව අධ්‍යයනය කළ පර්යේෂකයන් කියනවා. මෙය කළ හැකි වන්නේ රෝහල් බිමට එම රසායනය ආලේප කිරීමෙනුයි.

රෝහල්වල ආසාදනවලට බොහෝ විට හේතුවන බැක්ටීරියා වර්ග විනාශ කිරීමට මාළුන්ගේ කරමල්වල ඇති රසායන තමයි, මෙසේ උපයෝගී කර ගත හැක්කේ.

බැක්ටීරියා හා දිලීර වර්ගවලින් ගහණ වූ පරිසරවල ජීවත්වන මාළුන්, ජලයෙන් පැතිරෙන රෝගකාරක වලට එරෙහිව ප‍්‍රබල ප‍්‍රතිශක්තියක් ලබා දිය හැකි ප‍්‍රතිමයික්‍රොබියල් පෙප්ටයිඞ් වර්ග ඔවුන්ගේ කරමල්වල නිපදවා ගැනීමට සමත් වී තිබෙනවා.

ඇමරිකාවේ මැසචුසෙට්ස්වල වෝසෙස්ටර් බහුතාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ නව සොයා ගැනීම කරල තියෙන්නෙ. ඒ එක් පෙප්ටයිඞ් වර්ගයක ජෛව යාන්ත‍්‍රණය අධ්‍යයනය කරද්දීයි. ඒ පෙප්ටයිඞ් වර්ගය රෝහල් ගොඩනැගිලිවලට යොදන ටයිල්වලට එක් කිරීමෙන් බැක්ටීරියා විනාශ කළ හැකි බව සොයා ගෙන තියෙනවා.

 
මේ අත්ලාන්තික් සැමන් වර්ගය, බැක්ටීරියා දිලීර බහුල පරිසරවල ජීවත්වන නිසා ජලයේ ඇති රෝගකාරකවලින් බේරීමට ඔවුන්ගේ කරමල්වල විශේෂ ඇන්ටිමයික්‍රෝබියල් පෙප්ටයිඞ් වර්ග නිපදවනවා.

මේ පර්යේෂක කණ්ඩායමට නායකත්වය දීලා තියෙන්නේ ටෙරී කැම්සානෝ කියලා රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරියක්. ඔවුන්ගේ සොයා ගැනීම පිළිබඳ විස්තර ඇමරිකානු රසායන විද්‍යා සඟරාවක් වූ ‘ඒසීඑස් ඇප්ලයිඞ් මැටීරියල්ස් ඇන්ඞ් ඉන්ටර්ෆේසස්’ ජර්නලයේ පළ කර තියෙනවා. ඔවුන් කියන විදියට මේ සොයා ගැනීම නිසා අනාගතයේ මුළුතැන්ගෙවල්වල හා රෝහල්වල විශාල වෙනසක් සිදු වේවි.

”මාළුන් අපූරු උපක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා බැක්ටීරියා හා දිලීර ආසාදන වළක්වා ගන්න. අපේ මේ අධ්‍යයනයෙන් උත්සාහ ගත්තේ ඔවුන්ගේ ඒ ජෛවරසායනික කි‍්‍රයාවලිය අවබෝධ කර ගන්නයි.” කැම්සානෝ මහාචාර්යවරිය කියනවා.

මාළුන් ඔවුන් කරමල්වලින් ඔක්සිජන් උකහා ගැනීමේ දී ‘ක‍්‍රයිසොස්ෆින් - 1’ වැනි ඇන්ටිමයික්‍රෝබියල් පෙප්ටයිඞ් වර්ග යොදා ගන්නවා. ව්‍යාධිජනක විෂ බීජ වර්ග මාළුන්ගේ රුධිරයට එක් වීමට පෙර මරා දැමීමට ඒවායින් හැකියාව ලැබෙනවා.

ලොවපුරා විද්‍යාඥයන් මිනිසාට ආසාදන ඇති කිරීම වැළැක්වීමට ඊට හේතුවන මේ අහිතකර ක්ෂුද්‍රජීවීන් විනාශ කළ හැකි රසායනික අණු භාවිතය ගැන නොයෙක් අයුරින් ගවේෂණවල යෙදෙනවා.

මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ වෝසෙස්ටර් බහුතාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් කර ඇත්තේ ඇන්ටිමයික්‍රෝබියල් පෙප්ටයිඞ් වර්ග සිලිකන් හා රන් ස්ඵටික මත යොදා අත්හදා බැලීම් වල යෙදීමයි. ඔවුන් මේ අත්හදා බැලීම් කර ඇත්තේ ඊ. කෝලයි බැක්ටීරියාවට එරෙහිවයි. මේ සඳහා පෙප්ටයිඞ් යොදන ආකාරය දෙයාකාරයකට භාවිත කර තියෙනවා.

මුල් ක‍්‍රමයට අනුව මේ පෙප්ටයිඩ කෙළින්ම සිලිකන් හා රන් ස්ඵටිකවලට උරා ගැනීමට සැලැස්සුවා. එවිට තනි අණු ස්තරයක් හැටියට මේ පෙප්ටයිඩ තිරස් අතට පැතලිවයි පිහිටියේ. දෙවැනි ක‍්‍රමයට අනුව මේ පෙප්ටයිඩ මැලියම් වැනි ද්‍රව්‍යයකින් සිරස් අතට ඍජුව සිටින සේ ඇලෙව්වා, හරියට බිම වැවෙන තණ කොළ පත් ඉහළට විහිදෙනවා වාගේ.

මේ මතුපිට දෙකටම ඊ. කෝලයි බැක්ටීරියා රෝපණයක් යෙදුවා. මුල් ක‍්‍රමයට යෙදූ බැක්ටීරියාවෙන් සියයට 34ක් පමණයි, විනාශ වුණේ. සිරස් අතට යෙදූ ඒවා සියයට 82ක් විනාශ වුණා.

 
ප‍්‍රතිදීප්ත මයික‍්‍රස්කොපි ක‍්‍රමයට ගත් ව්‍යාධිජනක ඊ. කොලයි බැක්ටීරියාවේ රෝපිතයක්. මෙහි හරිත පැහැයෙන් දැක්වෙන්නේ සජීවි ෙසෙලයි. රතු පැහැයෙන් ඇත්තේ මියගිය ෙසෙලයි. (වමේ) සිලිකන් ස්ඵටික මත පෙප්ටයිඞ්ස් යොදා ඇත්තේ තිරස් අතටයි. (දකුණේ) පෙප්ටයිඞ්ස් යොදා ඇත්තේ සිරස් අතටයි.

”මෙයින් නිගමනය කෙරුණා දෙවැනි ක‍්‍රමය සාර්ථක බව. මේ අධ්‍යයනයට රන් හා සිලිකන් යොදා ගත්තේ ඒවායේ රසායනික ලක්ෂණ මේ පෙප්ටයිඞ් බන්ධනයට වඩාත් සුදුසු වූ නිසයි.” ඇය කියනවා.

ඇගේ පර්යේෂක කණ්ඩායම මේ සඳහා වෙනත් ආදේශක ද්‍රව්‍ය යොදා ගෙන අත්හදා බැලීම් දැන් කර ගෙන යනවා. විශේෂයෙන් ආහාර නිෂ්පාදනයේදී වඩාත් ප‍්‍රයෝජනවත් සෞඛ්‍ය ආරක්ෂිත වෙතැයි සැලකෙන ටයිටේනියම්, මල නො බැඳෙන වානේ හා ප්ලාස්ටික් වැනි දේ කෙරෙහි වැඩි අවධානයක් එහිදි යොමු කර තියෙනවා.

”මෙහිදී විශේෂයෙන් සැලකිය යුත්තක් තියෙනවා. මගේ මේ පර්යේෂණයට එක් වූයේ උපාධි අපේක්ෂකයන් පිරිසක් වීමයි, ඔවුන් ඇත්ත වශයෙන්ම කර ඇත්තේ කර ඇත්තේ විශාල හපන්කමක්. ඔවුන්ට අපේ ප‍්‍රශංසාව හිමි විය යුතුයි.” මහාචාර්යවරිය සතුට පළ කරනවා.

Sunday, September 14, 2014

විශ්වයේ ඇති විශාලතම දෙය කුමක්ද?

මේ විශ්වයේ ඇති විශාලතම ව්‍යුහය ලෙස සැලකිය හැකි දෙය සොයා ගත් විද්‍යාඥයන් මෙතෙක් කලක් මෙය නොපෙනුනේ කෙසේදැයි මවිතය පළ කරනවා. මේ දෙය කෙතරම් විශාල ද කීවොත් මෙහි එක් අන්තයක සිට ආලෝකයේ වේගයෙන් ගියොත් අනෙක් අන්තය දකින්නට වර්ෂ බිලියන 4ක් ගත වෙනවා.
මේ විශාලතම දෙය අන් කිසිවක් නොව දැවැන්ත ක්වොසාර් කාණ්ඩයක්. ඒවා හැඳින්වෙන්නේ ‘එල්කිව්ජී’ (LQG) නමින්. එය විශ්වයේ ආරම්භය සිදුවූ කාලයේ පැවැති ගැලැක්සීවලින් සමන්විත ව්‍යුහයක්.

මේ විශේෂ ක්වොසාර් කාණ්ඩය කොයිතරම් විශාල ද කීවොත් නවීන විශ්ව විද්‍යාවේ න්‍යායන්ටත් අභියෝගයක් වන තරම් යැයි පර්යේෂකයන් කියනවා.

 
චිත‍්‍රශිල්පියකුට පෙනෙන ක්වොසාරය. ULAS J1120+0641 යනුවෙන් හැඳින්වෙන එය කළු කුහරයකින් ශක්තිය සැපයෙන ඉතා දුරින් පිහිටා ඇති ක්වොසාරයක් වන අතර එහි ස්කන්ධය හිරු මෙන් බිලියන දෙකක ගුණයකටත් වැඩි යැයි කියැවේ.

මේවායේ විශාලත්වය කොපමණ ද?
ක්ෂීර පථය කියා අප හඳුන්වන අපේ මන්දාකිණිය හෙවත් ගැලැක්සියේ සිට අපට ආසන්නම ගැලැක්සිය වූ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියට ඇති දුර ආලෝකවර්ෂ මිලියන 2.5ක්. (ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝක කදම්බයක් රික්තයක් තුළ වසරක් තිස්සේ යන දුර, එනම් කිලෝමීටර් ති‍්‍රලියන 9.46ක දුරක්.)

අප අවට කලාපයේ ඇති මුළු ගැලැක්සි පොකුරෙහි විශාලත්වය ආලෝක වර්ෂ මිලියන 6-10 අතර වෙනවා. එනමුත් මේ අලූතින් සොයා ගෙන ඇති දැවැන්ත ක්වෝසාර් කාණ්ඩය ඇතුළු සියලූම ක්වෝසාර් කාණ්ඩවල පළල ආලෝක වර්ෂ මිලියන 650කටත් වැඩියි.

ආචාර්ය ක්ලොව්ස් ප‍්‍රමුඛ පිරිස විසින් සොයා ගෙන ඇති දැවැන්ත ක්වෝසාර් කාණ්ඩයේ පළල ආලෝක වර්ෂ බිලියන 1.6ක් විතර වෙනවා. එහි දිගටි හැඩය නිසා දික් අතට එහි ප‍්‍රමාණය ආලෝක වර්ෂ බිලියන 4ක්. මේ ප‍්‍රමාණය ක්ෂීර පථයේ සිට ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියට ඇති දුර මෙන් 1,650ස් ගුණයක් යැයි කියනවා.

එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ජෙරමියා හොරොක්ස් තාරකාභෞතික විද්‍යායතනයේ ආචාර්ය රොජර් ක්ලොව්ස්ගේ නායකත්වයෙන් තමයි මේ නව සොයා ගැනීම කළ තාරකා විද්‍යාඥ පිරිස කි‍්‍රයා කළේ. ඔහු ඒ ගැන අදහස් දැක්වූයේ මෙහෙමයි:

”මේ ප‍්‍රමාණයේ දැවැන්ත ක්වොසාර් කාණ්ඩයක විශාලත්වය වචනවලින් පැහැදිලි කර දෙන්න බැරි තරම් විශාලයි. අපට ස්ථිරවම කියන්න පුළුවන් අප මෙතෙක් දැක ඇති විශ්වයේ ඇති විශාලතම ව්‍යුහය මෙය බව.”

”1982 සිට ම මෙම ක්වෝසාර කාණ්ඩ වෙමින් ‘පොකුරු’ හෝ ‘ව්‍යුහයන්’ ලෙස පවතින බව අප දැන සිටියා. ඒත් මේ තරම් විශාල ක්වෝසාර් කාණ්ඩයක් ඇතැයි කියා සිතුවේ නැහැ. ආලෝකයේ වේගයෙන් ගියත් මේ ක්වෝසාර් කාණ්ඩය හරහා යන්නට වර්ෂ බිලියන 4ක් ගත වෙනවා.” ඔහු තවදුරටත් පැහැදිලි කරනවා.

ඔහුගේ අදහසේ හැටියට මෙය මේ සියවසේ කෙරුණු වඩාත් විස්මිත සොයා ගැනීමක්. ”මෙතෙක් පිළිගෙන තිබූ අයින්ස්ටයින්ගේ විශ්ව න්‍යායට පවා එයින් අභියෝගයක් එල්ල විය හැකියි. මෙය විශ්වය පිළිබඳ මෙතෙක් ලබා ඇති දැනුම පෙරළියකට ලක් කරන්නක්. විශ්වය අප සිතා සිටියාට වඩා බොහෝ සේ වෙනස් බව මෙයින් පෙනී යනවා.” ඔහු කියනවා.

”දැන් අපේ කණ්ඩායම මේ වගේ තවත් ඒවා ඇත්දැයි සොයා බලමින් සිටිනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
ක්වෝසාර 73කින් යුත් මේ යෝධ ව්‍යුහය අහසේ විසිර ඇති අයුරු දැක්වෙන සටහනක්.

නවින විශ්ව න්‍යායට පදනම් වි ඇත්තේ ඇල්බට් අයින්ස්ටයින්ගේ සංකල්පයන්. ඒ ගණනය කිරීම් අනුව නව විශ්ව විද්‍යාවේ (Cosmology) පිළිගැනීම වන්නේ තාරකා භෞතික විද්‍යාඥයන්ට කිසිදාක ආලෝක වර්ෂ බිලියන 1.2කට වැඩියෙන් විශාල ව්‍යුහයන් සොයා ගත නොහැකි බවයි.
මේ නව ක්වෝසාර කාණ්ඩය සොයා ගෙන ඇත්තේ අහසේ ලියෝ තරු පන්තිය දෙසින්. හවායි දුපතේ ස්ථාපිත කර ඇති එක්සත් රාජධානියට අයත් අධෝරක්ත කිරණ දුරේක්ෂය භාවිත කරමින්. ඊට නම යොදා ඇත්තේ එම ක්වෝසා්ර සොයා ගත් ව්‍යාපෘතිය අනුව යමින්.

 
අපේ මන්දාකිණිය හෙවත් ගැලැක්සිය - මේ ක්ෂීර පථයයි. පෘථිවියෙහි සිට අපේ කිට්ටුම අසල්වැසියා වූ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට ඇති දුර ආලෝක වර්ෂ 2.5ක්. දැන් විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති නව ව්‍යුහයේ දිග පමණක් ආලෝක වර්ෂ බිලියන 4ක්.

මිනිස් මොළයට සමාන පරිගණක මොළයක්

විද්‍යාඥයන් මෙතෙක් නිර්මාණය කරන ලද ‘හොඳම කෘති‍්‍රම (මිනිස්) මොළය’ ගැන පසුගිය දා හෙළිදරවු කළා. මේ මොළය හඳුන්වා ඇත්තේ ‘ස්පෝන්’ (Spaun) කියායි. එයට ගණන් කරන්නත් බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්නවලට උත්තර දෙන්නත් පුළුවන්.

එසේ හැඳින්වෙන්නේ ‘අර්ථවිචාර දැක්විය හැකි පරිගණක සාංකල්පික ව්‍යුහයක් ඇතුළත් සංජාලය’ යන අරුත් දෙන ‘සෙමන්ටික් පොයින්ටර් ආකිටෙක්චර් යුනිෆයිඞ් නෙට්වර්ක්’ (Semantic Pointer Architecture Unified Network) වදන් වැල ඇසුරෙන් වහරනු පහසුවට එහි ඉංගිරිසි මුලකුරු එක්කොට තනාගත් අක්නම (acronym) කින්.

මේ ස්පෝන් කියන අනුකාරක මොළය කි‍්‍රයාත්මක වන්නේ සුපිරි පරිගණකයකින්. එහි ඩිජිටල් ඇසක් තියෙනවා. එයින් තමයි දෘශ්‍ය ආදන (visual input) ලබා ගන්නේ, එනම් දකින දෑ ග‍්‍රහණය කර ගන්නේ.

ඊට රොබෝටික අතක් තියෙනවා. එයින් තමා ප‍්‍රතිචාර ලියා දක්වන්නේ. මේ මොළය කෙතරම් දියුණු එකක්ද කීවොත් එයට මූලික බුද්ධි ඵල පරීක්ෂණයකින් සමත් වීමටත් පුළුවන්.
 
පරීක්ෂණයකදී මේ ස්පෝන් මොළය තමන්ට පෙන්වන ඉඟියක් ඇසින් ගෙන එය කඩදාසියක නැවත සටහන් කරන්න ඇති හැකියාව පෙන්වා තියෙනවා.

කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයන් හා මෘදුකාංග ඉංජිනේරුවන් එක්ව ලෝකයේ වඩාත් සංකීර්ණ, මිනිස් මොළයට බොහෝ සේ සමානව කි‍්‍රයා කළ හැකි කෘති‍්‍රම මොළයක් සාර්ථකව නිපදවා ඇති බව හෙළිවුණා. www.extremetech.com වෙබ් අඩවියේ තමයි, මේ පිළිබඳ තොරතුරු පළ වුණේ.

මේ ස්පෝන් මොළය තනා ඇත්තේ අනුකාරක නියුරෝන මිලියන 2.5කින්. ඒ මගින් විවිධ කාර්යන් අටක් කිරීමේ හැකියාව එයට ලැබෙනවා.

මේ ස්පෝන්ට කළ හැකි කාර්ය විවිධයි. දකින චිත‍්‍රයක් නැවත ඇඳීමේ සිට ගණන් කිරීම දක්වාත් ප‍්‍රශ්නවලට උත්තර දීමේ සිට කරුණු කාරණා එකින් එක විමසා නිගමනවලට එළඹීම තෙක් ඒවා විවිධ වෙයි.

පරීක්ෂණවලදී විද්‍යාඥයන් ඉලක්කම් හා අකුරු කීපයක් පෙන්වා පසුව විමසූ විට ඒවා මතකයෙන් කීමට ස්පෝන් සමත් වුණා. ඊළඟට නියෝගයක් දීමට යොදන අකුරක් හෝ සංකේතයක් පෙන්වා මතකය යොදා ගෙන කළයුතු කටයුත්තක් පැවරුවා. ස්පෝන් එයාගේ රොබොටික අතින් තම අදහස ලියා දැක්වුවා. ඒ පරීක්ෂක කණ්ඩායම ‘විද්‍යාව’ (Science) ජර්නලයේ ඒ පිළිබඳව සටහන් කර තියෙනවා.

ස්පෝන් මොළයේ ඇති නියුරොන මිලියන 2.5 අනුකාරක කපාල උපව්‍යුහයන් ගණනාවකට බෙදෙනවා. එයට පූර්ව ලලාට බාහිකය, මූලස්ථ ගැංග්ලියම හා තැලමස ආදිය ඇතුළත් වෙනවා. ඒවා අනුකාරක නියුරෝන මගින් සැබෑ මොළයේ ඇති ආකාරයම එකිනෙක යා කර තියෙනවා.

මේ උපව්‍යුහයන් සැබෑ මොළයේ ඇති ආකාරයට ඉතාමත් සමානව කි‍්‍රයා කරනවා. ලබා ගන්නා දෘශ්‍ය ආදාන තැලමස මගින් සකසා ගන්නා අතර දත්ත නියුරෝනවල ගබඩා කෙරෙනවා. ඉන් පසු මූලස්ථ ගැංග්ලියම මගින් කළයුතු කාර්යය පැවරෙනවා බාහිකයේ ඒ කාර්යය කිරීම සඳහා නියමිත කොටසට.

මේ සියලූම පරිගණක කටයුතු කායිකව සිදු කෙරන ආකාරයටම නිවැරදිව සිදු කෙරෙනවා. එහිදී ස්නායු සම්පේ‍්‍රෂණයන් ද ඒ අයුරින්ම කෙරෙනවා. මෙහිදී මිනිස් මොළයේ ඇති සීමාවන්ද ඒ ආකාරයෙන්ම අනුකරණය කර තියෙනවා. ස්පෝන් මොළයටත් කෙටිකාලීන මතකයේ දී ඉලක්කම් මතක තබා ගැනීමේ සීමාව මිනිස් මොළයට මෙන්ම තියෙනවා.

 
ස්පෝන් මොළයෙහි සිදුවන කි‍්‍රයාවලිය දැක්වෙන ගැලීම් සටහන

අවසානයේ දී ඔවුන්ට මොළයේ කි‍්‍රයාකාරිත්වය යාන්ති‍්‍රකව සරල වූත් විස්මිත අයුරින් නම්‍යශිලී එකක් ලෙස නිර්මාණ කිරිමට හැකි වුණා.

මේ විස්මිත නිර්මාණය සඳහා ඔවුන් අසීමිත වෙහෙසක් ගත් බව ඔවුන් කියනවා. ඉතාමත් සුළු කාර්යයන්ගෙන් පටන් ගෙන කෙමෙන් ඒවා සංකීර්ණ කරමින් එහි හැකියාව වර්ධනය කිරීමට විශාල කාලයක් හා ශ‍්‍රමයක් යොදවන්නට ඔවුන්ට සිදු වුණා.

මේ පර්යේෂක කණ්ඩායමේ නායකත්වය දැරූ කි‍්‍රස් එලියස්මිත් කියන්නේ ඔවුන් විසින් කලින් සැලසුම් කළ දේ වෙනුවට මේ ස්පෝන් මොළයටත් මිනිස් මොළයට මෙන් පරිසරයෙන් ඉබේ ලැබෙන යම්යම් දේ ඉගෙන ගනිමින් සිය හැකියාව වර්ධනය කිරීමට හැකි වන ආකාරයට මෙම මොළය ප‍්‍රතිව්‍යුහ ලත කරන්නට අපේක්ෂා කරන බවයි.

පොප් සයි (PoÖci) සඟරාව සමග කතාබහක යෙදෙමින් එලියස්මිත් කියන්නේ ස්පෝන් මොළය දක්වා ඇති ප‍්‍රගතිය නිසා ඉන් අනාගතයේ දී අපට ලද ප‍්‍රතිලාභ රැසක් ඇති බවයි. ”එයින් අපට අපේ මොළය කි‍්‍රයා කරන අන්දම තේරුම් ගන්නත් පුළුවන්. සෑම ආකාරයෙන්ම මානසික නිරෝගී බව පවත්වා ගෙන යන්නට අවශ්‍ය දැනුම අපට මෙයින් ලබා ගන්න පුළුවන්.” කියලයි ඔහු කියන්නේ. අත්හදා බැලීමක් හැටියට ඔහු මේ ස්පෝන් මොළයේ කෘති‍්‍රම නියුරෝන කීපයක් විනාශ කර දැම්මා. ඔහුට පෙනී ගියා ඉන් මොළයේ කාර්යසාධනය වියැකී යන බව. වයසට යාමේ දී මිනිස් මොළයේ සිදුවන නියුරෝන විනාශ වීම වැළැක්වීමට ගත හැකි පියවර ගැන අන්තර් ඥානයක් දැනුමක් මෙයින් ලැබිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන්නේ.

taken from malkakulu web

පළමුවරට කැමරාවට නැඟුණු යෝධ දැල්ලා!


ජපන් සිනමා කණ්ඩායමක් මුහුද යට උගේ වාසබිමටම ගිහිල්ලා මේ දැල්ලා කැමරාවට අල්ලා ගත්තා!

මෙතෙක් අප දැන සිටියේ මේ යෝධ දැල්ලන් ගැඹුරු මුහුදේ සැඟවී සිට හදිසියේ මතුපිටට විත් පහර දෙන බිහිසුණු සතුන් විශේෂයක් ලෙස ඔවුන් පිළිබඳ ගෙතුණු කතාවලිනුයි.

නෝර්වේ අවට මුහුදේ ක‍්‍රාකන් (Kraken) නමින් යෝධ දැල්ලකු විසූ බවත් ඌ ඒ මුහුදේ යාත‍්‍රා කළ නැව් හා නැවියන් අල්ලා විනාශ කළ බවත් ඒ දැල්ලා වටා ගෙතුණු කතාවලින් කියැවුණා.

මෙතෙක් යෝධ දැල්ලා, කතා කියන්නන්ගේ මෙන්ම ස්වභාවවිද්‍යාඥයන්ගේත් සිත් ඇදගත් මාතෘකාවක් වුණත් දැන් ප‍්‍රථම වරට අපට ඌව උගේ ජීවන පරිසරය තුළම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ ස්වර්ණමය අවස්ථාව අපට ලැබිලා තියෙන්නේ ජපන් ජාතික සිනමා කණ්ඩායමක් ඌ සොයා මුහුද යටට ගිය ගවේෂණ චාරිකාවක් නිසයි.

තිදෙනකු රැගෙන යා හැකි කුමුදුවකින් උතුරු පැසිපික් සාගරයේ පත්ල නිරීක්ෂණය කරද්දී අඩි 2066ක් (මීටර 630ක්) පමණ ගැඹුරේදී දැල්ලා කැමරාවට අල්ලා ගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ සතාව වීඩියෝ ගත කළ පළමුවන වතාව මෙයයි.

 
අඩි 10ක් දිග මේ යෝධ දැල්ලා හමු වී ඇත්තේ උතුරු පැසිපික් සාගරයේදියි.

මේ හමුවීම අහම්බෙන් වුණු දෙයක් නෙවෙයි. මේ කණ්ඩායම මෙහෙයුම් වාර 100ක් හා පැය 400ක් ගත කරලයි අවසානයේ යෝධ දැල්ලා කැමරාවට අල්ලා ගත්තේ. මේ සතා තමයි, ලෝකයේ දැවැන්තම අපෘෂ්ඨවංශිකයා.
ඔවුන්ට හමු වූ සත්වයා මීටර 3ක් (අඩි 10ක්) දිගයි. ඔවුන් සමත් වුණා ඌ පසුපස මීටර් 900ක් විතර හඹා යන්න. ඉන්පසු ඌ සාගර අගාධයේ සැඟවී ගියා.

ජපානයේ ජාතික විද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥ ත්සුනෙමි කුබෝදෙරා කියා සිටියේ ඌ ‘ඉතාමත් දීප්තිමත් අලංකාර සත්වයකු’ බවයි. ඌ පෙනුනේ හරියට වානේවලින් වාත්තු කළ සතෙක් වගෙයි.

ඔහු සහ ඔහුගේ කණ්ඩායමත් ඉතා සාර්ථකව එය වීඩියෝ ගත කිරීමට සමත් වූ බව කුබෝදෙරා කියා සිටියේ සතුටින් ඉපිලෙමින්. ඔවුන් සමග එම අවස්ථාවට ජපානයේ එන්එච්කේ රූපවාහිනී ආයතනයේ විස්තර විචාරකයෙකු හා ඇමරිකාවේ ඩිස්කවරි චැනලයේ නියෝජිතයෙකුත් එක්ව සිටි අතර ඔවුන්ගේ නොමඳ සහය එම කාර්යයට ලැබුණු බව ඔහු කීවා.

ආකිටෙවුතිස් (Architeuthis) නම් මේ යෝධ දැල්ලන් විශේෂය වෙනත් දැල්ලන්, ග්රෙනේඩියර් මසුන් වැනි සතුන් ආහාරයට ගන්නවා. ඒ වාගේම ඔවුනුත් යෝධ ස්පර්ම් තල්මසුන්ගේ ආහාර ලෙසට ගෙදුරු වෙනවා.
ඒ බව තල්මසුන්ගේ සිරුරවල තිබූ තුවාලවලින් විවිධ අවස්ථාවල නිරීක්ෂණ කරල තියෙනවා.

 
කිමිදුම් කණ්ඩායම යෝධ දැල්ලා පසුපස අඩි 2,953ක් (මිටර 900) ගැඹුරට කිමිදුණා. ඉන් එහාට වේගයෙන් ඇදී ගිය ඌ අඳුරු අගාධයේ අතුරුදන් වුණා.

බොහෝ විට යෝධ දැල්ලාත් තල්මසාත් අතර සටනක් ඇති වෙනවා. දැල්ලා සිය දිග අඬුවලින් තල්මසාට තුවාල කරනවා. තල්මසා දැල්ලා ගිල්ලත් ඌ තල්මසාගේ උදරයටත් හානි කරනවා. අවසානයේ දී දෙදෙනාම මිය යනවා.

1965 දී තල්මස් දඩයමේ ගිය අයකු දැකල තියෙනවා, ටොන් 40ක තල්මසෙක් හා යෝධ දැල්ලකු එකට පැටලිලා මාරාන්තික සටනක යෙදෙනවා. පසුව බලන විට දෙදෙනාම එකට මැරිලා උන් බවට වාර්තා වුණා.

 
පැරණි ප‍්‍රවාදවල සඳහන්ව ඇත්තේ ක‍්‍රාකන් නම් රාක්ෂ දැල්ලා මුහුදේ යන එන නැව්වලට පහර දුන් බවයි.

1874 දී මෝසස් හාවී පියතුමා විසින් යෝධ දැල්ලකුගේ පළමු ඡායාරූපය ගත් බවට වාර්තා වෙනවා. එතුමා නිවුෆවුන්ඞ්ලන්ඞ්හී ජීවත් වූ ස්වභාවවේදියෙක්. ඒ වගේම ලේඛකයෙක්. ධීවරයකු විසින් වැරදීමක් අල්ලා තිබූ යෝධ දැල්ලකු එතුමා විසින් මිල දී ගෙන තිබුණා. එතුමා ගත් ඡායාරූපය ඒ දැල්ලාගෙයි.

මේ යෝධ දැල්ලන්ගේ මිය ගිය සිරුර ඉඳහිට වෙරළට ගසා ගෙන ආ බව වාර්තා වුණා. ඒත් 2004 නිශ්චල ඡුායාරූප කිපයක් ගන්නා තෙක් ඡායාරූපයට නඟා තිබුණේ නෑ.

ඉන් වසර දෙකකට පසු කුබෝදෙරා පිරිසක් සමග පර්යේෂණ නෞකාවකින් යෝධ දැල්ලකු රූගත කිරීමට ගියා. ඇමක් යොදා සාගරය මතුපිටට ගෙන යෝධ දැල්ලකුගේ ගැහැනු සතකු කැමරාවට නඟන්න ඔවුන් එදා සමත් වුණා. ඒ එවැන්නක් කළ පළමු වතාවයි.

මෙවර මුහුද යට යෝධ දැල්ලා ජීවත්වන ස්වාභාවික පරිසරයේ ම රූගත කිරීමක් සිදු වුණේ මේ කුබෝදෙරාගේ දෙවැනි ගමනේදියි. ඒ වතාවේ තමයි, ඔවුන් තුන්දෙනකුට පමණක් යා හැකි විශේෂ කුමුදුවකින් දියයට ගියේ.

ඩිස්කවරි නාලිකාවේ හා ටීඑල්සී අධ්‍යාපන නාලිකාවේ සමූහ සභාපති අයිලීන් ඕ’නීල් කියන්නේ, ”මේක ඇත්තේන්ම සුවිශේෂ සිදුවීමක්. යෝධ දැල්ලකු පණ පිටින් උගේ ස්වාභාවික ජීවන පරිසරයේ දී පළමු වතාවටයි, මෙසේ රූගත කර තියෙන්නේ” කියායි.

සාහිත්‍යයේ මේ යෝධ දැල්ලන් ගැන සඳහන්ව ඇත්තේ බෝට්ටුවලට පහර දෙන බිහිසුණු රකුසු විශේෂයක් හැටියටයි. ඒත් තාම ඒක නම් ඇත්තක්දැයි දැන ගන්න ලැබිලා නෑ.

ඇත්තෙන්ම මේ යෝධ දැල්ලන් කියන්නේ ශීර්ෂපාදිකයන් විශේෂයක්. මේ යෝධ දැල්ලාගේ ඇති ලොකුම විශේෂත්වය නම් සත්ව ලෝකයේ ඇති විශාලතම ඇස් දෙක මේ සතා සතුවීමයි.

ස්මිත්සෝනියන් ස්වභාව විද්‍යා ජාතික කෞතුකාගාරයට අනුව මේ තාක් හමු වී ඇති විශාලතම යෝධ දැල්ලාගේ දිග මීටර 13ක් (අඩි 43ක්).

යෝධ දැල්ලාට අත් අඬු අටක් තියෙනවා. එයින් අඬු දෙකක් අනික්වාට වඩා දිගයි. ඒවායින් අල්ලා ගෙන සතකුගේ සාරය උරා බොන්නට ඌට පුළුවන්. ඒ වගේම ඒ අඬුවල ඇති තියුණු දත්වලින් අල්ලා ගෙන මුව තුළට රුවා ගෙන විකා දමන්නත් පුළුවන්.


 
 

taken from malkakulu web

සතුරු උවදුරු දුරු කරන්න දළඹුවන්ගෙන් ගැලවිජ්ජාවක්!

දළඹුවන්ගේ අපූරු ලෝකයේ අසිරිමත් වැඩ කිඩ බලන්න! ආත්මාරක්ෂාවට යොදන ක‍්‍රමෝපයයන්! සර්පයින් වාගේ වෙස් වළා ගැනීම්, අප‍්‍රසන්න ගඳ නිකුත් කිරීම්, විෂ විදීම් ආදි නොයක් උපක‍්‍රම හඳුනා ගන්න.

සතුරු විලෝපිකයන් රැසක් සිටින අහිංසකයකුට දරුණු විෂ ඇති සර්පයකු සේ වෙස් වළා ගැනීම කොයිතරම් අපූරු උපක‍්‍රමයක්ද? උකුසුශලබයාගේ දළඹුවා (hawkmoth caterpillar) කරන්නේ ඒකයි.

සතුරු තර්ජනයක් එල්ල වූ විගස ඌ කරන්නේ පාදත් හිසත් සඟවා ගෙන සිරුරේ ඉදිරි පස පුම්බා සර්පයකු සේ මෙසේ පුම්බා ගැනීමයි. සර්පයකුගේ හිස මෙන් පෙනෙන දුඹුරු පාට ඇති කොටස ඇත්තටම නම් දළඹුවාගේ යටිබඩ පෙදෙසයි.

මේ විදියට විලෝපිකයකුගේ ගොදුරක් බවට පත් නොවීමට සර්පයකු ලෙස අනුකරණය එකම දළඹුවා මේ උකුසුශලබ කීටයා පමණක් නොවෙයි. තවත් අය ඉන්නවා.

 
සතුරකු ළං වෙතැයි දැනුනු විගස උකුසුශලබ දළඹුවා කරන්නේ පාදත් හිසත් සඟවා ගෙන සිරුරේ ඉදිරි පස පුම්බා සර්පයකු සේ මෙසේ පුම්බා ගැනීමයි. බලන්න ඔබට හඳුනා ගන්න පුළුවන්ද කියා. සර්පයාගේ හිස මෙන් පෙනෙන දුඹුරු පාට ඇති කොටස දළඹුවාගේ යටිබඩ පෙදෙසයි.

නිදසුන් වශයෙන් ඬේලිෆිලා එල්පේනෝර් නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන අලි උකුසු ශලබ දළඹුවා සහ ස්පයිස්බුෂ් ස්වලෝටේල් සමනල් දළඹුවා දැක්විය හැකියි.

මේ දළඹු දෙවර්ගයට ම ඔවුන්ගේ සිරුරවල විශාල බොරු ඇස් යුගලක් බඳු ලප දෙක බැගින් තියෙනවා. හදිසියක දී ඒවා තවත් විශාල කරමින් වේශය වෙනස් කර සතුරා පලවා හරින්න ඔවුන්ට පුළුවන්.

අනෙක් දළඹු වර්ග දිග ලෝමවලින් සිරුරු වසා ගන්නවා. කටු හා වෙනත් ආයිත්තම්වලින් විෂ සහිත දෙයින් සිරුරු සරසා ගන්නවා. හෙයාරි ෆැනල් ශලබ දළඹුවා හා සැඞ්ල්බැක් දළඹුවා ඒවාට නිදසුන්.

 
ඬේලිෆිලා එල්පේනෝර් නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන අලි උකුසු ශලබ දළඹුවාගේ හිසේ විශාල කළ හැකි බොරු ඇස් දෙකක් තියෙනවා. බියට පත් වූ විට ඒවා විශාල කර සර්පයකුගේ පෙනුමක් ගන්න ඌටත් පුළුවන්.

 
දකුණු කැනඩාවේ සිට ෆ්ලොරිඩාව තෙක් විහිදී ජීවත් වන ස්පයිස්බුෂ් ස්වලෝටේල් සමනල් දළඹුවාට විශාල කළ හැකි ලොකු ඇස් දෙකක් තියෙනවා. ඒවායින් විලෝපිකයන් බිය වද්දා පලවා හරින්න ඌටත් පුළුවන්.

මේ අතර, නෝලිඞ් ශලබ දළඹුවාට හැකියාව තියෙනවා සිරුර කොළ පැහැති කර පුම්බන්න, උගේ හිස වැසී යන තරමට. ඒ මගින් ඌ ආහාරයට ගැනීමට එන කුරුල්ලන්ට තමන් තවමත් ඉදී නැති පලතුරක් බව අඟවා බේරෙනවා.

පුස් ශලබයාගේ කීටයාට සැඟවී සිටිය හැකි එක උපක‍්‍රමයක් නොවෙයි ගණනාවක් තියෙනවා.

මුලින්ම ඌ සිරුර පුම්බා රතු හිස ලොකු කර කළු ඇස් දෙකක් සේ ලප දෙකත් විශාල කර ගන්නවා. දෙවනුව සිරුර අග ඉවතට විහිදුණු අන්තිනා දෙකක් මගින් දුර්ගන්ධයක් විහිදුවනවා. ඒ එකකින්වත් සතුරා ඉවතට යන්නේ නැති නම් විෂ අම්ලයක් විදින්නත් ඌට පුළුවන්.

සමහර දළඹුවන්ට විලෝපිකයන්ට වඩා වෙනත් දේවල් තියෙනවා ආරක්ෂා වීමට. ආක්ටික් වූලි බෙයා ශලබ දළඹුවාට බින්දුවටත් අඩු උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න සිදු වෙනවා.

ඒ සඳහා ඌ කරන්නේ ප‍්‍රතිහිමායන ප්‍රෝටීනයක් නිපදවනවා, උගේ සෛලවල. ඒ නිසා ඒ ෙසෙල සම්පූර්ණයෙන්ම සීතලෙන් ගල් වෙන්නේ නැහැ.

ඒ සමගම උගේ සිරුර දිගු කෙස්වලින් වසා ගන්නවා, තාපය සිරුරෙන් පිටවීම අවම කරන්න.

 
මෙට්ල්මාක් සමනල් දළඹුවා සුදු පැහැති ලොම් ගුළියකින් සිරුර මේ විදියට වසා ගන්නවා.

 
ලස්සනට ලොම් තිබුණට අතගාන්න යන්න හොඳ නෑ. මේ ෆ්ලැනල් ශලබ දළඹුවා බැලූ බැල්මට හානියක් නෑ වගේ පෙනුණට මේ ලොම් විෂවලින් පිරිලා. එයින් තමයි උන් ගොදුරු කර ගන්න එන කුරුල්ලන්ගෙන් බේරිලා ඉන්නෙ.

 
සැඞ්ල්බෑක් දළඹුවන්ගේ කටු සහිත ලොම්වලින් විෂ ද්‍රව්‍යයක් වෑස්සෙනවා. ගොදුරු කර ගන්නට එය විලෝපිකයා ස්පර්ශ කළ සැණෙන් දැවිල්ලක් ඇති වී ගොදුර අතහැර ඉවත් වෙනවා.

 
මේ ආක්ටික් වූලි බෙයා ශලබයාගේ දළඹුවා වසර 14ක් ම දළඹුවෙක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සෙ එක් ගිම්හානයක් තුළ කෝෂ වාසියකු වන මේ දළඹුවා බිත්තර දමා පරපුරක් බිහි කරන්නට කටයුතු සලසා ඒ ඍතුව අවසානයේ දී ම මිය යනවා. ආක්ටික් ප‍්‍රදේශයේ ජීවත් වීමේ දී මේ දළඹුවාට බින්දුවටත් අඩු උෂ්ණත්වයකට ඔරොත්තු දෙන්න සිදු වෙනවා. ශීත කාලයේ ශිශිරතරණ නින්දට වැටෙන ඌ සෛල මිදීම වළක්වන්න විශේෂ ප‍්‍රතිහිමායන ප්‍රෝටීනයක් නිපදවා ගන්නවා.

 
ලිමකොඩිඬේ ගෝත‍්‍රයට අයත් මේ ස්ලග් ශලබ දළඹුවාටත් දිග සුදු ලෝම සහිත ආරක්ෂිත ආවරණයක් තියෙනවා.

 
හයලොෆෝරා සෙක්රොපියා නම් මේ සැටර්නිඞ් ශලබ දළඹුවාට දීප්තිමත් වර්ණ සහිත සිරුරක් තියෙනවා. ඒ මත තැනින් තැන කළු පැහැති කටු පිහිටා තියෙනවා. මෙහි වර්ණ හා පිහිටීම අනුව එය ගොදුරු කර ගන්නට එන විලෝපිකයන් ඒ විෂ සහිත පැළෑටියක් කියා මඟ හැර යනවා.

 
මේ මන්කි ස්ලග් ශලබ දළඹුවාගේ සිරුර පුරා විෂ පිරුණු ලොම් හා කටු පිහිටා තියෙනවා.

 
යුමෝෆා ටයිෆූන් නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන ටයිෆූන් ෆීනික්ස් දළඹුවාගේ මුහුණ බැලූ බැල්මට ම කැතයි; බියකරුයි. ඒ උගේ සතුරන් පලවා හරින උපක‍්‍රමයයි.

 
පැපිලියෝ පොලික්සීනිස් නම් සත්ව විද්‍යා නාමයෙන් හැඳින්වෙන මේ ස්වලෝටේල් දළඹුවා කෝෂවාසියකු බවට පත්වන අයුරු (වමේ). ඉයෝ ශලබ දළඹුවාට (දකුණේ) යම්තම් ගැවුණත් විෂ සහිත තත්වයක් සතුරාට දැනෙන කටු සහිත සිරුරක් තියෙන්නෙ.

 
මෙසේ වෙස් වළා ගෙන ඉන්නේ ඩාටානා ඉන්ටෙජෙරිමා නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන වොල්නට් දළඹුවායි.

 
මේ වැඩියෙන්ම කටු ඇති සූඩොඔටෝමේරිස් ෆෝලි යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන සැටර්නිඞ් ශලබයායි. මේ කටු ඉතා විෂ සහිතයි.

 
පරාසා ඉන්ඩිටර්මිනා නම් සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ ස්ටින්ගින් රෝස් ස්ලග් දළඹුවාට ඇත්තේ වර්ණවත් විෂ කටු සහිත සිරුරක්.

 
ඬේසිචිරා පුදිබුන්ඩා නමින් විද්‍යාත්මක හැඳින්වෙන මේ සේප් ටසොක් ශලබ දළඹුවා (වමේ) හා පැපිලියෝ ක්‍රෙස්ෆෝන්ටේස් යනුවෙන් විද්‍යාත්මකව හැඳින්වෙන මේ යෝධ ස්වලෝටේල් දළඹුවා යන දෙදෙනාටම විෂ දුමක් නිකුත් කළ හැකි රතු අං දෙක බැගින් තියෙනවා.

 
ඔරිජියෝ ලියුකොස්ටිග්මා නමින් විද්‍යාත්මකව හැඳින්වෙන මේ සුදු සලකුණු ඇති ටසොක් ශලබ කීටයාට ස්පර්ශ වුණු ගමන් සතුරා රෝගී කරවන විෂ කෙඳි තියෙනවා.

 
නාන කොට ඇඟ අතුල්ලන කෙඳි පොකුරක් වගේ පෙනුනත් මේත් වෙස්වලා ගත් දළඹුවෙක්.

 
සෙරියුරා විනිලා නම් පුස් ශලබ කීටයා උගේ ආරක්ෂාව සලසා ගන්නේ මෙහෙමයි. කොළ පාට සිරුරේ සුදු ලප ඇති කර ඌ ආහාරයට ගන්නා පත‍්‍ර අතරේ ම සැඟවෙයි. සතුරකුගේ ඉවක් ඇති වූ විට සිරුරේ උඩු කොටස පුම්බා හිස විශාල කර බොරු ඇස් පෙනෙන්නට සලස්වයි. සිරුරේ පසු කොටසේ ඇති අන්තිනා දෙකක් බඳු අවයවය වඩාත් දිගු කරයි. රතු නාළ දෙකක් ඒවායින් පිටතට විහිදයි. ඉන් දරුණු ගඳක් පිට කරයි.

 
නෝලිඞ් ශලබ දළඹුවා හිස වැසෙන සේ සිරුර විශාල කර කොළ පැහැති, නොඉදුණු පලතුරු ගෙඩියක් මෙන් හැඩයක් ඇති කර ගනියි. ඒ කුරුල්ලන්ගෙන් බේරීමටයි.

 
ලැමිකොඩිඬේ පවුලට අයත් ස්ලග් ශලබ දළඹුවා දීප්තිමත් වර්ණවලින් විලෝපිකයන් බිය වද්දයි. එසේම උගේ සිරුරේ ඇති කෙඳිවලින් විෂ නිකුත් කරයි.

 
පැලමීඞ්ස් ස්වලෝටේල් සමනලයාගේ දළඹුවා (පැපිලියෝ පැලමීඩිස්) සිය සිරුරේ හැඩය සර්පයකුගේ මෙන් අනුකරණය කරන අතර සීබ‍්‍රා ලෝන්වින් සමනලයාගේ දළඹුවා (හේලිකෝනියස් චැරිටෝනියස්) සිරුරේ කටු මවා ගෙන බියකරු පෙනුමක් දෙයි. ඒ විතරක් නෙවෙයි, වැල්දොඩම් මලේ ඇති විෂ වර්ගයක් කා සිරුර විලෝපිකයන්ට අප‍්‍රසන්න රසයක් ඇති කරයි.
 
 

taken from malkakulu web