Monday, April 13, 2015

ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10

ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10

 
Hedgehog






ඕගොල්ලොන්ට සොනික්ව මතක ඇතිනේ ? සොනික් කාටුන් එකේ ඉන්නෙත් මේ ජාතියට අයත් ඉත්තෑවෙක් තමයි. සිරා, අහිංසක කාගේත් ආදරය දිනාගන්න පෙනුමක් තමයි මේගොල්ලොන්ට තියෙන්නේ. විවිධ වූ වර්ග 17ක ඉත්තෑවන් මේ ගොඩට අයත් වෙනවා. මේගොල්ලෝ ආහාරයට ගන්නේ කුඩා කෘමින් වගේ සත්තු.


Porcupine



කොහොමද කටු ගොඩ


මේ කියන්නෙත් ඉත්තෑ වර්ගයක් ගැනම තමයි. කලින් කියපු ජාතියෙන් මේගොල්ලෝ වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාර වලින්. මේගොල්ලෝ තමයි ලොව තුන්වනුවට විශාලම දත්වලින් හපන සත්ව විශේෂය. මේ ජාතියට අයත් විවිධ ඉත්තෑ වර්ග 29ක් පමණ ඉන්න බවට වාර්තා වෙනවා. මේ හැමෝටම ඒගොල්ලොන්ට අවේනික තියුණු කටු සහිත ආවරණය තියනවා.


Echidna







මේගොල්ලෝ අයිති වන්නේ ක්ෂීරපායි සත්ව ගණයට. සාමාන්‍යයෙන් ක්ෂීරපායින් බිත්තර දැම්මේ නැති උනාට මේගොල්ලෝ බිත්තර මගින් තමයි බෝවෙන්නේ. මෙගොල්ලොන්ට කූරු ඈයා කියලත් කියනවා. මොවුන් සතුව ඇති දිග හොටක් වැනි පිහිටීම නාසය මෙන්ම කට විදියටත් භාවිත කෙරෙනවා. මොවුන්ගේ විවිධ ප්‍රභේද 4ක් සොයාගැනීමට හැකි වන අතර ආහාරයට ගන්නේ කුඹින් සහ වේයන්වයි.


Thorny dragon (Moloch horridus)




Dragon කියල නම තිබ්බට මේගොල්ලෝ ගිනි පිඹින මකරු නම් නෙමෙයි. මේගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කටුස්සන් විශේෂයක්. අවුරුදු 20ක් පමණ ජීවත් වන මෙම සතුන් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 20ක් පමණ ලොකුවට වැඩෙනවා. මෙගොල්ලොන්ගේ මුළු ශරීරයම කෝන් හැඩති කටු වලින් ආවරණය වෙලා තියෙන්නේ. බෙල්ල පිටිපස්සේ ඔලුවක් වගේ පේන කොටසකුත් තිබ්බට ඒක ඇත්තම හිසක් නම් නෙමෙයි. සිරා කටු සහිත සතෙක් වගේම සිරා කටුස්සෙක් කියලත් හඳුන්වල දෙන්න පුළුවන්.


Sea Urchins




මුහුදු ඉකිරි නැත්තන් Sea Hedgehog කියලත් හඳුන්වනවා. මේගොල්ලෝ ගෝලාකාර , ඒවගේම කටු සහිත කුඩා සතුන් කොටසක්. විවිධ වර්ගයේ සත්ව විශේෂ 950ක් පමණ මේ ගණයට අයිති වෙනවා.එම සතුන් විවිධ ප්‍රමාණ වලින් , විවිධ වර්ණ වලින් , ලෝකයේ විවිධ ප්‍රදේශ වල මුහුදේ විවිධ ගැඹුරු මට්ටම් වල ජීවත් වේ. නොගැඹුරු ජලයේ සිටින මුහුදු ඉකිරි නම් අපිට වුනත් පෑගෙන්න පුළුවන් හින්ද ටිකක් පරිස්සම් වුනොත් හොඳයි.


Porcupinefish





Blowfish හා Balloonfish යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමේ මාර්ගයක් ලෙස තම ශරීරය පුම්බා ගන්නා මෙම මාළු විශේෂය පෙනෙන්නේ කටු සහිත බෝලයක් ලෙසයි.


Spiny Oakworm Moth (Anisota stigma)




මෙම සලබයා ආහාරයට ගන්නේ ඕක් බැවින් මෙම නම ලැබී තිබෙනවා. මැසචුසෙට් සහ දකුණු ඔන්ටාරියෝ සිට ෆ්ලොරිඩා දක්වාත් , බටහිර මිනේසොටා, කැන්සාස් සහ ටෙක්සාස් වලින් හමුවේ.


Crown of thorns starfish





පසැගිල්ලන් වර්ග 1500ක් පමණ හමුවන අතර ඉන් බොහෝ දෙනෙකුට කටු සහිත ශරීර ආවරණ තිබේ. Crown of thorns starfish නම් පසැගිල්ලා ඒ අතර සුවිශේෂී ලෙස සැලකිය හැක. සෙන්ටිමීටර 25ත් 35ත් අතර ප්‍රමාණයට වැඩෙන මෙම විශේෂයට මෙම නම ලැබී ඇත්තේ මෙම විෂ කටු මගින් ඔටුන්නක ස්වරුපයක් ලබා දෙන බැවිනි. විශාලම පසැගිල්ලන්ගෙන් එකෙකි.


Armadillo spiny tailed lizard





දකුණු අප්‍රිකාවේ කාන්තාර වලින් හමුවේ. මෙගොල්ලොන්ට කොච්චර හයියෙන් හපන්න පුළුවන් ද කිව්වොත් තමන්ගේම හක්ක උනත් කැඩිලා යන්න පුළුවන්. මෙගොල්ලොන්ගේ තවත් සිරා ලක්ෂණයක් තමයි ඒගොල්ලොන්ට අනතුරක් කියල හිතුනම නැට්ට අරන් කටේ ඔබාගෙන බෝලයක් වගේ වෙන එක.

Spiny Orb-weaver (Gasteracantha)





Spiny-backed orb-weavers නමින්ද හඳුන්වනවා. මෙම ගණයට අයත් විශේෂ 70ක් පමණ හමුවෙනවා. විශ්කම්භයෙන් මිලිමීටර 30ක් පමණ වෙනවා. ලොව පුරා විවිධ රටවල් වලින් හමු වන අතර මිනිසුන්ට කිසිසේත්ම හානියක් ඇති නොකරයි. එකම ප්‍රශ්නය තමයි ඒගොල්ලොන්ගේ පෙනුම හින්ද දැක්ක ගමන් බයවෙන ගතිය.

මංගල පෝරුවේ වත ගොත


මංගල පෝරුවේ වත ගොත




හෙළ බෞද්ධ චාරිත්‍ර වලට අනුව යුවති, පතිවත ආරක්‍ෂා කරමින් යුවතිපති, පතිවත ආරක්‍ෂා කරමින් චිරාගත චාරිත්‍රාණුකූලව මංගල නැකැත් වලට අනුව තරුණ යුවතිපතීන් දෙපලක් විවාහ දිවියට ඇතුළත් වීමේ දී අනුගමනය කරන වැදගත්ම අංගය වන පෝරුවේ චාරිත්‍ර සඳහා ඉතා විචිත්‍ර වූ අනගිභවනීය අතීතයක් තිබේ. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් යශෝධරා යුවළට සාදන ලද පෝරුවේ විස්තරය දක්වා මෙහි අතීතය විහිදේ.

විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් එම පෝරුව සාදන ලද බවත් එහි දොරටු සතරක් තිබූ බවත් ඒවා සතරවරම් දෙවියන් විසින් රැකවල් කළ බවත් පැරණි පෝරුවේ කියමන්වල සඳහන් වේ.

මේ ආකාරයට දැනුදු බෞද්ධයන්ගේ මංගල පෝරු සාදන විට සතර දිසාවේ පුන්කලස් සතරක් සාදා සම්ප්‍රදායට අනුව පහන් දල්වන්නේ ධෘතාරෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙනි. පෝරුව අලංකාර කරන්නේ සිංහල කලා සම්ප්‍රදායන්ට අනුකූලවය. ඒ සඳහා අව් අතු මුර අතු, සේසත්, සඳකඩ පහ පහණ, පලා පෙති, ලියවැල්, හංස, ගිරා, ඇත්, සිංහ රූප මෙන්ම ඉර, හඳ, පුන් කලස් ආදිය යොදා ගනු ලැබේ.

පෝරුවේ ඉහළින් ම නවග්‍රහ මණ්ඩලය සංකේතවත් කරන චිත්‍ර නිර්මාණය කර සෞභාග්‍යයේ සංකේත වන සහල්, පොල් බුලත් සමඟ පඬුරු පෝරුව මත තබා ලදපස් මල් ඉස සුවඳ දුම් අල්වනු ලැබේ. හැම විටම පෝරුව අලුත් එකක් විය යුතු ය. කලින් භාවිතා කළ පරණ පෝරුවක් නව යුවලක් පෝරු මෂ්ඨකාරූඪ කිරීමට සුදුසු නොවේ. මේ අනුව පහත සඳහන් පැරණි කවියෙන් පෝරු පිළිබඳව කියැවේ.

සතර දොරටුව තොරණ සතර ද සිව් වරම් දෙවිරුව තනා
නොහැර නවග්‍රහ මඩල මුදුනේ එරන්කොත තබමින් මනා
කෙස ගජලතා සියපත් දිළෙන සඳකඩ පහණිනා
පවර දෙව් විමනක සිටිය දී උඩු වියන් බැඳි විලසිනා


මංගල චාරිත්‍ර මෙහෙය වන මංගල්‍යෂ්ඨක කියන තැනැත්තා සැදැහැති බෞද්ධයෙක් වීම වැදගත්ය. ඔහු ගුණගරුක යුතු වීම පමණක් නොව චතුර භාවයෙන් යුතු කීමේ, බිනීමේ හැකියාව ද හිමිවිය යුතුය. පන්සිල් රකින සිල්වත් වැඩිහිටියකු විය යුතු ය. බීමත්කමින් චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීම මස් මාංශ අනුභව කිරීමෙන් වැළකී මනා සිහිකල්පනාවෙන් පෝරුවේ චාරිත්‍ර කළ යුතු ය. පෝරුවේ චාරිත්‍ර තේරුමක් නැති දේවල් නොවේ. සෑම චාරිත්‍රයක්ම අර්ථාන්විතය.

බෞද්ධ ඉගැන්වීම් වලට එකඟය. චාරිත්‍ර කරවන ගුණවතා විසින් මේ අර්ථ සභාවට පැහැදිලි කළ යුතු ය. පාලි, සංස්කෘත භාෂා වලින් කියන බොහෝ ගාථා, අෂ්ඨක ආදිය අන්‍යයන්ට නොතේරෙන බැවින් එය නීරස වනවාක් මෙන්ම සභාවේ අවධානයෙන් තොර අර්ථශූන්‍ය දෙයක් වනවා ඇත. එබැවින් පෝරුවේ කියමන් වලදී සිංහල භාෂාව වැඩිපුර යොදා ගනිමින් සභාවේ අවධානය යොමු වන පරිදි ශබ්ද නගා කිව යුතු ය. පෝරුවේ චාරිත්‍ර සඳහා නැකැත් සාදන විට පෝරුවට නැංවීමටත් පෝරුවෙන් බැස්සවීමටත් පමණක් නැකැත් සෑදීම ප්‍රමාණවත්ය.

ඒ සඳහා දෙදෙනාටම ගැළපෙන ලෙස ශුභ හෝරාවක් ගත යුතු ය. එහෙත් පෝරුව මත දී කරන මුදු මාරු කිරීම, කර මාලය බැඳීම ආදිය සඳහා ද විනාඩි දෙක තුනක් තබමින් නැකැත් සෑදීම අවශ්‍ය නොවේ. එවිට චාරිත්‍ර කරවීමට බාධා අවුල් සහගත තත්ත්වයක් ඇතිවේ. පෝරුව මත යුවළ සිටිය යුතු කාලය පැය භාගයකට පමණ ප්‍රමාණවත්ය. දීර්ඝ කාලයක් ගැනීම සුදුසු ඇති අතර යුවළ අපහසුතාවයට ලක් කරයි. ‘මංගල පෝරුවේ චාරිත්‍ර වලට සැබෑ අරුතක් එක් කෙරෙන බෞද්ධ සංකල්ප’

චාරිත්‍ර ආරම්භ කිරීමට පෙර නමස්කාරය කියා පන්සිල් ගැනීමද ඉන් පසුව දේවාරාධනා කර සෙත් පිරිත් කියන අතරතුර දෙපාර්ශවයේ පියවරුන් විසින් යුවළ පෝරුවට නැංවීමට උචිත වන්නේ ය. මඟුල් බෙර වාදනය ද මේ මොහොතේ සිදු කෙරේ. පෝරුවේ දී නව යුවල සිටුවනු ලබන්නේ මනාලයාගේ වම්පසින් මනාලිය සිටින අන්දමිනි.

ආරම්භයේ දී මෙවැනි නමස්කාර ගාථා කියනු ලැබේ.

භගවා භගවා යුත්තෝ
භග්ග, කිලේස වාගතෝ
භග්ග, සංසාර මුත්තාරෝ
භගවා නාමතේ නමෝ


තැලි පිළි පැළඳවීම,

මෙම චාරිත්‍රයේ දී මනාලයා විසින් මනාලියට ඇඳුම් ආභරණ පැළඳවීම සිදු කරනු ලැබේ. ස්වකීය භාර්යාවට ඇඳුම් ආභරණ සපයාදීම සැමියෙකුගේ යුතුකමක් බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. චාරිත්‍ර මගින් මෙම යුතුකම සංකේතවත් කරයි.

හඟල හුරුළු දීම.

බුලත් කීපයක් මත පඬුරු තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඇය ඒවා පෝරුව මතට හෙළනු ලබයි. නැවත මනාලිය විසින් ද එවැනිම බුලත් හුරුල්ලක් මනාලයාට දෙන අතර මේ අන්දමට හුරුළු හයක් මාරු කරයි. හත්වෙනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත. මෙයින් අදහස් කරන්නේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් සදිසා නමස්කාරයයි.

උපයන ධනය මව්පියන්, ගුරුවරුන්, හිත මිතුරන්, පවුලේ සේවකයන් හා ශාසනය වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීම සඳහා භාර්යාව විසින් ප්‍රවේශම් කර ආපසු දෙන බව මේ චාරිත්‍රය සංකේතවත් කරයි. එම සදිසාවට අමතරව වුවමනා විටෙක ආධාර උපකාර පරිත්‍යාග සඳහා බිරිඳට තිබෙන අයිතිය හත්වන හුරුල්ල ආපසු නොදීමෙන් සංකේතවත් කෙරේ.

වතුර සහ කැවුම් කිරිබත් පිළිගැන්වීම හා අනුභවය. ජලය පිරිසුදු ආදරය සංකේතවත් කරයි. පිරිසුදු ජලය මෙන් ජීවිතාන්තය දක්වා පතිවත රැක ගත යුතු බවයි. කැවුම්, කිරිබත් ආදී හෙළ ආහාර වර්ග මස් මාංශයෙන් තොරය.

දුක සැප එක්ව බෙදා ගැනීම හෙවත් සහජීවනයද මෙයින් අදහස් කෙරේ. මහා භද්‍ර කල්පයකට පෙර සිදු වූ සිදුවීමක් කිරිකඩ හේලය පිළිබඳ කවි පෙළින් කියැවේ. එක්තරා මවකගෙන් මනාලියට කොපමණ කිරි දුන්නේ දැයි මනාලයා විසින් ඇසූ විට කච්චියක් රෙදි තෙමෙන්නට කිරි දෙන්නට ඇතැයි ඇය උපමාවකින් කීවේලු.

මව් ගුණය සිහි කෙරෙන මෙම කථාන්තරය සහිත කවි පෙළ අසන්නන්ගේ සිත් කම්පා කරවන අතර අසීමිත මවුගුණ ඉස්මතු කරන සුළුය. එම කවි පෙළේ කොටසක් මෙසේයි.

පුතනුවනි ඒ නිසා - කිරි දුන් ගණන නොලසා
උපමා කර යසා - කියමි මගෙ පුත අසනු සතොසා
දසකඩ මස සරී – උපන් දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී
එවිට එම කුමරුන් - රෙදි කච්චියක් නොලසින්
සපයා ගෙන ගොසින් – මවට පිළිගන්වමින් සිතමින්
රන් සේප්පු ගන්නේ – ඊ පිට තබා ගන්නේ
මවට දුන් වැන්නේ – එදයි කිරිකඩ ලොව පැවැත්තේ


වැඩිහිටියන්ට බුලත් දීම

මවට මෙන්ම පියාටත් ගුණ සිහිකර බුලත් අතක් දී ආශිර්වාද ලබා ගනී. මවට කිරි හේලයක් පිළිගන්වා ගුණ ගායනා කර පියා අමතක කිරීම කිසි විටකත් නොකළ යුතු ය. මේ අවස්ථාවේ දී කාල වේලාව අනුව තවත් ළඟම ඥාතීන් හට ද බුලත් දීම සිදු කෙරේ.

අතපැන් වත් කිරීම.

වෙස්සන්තර රජු දරුවන් දන් දුන් පරිදි අත් ඇඟිලි පිරිත් නූලකින් බැඳ පිරිත් පැන් වලින් අතපැන් වත්කර සරණ පාවා දීම මනාලියගේ පියා විසින් කළ යුත්තේ ය. පියා නොමැති විට පමණක් මාමා කෙනෙකු විසින් කරනු ලැබේ. මේ වේලාවට සෙත් පිරිත් කීම සුදුසු ය. මඟුල් බෙර අවසානයේ ජය මංගල ගාථා කීමද සිදු කෙරේ. මංගල පෝරුවෙන් යුවළ බැස්සවීම සඳහා දෙපාර්ශ්වයේම මාමාවරුන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබේ. මේ මොහොතේ දී ද සෙත් පිරිත් සජ්ඣායනා කරන අතර මඟුල් බෙර වාදනය ද කෙරේ.

මේ සියලු චාරිත්‍ර වලදි ගායනා කිරීමට සුදුසු, අෂ්ඨක තිබේ. දළදා අෂ්ඨකය, යශෝධරා අෂ්ඨක, ශ්‍රී විෂ්ණු අෂ්ඨක නමස්කාර ගාථා සැහැලි ආදී බොහෝ කියමන් සඳහා බොහෝ කියමන් චාරිත්‍ර වාරිත්‍ර වල අරුත් පහදා දී ඇතත් ලොව පහළ වී ඇති සියලු ආදර කථාන්තර වලට වඩා ආකර්ෂණීය වූද අර්ථවත් වූද ආදර්ශමත් වූද කථාන්තරය වන්නේ සිදුහත් යශෝධරාවන් ආත්ම ගණනක් මුළුල්ලේ ගතකළ ජීවිත පිළිබඳ කියැවෙන බෝසත් කථාන්තරය බැවින් මංගල පෝරුවේ චාරිත්‍ර වලට වඩාත් සුදුසු වන්නේ බෞද්ධ මංගල්‍යෂ්ඨක සහ පිරිත් බව කිවයුතුය.


elakiri

ති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ ලොකු පෙරළියක්!

ති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ ලොකු පෙරළියක්!

හොලෝග්රැෆික රූපයක් මගින්, එනම් ආලෝක කිරණ භාවිතයෙන් මවන ති‍්‍රමාන රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට දැන් අවස්ථාව පෑදී තියෙනවා.

වෛද්‍යවරුන්ට හා ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ට අවශ්‍ය ආකාරයට දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ද දැක බලා ගැනීමට හැකි වන පරිදි මෙය වැඩි දියුණු කිරීමටත් ඉදිරියේ දී අපේක්‍ෂා කරනවා.

මේ නව ක‍්‍රමය සංවර්ධනය කර ඇත්තේ රියල් වීව් නම් ඊශ‍්‍රායල් සමාගමක් හා හවුල් ව තාක්‍ෂණික ලෝකයේ දැවැන්තයකු ලෙස සැලකෙන පිලිප්ස් සමාගමයි.

මෙය ප‍්‍රථමවරට ඔවුන් විසින් මෑතදී හදවත් සැත්කමක දී ප‍්‍රායෝගිකව අත්හදා බැලීමක් සාර්ථකව කර තිබෙනවා.
 
හොලෝග්රැෆික රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට මෙම නව පරිලෝකන ක‍්‍රමයෙන් දැන් අවස්ථාව පෑදී තියෙනවා.

නියාමක ව්‍යාපෘතිය සඳහා ඊශ‍්‍රයලයේ ‘පෙටාක් ටික්වා’ (Petach Tikva) හී ‘ෂ්නීඩර්' (Schneider) ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ දී රෝගීන් අට දෙනකු යොදා ගනු ලැබුවා.

මෙහි දී පිලිප්ස් ආයතනයේ ඒ සඳහා විශේෂිත වූ උපකරණ යොදා ගෙන අභ්‍යන්තර එක්ස් කිරණ හා හෘද කන්තුක අතිධ්වනි පද්ධති භාවිතයෙන් තමයි මේ පර්යේෂණය කරනු ලැබුවේ.

මෙතෙක් ද්විමාන තිරයක දැක ගත් රෝගියාගේ හදවත සවිස්තරව ති‍්‍රමාන හොලෝග්රැෆික පිළිබිඹුවක් ලෙස දැක ගන්නට වෛද්‍යවරුන්ට හැකි වුණා. තමන් ඉදිරියේ ප‍්‍රමාණයෙන් විශාල කළ ඒ ති‍්‍රමාන පිළිබිඹුව පැහැදිලිව දැක ගැනීමටත් හෘදයේ හැම පැත්තක් ම පිරික්සීමටත්. විශේෂ දෘෂ්ටි උපකරණ නොමැතිව වෛද්‍යවරුනට හැකි වුණා

අනාගතයේ දී කෙරෙන හදවත් සැත්කම්වල දී මෙම තාක්ෂණය කෙතරම් ප‍්‍රයෝජනවත් වේවිද කියා මේ පිළිබඳව කළ අධ්‍යයනයෙන් පැහැදිලි වුණා.

මේ සංදර්ශන පද්ධතිය නිපදවූ ආයතනය කියන්නේ මෙය අනාගතයේ දී නිසැකව ම සුබලව භාවිතයට ගනු ඇති බවයි.

‘නුදුරු අනාගතයේ දී ම ති‍්‍රමාන හොලෝග්රැම අධ්‍යයනය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රමුඛ තැනක් ගන්නවා නිසැකයි‘ කියා රියල්වීව් ඉමේජින් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ඇවියාද් කෝෆ්මන් පවසනවා.

 
වෛද්‍යවරුන්ට හැකියාව තියෙනවා තමා ඉදිරියේ මැවෙන මේ ති‍්‍රමානික හොලෝග්රැෆික පිළිබිඹුව ස්පර්ශයෙන් වෙනස් කිරීමෙන් තමන්ගේ අවශ්‍යතාව අනුව ඒවා පරීක්‍ෂාවට ලක් කිරීමට.

 
චෛද්‍යවරුනට තමන් ඉදිරියේ අහසේ පෙනෙන ති‍්‍රමාන රූපය ස්පර්ශය මගින් වෙනස් තම අවශ්‍යතාවනට අනුව වෙනස් කර පරීක්‍ෂාවට ලක් කළ හැකියි.

‘මෙම ති‍්‍රමාන රූප පිළිබිඹු ක‍්‍රමයේ දියුණුවත් සමග විවිධ ආකාරයෙන් මතු කර ගත හැකි වෛද්‍ය තොරතුරු නිසා නුදුරු අනාගතයේ දී ම මේ ති‍්‍රමානික හොලෝග්රැෆික පිළිබිඹු ක‍්‍රමය බහුලව භාවිතයට ගැනීමෙන් වෛද්‍ය ප‍්‍රතිකාරවල විප්ලවීය වෙනසක් සිදු වේවි’ යයි තෝෆ්මන් වැඩිදුරටත් කියනවා.

‘ති‍්‍රමානික හොලෝග්රැෆික පිළිබිඹු ප‍්‍රක්‍ෂේපණ ක‍්‍රමය මට උපකාර වුණා මගේ අත්දැකීම් අනුව රෝගියාගේ හෘදයේ ති‍්‍රමාන රූපයේ ව්‍යුහය තේරුම් ගන්නට මට හැකියාව ලැබුණා. ඒ වගේ ම සැත්කම් කි‍්‍රයාවලියේ දී මෙවලම් හැසිරවීම ද ඉතා හොඳින් කළ හැකි වුණා.’ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඊනැට් බර්ක් පවසනවා. ඔහු ‘ෂ්නීඩර් ළමා වෛද්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධව ඇති ළමා හෘද කන්තුකවේදී ආයතනයේ අධ්‍යක්‍ෂවරයායි.

 
මෙම පද්ධතියේ පැරණි මූලාකෘතියක් පර්යේෂකයන් විසින් භාවිත කළ අවස්ථාවක්.

 
වෘක්කීය ධමනිවල ති‍්‍රමාන හොලෝග්රැෆික පිළිබිඹුවක්.

ඊශ‍්‍රායලයේ ෂ්නීඩර් ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ කන්තුක කැතීටර සැත්කම් අංශයේ අධ්‍යක්‍ෂ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය එල්කානන් බ‍්‍රකීමර් (Elchanan Bruckheimer) පවසන්නේ මෙසේ ති‍්‍රමාන පිළිබිඹුවක් ලබා ගැනීමටත් එහි ව්‍යුහයේ මෘදු පටක මත සලකුණු යෙදා ගෙන සැත්කම වඩාත් හොඳින් කිරීමට ඉඩ සැලසෙන බවයි.

‘අපේ අවසාන ඉලක්කය වන්නේ මෙවැනි නවොත්පාදන මගින් අනාගත සෞඛ්‍ය සත්කාරය වඩාත් ශක්තිමත් විශ්වාසදායක එකක් කිරීමයි.’ යනුවෙන් අදහස් දක්වන පිලිප්ස් සෞඛ්‍ය සත්කාර ආයතනය මගින් දියත් කළ ශායනික කටයුතුවලට පරිගණකය පදනම් කර ගත් නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමේ අංශයේ සාමාන්‍යාධිකාරී බර්ට් වැන් මියෝස් සඳහන් කරයි.

‘දැනට මේ ලොව ප‍්‍රථම හොලෝග්රැෆික පිළිබිඹු තාක්‍ෂණය සම්බන්ධයෙන් කළ කටයුතුවලින් අප ඉතාමත් තෘප්තිමත් වෙලා තියෙනවා. මේ තාක්ෂණය නිසා අනාගතයේ හදවත් සැත්කම්වල විශාල පෙරළියක් සිදුවෙනවා පමණක් නොව එහි ඇති අවදානමද විශාල වශයෙන් අඩු වෙනවා.’ ඔහු වැඩිදුරටත් පවසනවා.

 
නිර්මාණකරුවන් කියන විදියට මෙම නව තාක්ෂණය සිව් වැදෑරුම් ආකාරයෙන් ශල්‍යාගාරයේ දී භාවිත කළ හැකියි. එහි දී ශල්‍ය වෛද්‍යවරයාට තමන්ට දැක ගැනීමට අවශ්‍ය තැන් අහසේ දී ම තෝරා පෑනෙන් සලකුණු කළ හැකියි. සැත්කම අතරතුර හොලෝග්රැෆික රූපයේ පිළිබිඹුවෙන් මැන ගැනීම් ද කළ හැකියි. හෘදයට බද්ධ කළ යුතු හෝ හෘදයේ තැන්පත් කළයුතු දෙය අහසේ දකින රූපයේ නියමිත ස්ථානයේ තබා සසඳා බැලිය හැකියි. අවශ්‍ය විට ති‍්‍රමාන රූපය තමන් ශල්‍යාගාරයේ භාවිත කරන තිරයේ දැක්වෙන ආකාරයට සමානව ද්විමාන රූපයක් ලෙස දැකිය හැකියි.

මේ හොලෝග්රැෆික පිළිබිඹුව ඉතාමත් පැහැදිලි පූර්ණ වර්ණයෙන් ගෙන එන්නක්. මෙය භාවිත කරන ශල්‍යවෛද්‍යවරයාට තමාගේ පහසුව සඳහා එසැණ ස්පර්ශයෙන් යම් යම් වෙනස් කිරීම් කරමින් අවයව ඇතුළත නිරීක්‍ෂණය කරමින් අහසේ දී ම අවශ්‍ය සලකුණු කිරීම් පවා කළ හැකියි.

ති‍්‍රමාන අධිධ්වනික හො වෙනත් නව තාක්ෂණයකින් ලබා ගන්නා තොරතුරුවලින් ඒ මොහොතේම සැබෑ හොලෝග්රැෆික පිළිබිඹුවක් වෛද්‍යවරයා ඉදිරියේ ප‍්‍රක්ෂේපණය කළ හැකි නවෝත්පාදනයක් ලොවට හඳුන්වා දීමට ඊශ‍්‍රායලයේ රියල්වීව් ඉමේජින් සමාගම සමත්වී තියෙනවා.
 http://www.malkakulu.com

අත්ලාන්තික් සාගර පත්ල එළිය කරන අමුතු ගෝලාකාර වස්තූවල අබිරහස කුමක්ද?

අත්ලාන්තික් සාගර පත්ල එළිය කරන අමුතු ගෝලාකාර වස්තූවල අබිරහස කුමක්ද?

ලෝකයේ සාගරවල විවිධ තැන්වලින් අද්භූත දේවල් හමු වෙනවා. ඒවාට විසඳුම් කලක් යන කොට විද්‍යාඥයන් කෙසේ හෝ සොයා ගන්නවා.

ඒත් 1873 දී අත්ලාන්තික් සාගරයෙන් මතුවූ, තවමත් අබිරහසක්ව පවතින, අමුතුම ගෝලාකාර වස්තූන් විශේෂයක් තියෙනවා.

අර්තාපල් හා සමාන මේ ගෝලාකාර වස්තූන් සාගර පත්ලේ විශාල පරාසයක ඇතිරී තියෙන බවයි, විද්‍යාඥයන් කියන්නේ. මේවා මැග්නීසියම් නොඩියුල හෙවත් ගැටිති ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. ඒවා තුළ තවත් වටිනා ලෝහ වර්ග සංයෝගව ඇතැයි විද්‍යාඥයන් පවසනවා. අනාගතයේ දී මේවා සාගර පතුළෙන් උඩට ගෙන ඒමට හැකි වෙතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.

දැන් ජර්මන් විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණ පවත්වනවා මේවායේ රහස් එළිකර ගන්න බලාපොරොත්තු වෙන්. අත්ලාන්තික් සාගරයේ පතුලේ තිබී ඔවුන්ට හමු වූ මෙවැනි විශාල මැන්ගනීස් නොඩියුල තැන්පතුවකින් තමයි, මේ අබිරහස හෙළිදරවු කර ගැනීමට ඔවුන් මේ දිනවල පර්යේෂණ කටයුතුවල යෙදෙන්නේ.

 
1873 තරම් ඈත කාලයක සිට සොයා ගෙන තිබුණද සාගර පත්ලේ ඇති මේ අර්තාපල් ගෙඩියක් තරම් ප‍්‍රමාණයේ ලෝහ ගෝලවල අබිරහස දැන් ජර්මානු විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ගැනීමට ආසන්නවයි, තිබෙන්නේ.

අත්ලාන්තික් සාගරයේ බාබෙඩෝස් දූපතට නැගෙනහිරෙන් දැනට යාත‍්‍රා කරමින් තිබෙන ආර් වී සෝනේ (RV Sonne) නම් වූ ජර්මන් පර්යේෂණ නෞකාවේ සිට තමයි, විද්‍යාඥයන් මේ පර්යේෂණ පවත්වන්නේ. සෝනේ කියන්නේ ජර්මන් බසින් හිරුටයි.

කලින් ධීවර නෞකාවක් වූ මෙය පසුව පර්යේෂණ නෞකාවක් බවට පත් කළ එකක්x අද එය විශ්වවිද්‍යාලවල වෙනත් වානිජ ආයතනවලට අයත් සාගර පර්යේෂණ කටයුතුවලට එක් වී සිටිනවා.

මෙය පසුගියදා බාබෙඩෝස්වල සිට සැතැපුම් සිය ගණනක් නැගෙනහිරට යාත‍්‍රා කරමින් මුහුදේ යට වෙසෙන සත්ව ජීවිතවල තොරතුරු දුරස්ථ කැමරා මගින් කැමරාවට නගද්දී ඔවුනට පෙනී ගොස් තියෙනවා, මුහුදු පත්්ලේ වූ යම්කිසි ද්‍රව්‍යකින් දීප්තියක් විහිදුවන බව එසේ දීප්තිමත් ආලෝකයක් නිකුත් වන්නේ මැන්ගනීස් නොඩියුලවලින්. බව ඔවුන් හඳුනා ගත්තා.

‘අපි ඒවා දැක පුදුමයට පත් වුණා. අපි කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ, සාමාන්‍යයෙන් මේ වගේ තැනක ඒ මැන්ගනීස් නොඩියුල ඇතැයි කියා’ සාගරජීවී විද්‍යාඥ කොලින් ඬේවි (Colin Devey) කියනවා ඔහු මෙසේ කියා තිබුණේ ලයිව් සයන්ස් නම් අන්තර්ජාල විද්‍යා සඟරාවටයි.

කොලින් ඬේවි තමා සාගර පර්යේෂණ සඳහා වූ ජි ඕමාර් හෙල්ම්හොල්ට්ස් මධ්‍යස්ථානයේ (Geomar Helmholtz Centre for Ocean Research) ප‍්‍රධාන විද්‍යාඥයා ලෙස සේවය කරන්නේ

 
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මැන්ගනීස් නොඩියුලයක්. මෙවැනි මැන්ගනීස් නොඩියුලයක් මිලිමීටර එකේ සිට පහ දක්වා ප‍්‍රමාණයක් වැඩෙන්න වසර මිලියනයක් විතර කාලයක් ගත වෙනවා. ඒ අනුව මේ ඇතැම් නොඩියුලයක වයස අවුරුදු මිලියන 10ක් විතර වෙනවා. මෙය පර්යේෂණ නැවෙන් ගත් එකක් නෙවෙයි. විකිමීඩියා පුස්තකාලයෙන් නිකුත් කළ එකක්.

 
මේ ලෝහ ගෝලයක ලෝහ වර්ග ගණනාවක් අන්තර්ගත වෙනවා. මැන්ගනීස් හා යකඩ වගේ ලෝහ පමණක් නොව, වටිනා ලෝහ වර්ග ලෙස සැලකෙන, තඹ, කොබෝල්ට්, සින්ක් වැනි ලෝහ ද ඒ අතර වෙනවා.

මේ මැන්ගනිස් නොඩියුල සෑම සාගරයකම තියෙනවා. ඒත් බහුලව දැකිය හැක්කේ පැසිපික් සාගරයෙයි.

මේවා අපට සාමාන්‍යයෙන් හමුවන්නේ අඩි 16,400ත් 18,000ත් (මීටර 5,000ත් 5,500ත්) අතර ගැඹුරු මුහුදු පත්ලෙයි. ඒ තරම් ගැඹුරක තැන්පත්ව ඇති වස්තූන් ගැන සොයන්න මිනිසා සතු තාක්‍ෂණය ප‍්‍රමාණවත් මදි. ඒ සඳහා විශාල වියදමක් දරන්න සිදු වෙනවා. ඒ නිසයි බොහෝ කලකට පෙර සොයා ගෙන තිබුණත් මේවා ගැන සොයන්න උනන්දු නොවුණේ.

මේවා සෑදී ඇති ආකාරය ගැන පළ වී ඇති විවිධ මත අතර එක මතයක් තමයි, මේවාට මුහුදු පත්ලේ වෙසෙන මයික්‍රෝබ හෙවත් ක්‍ෂද්‍රජීවීන්ගේ මුහුදු ජලයට එක්වන යම් යම් දේවලින් සිදුවන උත්තේජනයන් නිසා ඇති වන රසායනික ප‍්‍රතිකි‍්‍රයා හේතුවෙන් මේවා බිහිවන්නට ඇති බව.

තවත් මතයක් තමයි, මුහුදු පත්ලේ ඇති යමහල් කුහරවලින් නිකුත්වන ද්‍රව්‍ය මුහුදු ජලයේ මුසුව තිබී පසුව මණ්ඩි ලෙස ඉවත් වී ඒවායින් මේ ‘ගුළි’ සෑදෙන්නට ඇති බව.

මේ නොඩියුලවල මැන්ගනිස්, යකඩ, තඹ, කොබෝල්ට් හෝ සින්ක් (තුත්තනාගම්) වැනි දේ මිශ‍්‍රව ඇතැයි දැන් සොයා ගෙන තියෙනවා.

මේ මැන්ගනීස් නොඩියුල වෙත විද්‍යාඥයන්ගේ අවධානය වැඩියෙන් යොමු වී ඇත්තේ පෘථිවියේ ඈත අතීතයේ දේශගුණික හා පාරිසාරික වෙනස්කම් හඳුනා ගන්නට ඒවා යොදා ගත හැකි බව දැන් හෙළිවී ඇති නිසයි.

මේ නොඩියුල වැඩෙන්නේ වසර මිලියනයකට මිලිමීටර එකේ සිට පහ දක්වා ප‍්‍රමාණයකින් පමණයි. ඒ අනුව මෙම සමහර නොඩියුල වසර මිලියන 10කට වඩා පැරණි යැයි විද්‍යාඥයන් විසින් දැන් හඳුනා ගෙන තියෙනවා.

මේ ලෝහ සම්පත අමු ද්‍රව්‍ය වශයෙන් ප‍්‍රයෝජනයට ගත හැකි යැයි මුලින් ම යෝජනා කරනු ලැබුවේ 1970 ගණන්වලයි එහෙත් ඒවා තැන්පත් වී ඇත්තේ සාගරයේ වඩාත් ගැඹුරු පත්ලවල වීමත් ඒවා ගොඩට ගැනීමට ඇති තාක්‍ෂණික ගැටලූ නිසාත් තවමත් මේ සම්පත්වලට අත තියන්නට මිනිසා සමත් වී නැහැ.

මේවා ගොඩට ගැනීමේදී පරිසරයට විය හැකි හානි බරපතල විය හැකි නිසාත් දැනට අපට සතු තාක්‍ෂණය අනුව වානිජමය වශයෙන් ගොඩගැනීමේ හැකියාවක් නොමැති වීමත් අප ඉදිරියේ පවතින ගැටලූ ලෙස දැනට හඳුනාගෙන තියෙනවා.

මේ මැන්ගනීස් නොඩියුල වැඩෙන්නේ මුතු ඇටයක් වැඩෙන ආකාරයටයි. මුහුදු ජලයේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය ඒවා වටේට තැවරී තැන්පතු වීමෙන් තමයි ඒවා වැඩෙන්නේ.

මෙය ඉතාමත් හෙමින් සිදුවන කාර්යයක් නිසා අවට පරිසරයේ සිදුවන වෙනස්කම්ද ඒ ස්තර තුළ තැන්පත් වෙනවා. ඒවා සියුම් ලෙස පිරික්සීමෙන් ඒවා නිර්මාණය වී ඇති ආකාරය ගැන මෙතෙක් සොයා නොගත් කරුණු රැසක් හෙළිදරවු කරගන්න විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මෙසේ ලැබෙන තොරතුරු අනුව පෘථීවියේ දේශගුණික විපර්යාස සිදු වී ඇති ආකාරය හෙළිවේවි.
 
මේ මැන්ගනිස් නොඩියුල සෑම සාගරයකම තියෙනවා. ඒත් බහුලව දැකිය හැක්කේ පැසිපික් සාගරයෙයි. මේවා අපට සාමාන්‍යයෙන් හමුවන්නේ අඩි 16,400ත් 18,000ත් (මීටර 5,000ත් 5,500ත්) අතර ගැඹුරු මුහුදු පත්ලෙනුයි.

 
මෙම සිතියමෙන් දැක්වෙන්නේ පසුගියදා ‘සෝනේ’ පර්යේෂණ නැව බාබෙඩෝස්වල සිට සැතැපුම් සිය ගණනක් නැගෙනහිරට යාත‍්‍රා කරමින් දුරස්ථ කැමරා මගින් මුහුදු පත්ලේ වෙසෙන සත්ව ජීවිතවල තොරතුරු කැමරාවට නගමින් සිටියදී මුහුදු පත්ලේ වූ යම්කිසි අමුතු ද්‍රව්‍යයකින් දීප්තියක් විහිදුවන බව දුටු ස්ථානයයි.
 http://www.malkakulu.com

වසර 2500 ක් පැරණි වනස්පති සොයා නැගෙනහිර ලෝකාන්තයට!

වසර 2500 ක් පැරණි වනස්පති සොයා නැගෙනහිර ලෝකාන්තයට!

මල් කැකුළු සහෘදයන්ට 2015 වසර වාසනාවන්ත එකක් වේවායි පතමින් මෙසේ අප ඔබ අමතන්නේ නවසීලන්තයේ සිටයි. සෑම වසරකම අලූත් අවුරුද්දේ උදාව ජනවාරි පළමු වන දා හිරු උදාවත් සමග මුලින් ම අත් විඳින්නට ලැබෙන්නේ නවසීලන්ත වාසීන්ටයි. මේ වසරේ ඒ වාසනාව අත් විඳින්නට මටත් අවස්ථාව ලැබුණා. මේ අලූත් අවුරුදු උදාව නරඹන්නට නවසීලන්තයේ නැගෙනහිර වෙරළේ නිකේතන කරා යන්නට ඇතැම් අය පුරුදු වී සිටිනවා. මීට වසර 15කට පෙර 1999 වසර අවසාන දිනයේ දී ලෝකයේ නන් දෙසින් ජනයා නව සහස‍්‍රයේ උදාව සමරන්නට නවසීලන්තයට ඇදී ආවා අපට මතකයි. අපට ඔවුන් හා එක් වන්නට එදා නොලැබුණත් මෙවර අලූත් අවුරුද්දක උදාව මුලින් ම නරඹන පිරිස අතරට එක් වන්නට ලැබීම සතුටක්.

මෙවර නවසීලන්ත සංචාරයේ දී අප මුලින්ම ගියේ නවසීලන්තයේ සොබාදහමේ අසිරිය ලෙසින් සැලකිය හැකි වනස්පති දැක බලා ගන්නටයි.


මවුරි බසින් මේ යෝධ වාක්‍ෂ රාජයා හඳුන්වනු ලබන්නේ ‘ටානේ මහුටා’ කියායි. එහි අරුත ‘වනස්පති’ හෙවත් ‘වනරජා’ යන්නයි. ‘නවසීලන්තයේ උතුරු භූමි කලාපයේ පිහිටි වයිපෝවා (Waipoua) වනාන්තරයේ දී තමයි, මේ අසිරිමත් යෝධයා දැක ගත හැක්කේ.

උතුරු ඕක්ලන්ඞ් අර්ධද්වීපයේ ඈත අතීතයේ සිට පැවත එන උපනිවර්තන වැසි වනාන්තරවලින් ඉතිරිව ඇති වනාන්තර ප‍්‍රදේශයකයි මේ වනරාජයා විරාජමානව සිටින්නේ. මෙහි වයස නිශ්චිතව කිව නොහැකි නමුත් දැනට විශ්වාස කරන අන්දමට වසර 1250ත් 2500ත් අතර විය හැකියි. දැනට ලෝකයේ ඇති විශාලතම කෞරි වෘක්‍ෂය ලෙස මෙය හැඳින්වෙනවා. කෞරි ශාකය උද්භිද විද්‍යානු කූලව හැඳින්වෙන්නේ ‘ඇගතිස් ඔස්ට‍්‍රාලිස්‘ (Agathis australis) කියායි.


නවසීලන්තයේ උතුරු දූපතේ ප‍්‍රධාන නගරය වූ ඕක්ලන්ඞ්වල (Auckland) සිට කිලෝ මීටර 238 ක් දුරින් පිහිටි වයිපෝවා වනාන්තරයේ දී කෞරි වෘක්‍ෂ විශාල ප‍්‍රමාණයක් දැක ගන්න පුලූවන්. දැනට ජීවමානව ඇති කෞරි වෘක්‍ෂ අතරින් දෙවැනි තැන ගන්නා ‘ටානේ මහුටා න්ගාරේ‘ වෘක්‍ෂයත් පිහිටා ඇත්තේ ටානේ මහුටා යෝධයා ආසන්නයේමයි. එය නවසීලන්තයේ ස්වදේශිකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත‍්‍රව ඇති වෘක්‍ෂයයි.

මේ කලාපයේ මෙවැනි කෞරි යෝධයන් රැසක් අතීතයේ දී මේ වනාන්තරවල සිටින්නට ඇති. ඒවා අද බොහොමයක් දකින්නට නැහැ. කෞරි මැලියම් ලබා ගන්නත්, දැව සඳහාත් ඒ දැවැන්තයන් මිනිසා විසින් බිම හෙළන්නට ඇති. ඒ බව මේ යෝධයන් බලන්නට යන අතර මග දී හමුවන කෞරි කෞතුකාගාරයෙන් හෙළි වෙනවා.

කෞරි කෞතුකාගාරයේ දී කෞරි මැලියම්වලින් ගන්නා විවිධ ප‍්‍රයෝජන හා අත්කම් දැක ගන්න පුළුවන්. ලෝකයේ ඉතා විසිතුරු අත්කම් මා දුටුවේ එහිදියි. එසේම මේ කලාපයේ හමුවන දැවවලින් ගන්නා ප‍්‍රයෝජන හා ඒ දැව කර්මාන්තයේ ඉතිහාසයත් සවිස්තරාත්මකව, නිර්මාණාත්මකව එහි දී ඉදිරිපත් කර ඇති අයුරු සිත් ගන්නාසුලූයි.

මේ කෞරි කෞතුකාගාරයේ දී අතීතයේ විසූ වෘක්‍ෂ රාජයන් ගැන රූප සටහන් හා විස්තර දකින ඔබට ඊළඟට තවත් කිලෝ මීටර 107 ක් ගිය පසු දැනට ජීවමානව සිටින ‘ටානේ මහුටා’ හැබැහින් ම දැක ගන්න පුළුවන්. එහිදී අප ලද ආස්වාදය ඔබටත් නොඅඩුව ලද හැකියි.

නවසීලන්තයේ ස්වදේශිකයන් වූ මවුරිවරුන්ගේ ප‍්‍රවාදයකට අනුව මේ ‘ටානේ’ කියන්නේ අහස් පියා වූ රන්ගිනුයිගේත් පැපටුවානුකු නම් මිහි මවගේත් පුත‍්‍රයායි. ඔවුන් දෙදෙනා අහසත් පොළොවත් ලෙස වෙන්ව සිටින්නේ ටානේ නිසයි. ටානේ එයාගේ මවගේ සිරුර වනාවගාවෙන් සරසා අලංකාර කරනවා. මෙහි ඉන්නා කුරුල්ලන් හා හැදෙන ගහකොළ ටානේගේ දරුවන් ලෙසයි මවුරිවරුන් සලකන්නේ.


ලොව විශාලතම කෞරි වෘක්‍ෂය - ටානේ මහුටා (වනස්පති) අඩි 45ක් මහතයි. මුළු උස අඩි 168යි. මුළු පරිමාව ඝන අඩි 18250යි. 

මේ වනස්පති දෙස බලන ඔබට ඒ මත තවත් වන උයනක් ම දැක ගන්න පුළුවන්. ඒ මත මීවන, උඩවැඩියා ඇතුළු ශාක සියයකට අධික සංඛ්‍යාවක් වෙසෙනවා. අන්නාසි ගෙඩියට අප භාවිත කරන ‘ගහක් උඩ ගහක්’ යන තේරවිල්ල වෙනස් කර ‘ගහක් උඩ ගස් සීයක්’ කියා මේ යෝධයා වෙනුවෙන් යොදන්න පුළුවන්.


ලෝකයේ විශාලතම කෞරි වෘක්‍ෂ වූ ටානේ මහුටා ඉලක්කම්වලින් දැක්වතොත් මෙහෙමයි: වට ප‍්‍රමාණය - මීටර 13.77 (අඩි 45.2); තනි කඳෙහි උස - මීටර 17.68 (අඩි 58); ගසෙහි මුළු උස - මීටර 51.2 (අඩි 168); ප‍්‍රධාන කඳෙහි ඝනත්වය - ඝන මීටර 244.5 (ඝන අඩි 8630); මුළු ගසෙහි පරිමාව - ඝන මීටර 516.7 (ඝන අඩි 18250)

2013 වසරේ දී නවසීලන්තයේ ඇති වූ නියඟය නිසා විජලනයට ලක්ව මිය යන ලකුණු පළ කළා. ඒ මත ඇති ශාක මුලින් ම අනතුරක ලකුණු පෙන්නුවා. ඒ අනුව බලධාරින් වහාම කි‍්‍රයාත්මක වෙමින් මේ ගස බේරා ගන්න ළඟ ඇළකින් ජලය ලීටර් 10000ක් යොමු කළා. ඒ අනුව අද කිසි වෙනසක් නැතිව ඔබට මෙය දැක ගන්න පුළුවන්.

නවසීලන්තයේ සංචාරය කරන හැමකෙනකුම අනිවාර්යයෙන් ම නැරඹිය යුතු ආකර්ශනයක් ලෙසයි මෙය අප දකින්නේ.


- පර්සි ජයමාන්න

 http://www.malkakulu.com/2014/12/2500.html#ixzz3X8OVPnhp

දුර සිටින කෙනකුගේ කටහඬට සවන් දිය හැකි සුපිරි බලයක් ඇති මෙවලමක්!

දුර සිටින කෙනකුගේ කටහඬට සවන් දිය හැකි සුපිරි බලයක් ඇති මෙවලමක්!

සෙනග පිරුණු ඝෝෂාකාරී පරිසරයක, ඈත සිට කතා කරන ඔබේ යාළුවකු, ඈත සිට කියන දෙයක් ඔබට සිටි තැන ම සිට, වෙනත් කටහඬ අතරින් තෝරා බේරා අසා ගන්නට ලැබෙනවා නම් එය ඔබේ සතුටට හේතු වෙනවා ඇති.

දැන් සැලසුම්කරුවකු ඒ සඳහා අපූරු උපකරණයක් සැලසුම් කරල තියෙනවා. තව වසරකින් හෝ දෙකකින් ඒක වෙළඳ පොළට ඒවි.

මේ අපූරු උපකරණය විශේෂයෙන් ම ප‍්‍රසිද්ධ ස්ථානවල සෙනග අතර ගැවසෙන පොලිස් නිලධාරිනට අපරාධ වැළැක්වීමේ කටයුතුවටලත් ප‍්‍රයෝජනවත් වේවි.

ඇමරිකාවේ කලිෆෝනියාවේ ආගෝඩිසයින් ආයතනයේ මාක් රොල්ස්ටන් කියන්නේ අනිත් අයට නොදැනෙන්නට ඈත සිටින අයකුගේ කතාවට ඇහුම්කන් දිය හැකි ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණයක් පලඳින්නට අනාගතයේ දී අප කාටත් ලැබෙන බවයි.
 
අනාගතයේ දී අපට පලඳින්නට ලැබෙන ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණය ‘ලාලාලා‘ පලඳින අයුරු. අවට සියලූම ශබ්ද වළක්වා තමන්ට අවශ්‍ය ශබ්දය පමණක් හොඳින් ඇසෙන සේ මේ සුපිරි ශ‍්‍රවණාධාරය ඒ සඳහා සුසර කළ හැකියි.
මාක් රොල්ස්ටන් තමයි මේ ‘ලාලාලා’ යන අලූත්ම ශ‍්‍රවණාධාර උපකරණය නිපදවීමට සැලසුම් කරල තියෙන්නේ.

ආගෝඩිසයින් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු රෙනේ ඔල්සොබෲක් කියන්නේ, ‘මෙ ලාලාලා කියන ශ‍්‍රවණාධාරය සුවිශේෂී එකක්. ඒකට පුළුවන් දුර ඉන්නා අයකුගේ කටහඬට ඔබ තෝරාගන්නා කැමති විධියකට ඇහුම්කන් දෙන්න. අනෙක් ශබ්ද කපා හැරලා විතරක් නෙවෙයි, ඒ හඬ වැඩි කරලා අසන්නත් පුළුවන්.’ කියායි.

මේ නව අදහස ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවා මේ නව මෙවලම වෙළඳපොළට ආවාම ඒ මගින් ඔබට අවශ්‍ය පුද්ගලයා තෝරාගෙන ඒ දිහාට කන හරවා ඔහුගේ කටහඬ ඔබට අවශ්‍ය පරිදි වැඩි කර ඇහුම්කන් දෙන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, එයාගෙ කැමැත්ත නැතුව වුවත් එයාට නොදැනුවත්ව එයාගෙ හඬට හොඳින් සවන් දීමේ හැකියාව ඔබට ලැබෙනවා. හැබැයි මෙහි ඇති මානව හිමිකම් උල්ලංඝනය වන පැත්තකුත් අපට පෙනෙනවා. එයින් කෙනකුගේ පුද්ගලිකත්වයට පහර වැදීමක් සිද්ධවෙනවා. මෙයින් අනුන්ගේ රහස් කතාබහට හොරෙන් සවන් දෙන්නත් පුළුවන් වන නිසා.
 
කනට සවි කළ හැකි වන සේ හැඩයකින් තනා ඇති ලාලාලා උපකරණය. ශබ්දය වෙන් කර හඳුනා ගැනීමට මෙහි සූක්‍ෂම මයික්‍රොෆෝන පෙළක් තියෙනවා. අසා ගත යුතු ශබ්දය අයත් අයගේ රූපය හඳුනා ගැනීමට කැමරාවකුත් මෙහි අන්තර්ගතයි.

මෙහි මූලික මෙවලමෙහි කටහඬට සවන්දීමට ඇති හැකියාව පමණක් ඇතුළත් වුනත් පසුව එන නව්‍යකරණවල දී ඒ හඬ එන්නේ ඔබ නොදන්නා බසකින් නම් එය පර්වර්තනය කර දීමටත් හැකි වන සේ සකසාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

එවිට වෙනත් භාෂා දෙකක් කතා කරන දෙදෙනකු අතර එවේලේම අදහස් හුවමාරු කර ගත හැකි පරිවර්තකයකු ලෙසටත් මෙය යොදා ගන්නත් පුළුවන්.

‘ඉතා දියුණු තත්වයේ මයික්‍රෝෆෝන මේ සඳහා යොදා ගන්නවා.ඒ වගේම චලන සංවේදී සූක්‍ෂම කැමරාවක් මෙහි සවි කර තියෙනවා. ඒ නිසා ලාලාලාට පුළුවන් ඔබ අසල ඇති උස් හඬ ඇති කතාබහ මග හැර කැමරාවෙන් ඔබ තෝරා ගන්නා අයගේ හඬ විතරක් ඔබට ඇහෙන්න සලස්වන්න.’ යැයි ඔල්සොබෲක් පැහැදිලි කරනවා.

‘මේ මෙවලම කනේ ගහන කුඩා බ්ලූටූත් එකක් වගෙයි. එහි ඇති නැනෝ මයික්‍රෝෆෝන පොකුරෙන් තමයි ශබ්ද වෙන් කරන්නෙ. රූප හඳුනා ගන්නත් ඔබ කරන ඉඟි අනුව කි‍්‍රයාත්මක වෙන්නත් එයට පුළුවන්. ඒ මේ තුළ ඇති කැමරාවෙන්. ඔබට අවශ්‍ය පින්තූර ගන්නත් ඔබේ කතාබහ පටි ගත කරන්නත් එයට හැකියාව තියෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා.

රොල්ස්ටන් කියන්නේ මේ නව උපකරණය අනාගතයේ දී ස්මාට් ෆෝන්වල තැන ගන්නා බවයි. ‘අනාගතයේ දී වැඩිදෙනකුට මේ මෙවලම පැලඳ සිටින්නට නිසැකවම සිදුවේවි’ ඔහු කියනවා.

‘අනාගතයේ දී අපේ මෙවලමට ටෙලි සමුළුවල විශෙෂ තැනක් හිමි වේවි. ඒ වගේම බොහොමයක් මෙවලම් ස්මාට්ෆෝන්වලින් කරන කාර්යයභාරයත් කරන්න පටන් ගනීවි. කුඩයක් වැනි මෙවලමක් කාලගුණ අනාවැකි කියන්න, වහින බව කල්තියා කියන්න පටන් ගනීවි.’ යයි ඔල්සොබෲක් තවදුරටත් කියනවා.

 
ලාලාලා මගින් කෙනෙකුට ප‍්‍රසිද්ධ මත්පැන්හල් වැනි ස්ථානවල ඇති වන කතාබහට හොර රහසේ සවන් දෙන්නත් පුළුවන්. මෙහි නිර්මාණකරුවන් කියන්නේ මේ මෙවලම අනාගතයේ ස්මාට් ෆෝනවල තැන ගනීවි කියලයි.

අනාගතයේදී තමන් අසන බස තමන්ට තේරෙන බසට එසැණ පරිවර්තනය කිරීමේ පහසුකමත් මෙයට එක් වේවි. ඒ වගේම රහස් පරීක්‍ෂකයන්ගේ අංක එකේ මෙවලම වෙන්නත් පුළුවන්.
http://www.malkakulu.com/

ජෝර්දානයෙන් හමුවූ ගුවනට විතරක් පෙනෙන ‘යෝධ වළලු’වල අබිරහස කුමක් ද?

ජෝර්දානයෙන් හමුවූ ගුවනට විතරක් පෙනෙන ‘යෝධ වළලු’වල අබිරහස කුමක් ද?

ජොර්දානයේ තැනින් තැන විසිරුණු යෝධ වළලු විශේෂයක් තියෙනවා. ඒවා ඉහළ අහසේ සිට හෝ චන්ද්‍රිකාවක සිට විතරයි කව හැටියට හරියට පැහැදිලිව දැක ගන්න පුළුවන්.

ඒවා හැඳින්වෙන්නේ ‘යෝධ වෘත්ත’ (Big Circles) හෙවත් ‘යෝධ වළලු’ කියායි. ඒවායේ විෂ්කම්භය අඩි 720ත් 1.490ත් (මීටර 220ත් මීටර 455ත්) අතර වෙනවා කියලයි සඳහන් වෙන්නෙ. ඒවා කොයිතරම් විශාල ද කියලා එයින්ම හිතා ගන්න පුළුවන්.

ඒ වළලු කීපයක් මුලින්ම ගුවනින් දැක ඇත්තේ 1920 ගණන්වලදියි. ඊට පස්සේ 1930, 1953 හා 2002 දී ගුවනින් කළ මැනුම් කටයුතුවල දී ඒවායේ පිහිටීම් විතරක් නෙවෙයි, ප‍්‍රමාණයන් හා හැඩයන් ආදියත් ඉතා නිවැරදිව ගණනය කරනු ලැබුවා.

පසුගියදා බටහිර ඕස්ටේ‍්‍රලියාවෙන් ගිය පුරාවිද්‍යාඥයන් පිරිසක් ඒවා ගැන නව අධ්‍යයනයක් කළා. ඔවුන් ඒවා ගැන වාර්තාවක් සකස් කර තියෙනවා. මුලින්ම ඔවුන්ගේ විමසුමට ලක් වුණේ ජොර්දානයේ වළලුයි. ඒවා 12ක් ලෙස හඳුනා ගෙන තියෙනවා.

මෑතදී සිරියාවේත් වළලු වගයක් හඳුනා ගෙන ඇති අතර ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මේවා ගැන ලෝක ජනතාවගේ අවධානය යොමු කරවන්නයි. ඒවා ඉදි කළ අරමුණු ගැන තවදුරටත් විමසා බලන්නයි.

ඔවුන්ගේ වාර්තාවට අනුව බටහිර ජොර්දානයේ මධ්‍යම ප‍්‍රදේශයේ යෝධ වළලු 8ක් තියෙනවා. ඒවා පිහිටා ඇත්තේ වාඩි එල් හසාහී (Wadi el-Hasa) සිට සහරා කාන්තාරයේ ඉම තෙක් වන ප‍්‍රදේශයේයි.

ඒ වගේ ම එහි දෙවැනි කාණ්ඩයක් ද තියෙනවා. එහි ඇත්තේ වළලු හතරක් විතරයි. ඒවා පිහිටා ඇත්තේ අස්රාක් ඔඅයිසිස් (Azraq Oasis) වලට උතුරින්. මෙහි දැක්වෙන්නේ ඔවුන් ‘ජේ1’ යනුවෙන් නම් කර ඇති වාත්තයයි. එය එරටේ වැසියන් හඳුන්වන්නේ ‘කාසර් අබු එල් ඉනයා’ (Qasr Abu el-Inaya) කියායි. එය ඇත්තේ හෙඞ්ජාශ් දුම්රිය මාර්ගයටත්, කාන්තාර අධිවේගී මාර්ගයටත් කි.මී 4ක් පමණ දුරින්.

මීට අමතරව, 2002 දී සිරියාවේ හොම්ස් (Homs) අසලින් සොයා ගෙන තියෙනවා, තවත් යෝධ වළල්ලක්. එහි චන්ද්‍රිකා ඡායාරූපයක් ද ලබා ගෙන තියෙනවා. ‘මැදපෙරදිග කලාපයේ භූ දර්ශනය ගලින් තැනුනු ඉදිකිරීම්වලින් ගහණයි. ඒවා කවාකාර හෝ අර්ධ කවාකාර හෝ හැඩයෙන් යුක්තයි.’ මෙහෙම කියන්නේ බටහිර ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඬේවිඞ් කෙනඩියි. ඔහු තමා මේ යෝධ වෘත්ත පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධානියා.

‘වැඩි හරියක් මේ වෘත්ත ඇද සහිතයි. ඒත් ඇතැම් ඒවා ඉතාමත් පැහැදිලිව ම ජ්‍යාමිතිකව වෘත්ත හැටියට සලකන්න පුළුවන්.’ ඔහු වැඩිදුරටත් කියනවා. ඔහු කියන්නේ මෙම ඉදිකිරීම් ඉතා සරල ඒවා බවයි. මේ වළලු සලකුණු වී ඇත්තේ මිටි තාප්පවලින්. ඒවා එක දිගට වක‍්‍රාකාරව විහිදෙනවා. එහෙත් ඒවා ඉදි කිරීමෙදී, ඇද කුද නැතිව නිසියාකාර තනන්නට සෑහෙන පිරිසක් අවශ්‍ය වෙනවා.

‘මේ වළල්ලේ නිර්මාතෘ සමහර විට වළල්ල ඇඳිය යුතු හරියේ මැද කනුවක් සිටුවා එහි ලණුවක් බැඳ එය වටේට ගෙන යාමෙන් වෘත්තය සලකුණු කරන්න ඇති.’ කියා මහාචාර්ය කෙනඩි පවසනවා.

‘සමහර වෘත්තයන් වඩාත් ඕනෑකමකින් සම්පූර්ණ කර ඇති බව පැහැදිලියි. ඒවායේ කවයන් ඉතාමත් නිවැරදිව සලකුණු කර තියෙනවා’ ඔහු වැඩිදුරටත් කියනවා. මේවා ඉදි කළ වකවානුව ගැටලු සහගතයි. මේවා ඉදි කිරීමට ගත් ද්‍රව්‍ය බොහෝ විට කැල්කොලිතික හෙවත් තඹ යුගයට අයත් ඒවායි. නැතහොත් මුල් ලෝකඩ යුගයට (කි‍්‍ර. පූ. 2000ත් 4500ත් අතර කාලයට) අයත් ඒවායි.

සමහර වෘත්ත තැනීමට යොදා ගෙන ඇත්තේ කි‍්‍ර. පූ. 1 වන හා 7 වන සියවස් අතර කාලයට, එනම් රෝම යුගයට, අයත් ගල් හා පාෂාණ කැබලිවලින බව පැහැදිලියි. සිරියාවේ වෘත්තය පිහිටා ඇත්තේ හෝම්ස්වල සිට වයඹ දිගට සැතැපුම් 10ක් පමණ දුරින් වන අතර එය හඳුනා ගත්තේ 2002 පෙබරවාරි මාසයේ දී ඉක්නෝස් චන්ද්‍රිකාවයි.

එය නගර විශාල කිරීමේ සැලැස්ම නිසා විනාශ වන්න ඔන්න මෙන්න කියා තිබූ යෝධ වළලු දෙකෙන් එකක්. විනාශ වීමට තිබූ අනෙක් යෝධ වළල්ල ‘ජේ12’ යි. එය පිහිටා ඇත්තේ ජොර්දානයේ අස්රාක් අසලයි. එහි පළල අඩි 1210ත් 1410ත් (මීටර 370ත් 430ත්) අතර වෙනවා.


බටහිර මධ්‍යම ජොර්දානයෙන් වාර්තා වී ඇති මුළු යෝධ වළලු ගණන 8ක්. ඒවා පිහිටා ඇත්තේ වාඩි එල් හසාහී සිට සහරා කාන්තාරයේ ඉම තෙක් වන ප‍්‍රදේශයේයි. ඒ වගේ ම එහි දෙවැනි කාණ්ඩයක් ද තියෙනවා. එහි ඇත්තේ වළලු 4ක් විතරයි. ඒවා පිහිටා ඇත්තේ අස්රාක් ඔඅයිසිස්වලට උතුරින්. මෙහි දැක්වෙන්නේ ඔවුන් ‘ජේ1’ යනුවෙන් නම් කර ඇති වෘත්තයයි. එය එරට වැසියන් හඳුන්වන්නේ ‘කාසර් අබු එල් ඉනයා’ (Qasr Abu el-Inaya) කියායි. එය ඇත්තේ හෙඞ්ජාශ් දුම්රිය මාර්ගයටත්, කාන්තාර අධිවේගී මාර්ගයටත් කි.මී 4ක් පමණ දුරින්.
ඛ්. ෂාදා (Kh. Shada) යනුවෙන් හැඳින්වෙන මේ ‘ජේ3’ වළල්ල පිහිටා ඇත්තේ ‘රෝමන් වියා නෝවා ට්රියානා (Roman Via Nova Traiana) වලට නැගෙනහිරින් මීටර 25ක් දුරින්. මේ වෘත්තය තුළ සරු පසක් තියෙනවා. මුලින් ම හඳුනා ගත්තේ 1997දියි. මෙය සෑදී ඇත්තේ නොබිඳුණු මඳක් උස් නියරක් බඳු වැටියකින්. විශේෂඥයන් කියන්නේ මෙය සරල වුවත් විශාල පිරිසක් යොදා තනන්නට ඇති දෙයක් බවයි.

ජෝර්දානයේ අස්රාක් ආශ‍්‍රිත සිතියමක් ඇඳලා තියෙනවා. එහි ප‍්‍රමාණය ගණනය කරල තියෙනවා, දළ වශයෙන් අසල ඇති රෝමන් බලකොටුවක නටබුන් සමග. මෙහි ඇති වෘත්ත දෙකෙහිම හැඩයත්, ප‍්‍රමාණයත්, නිශ්චය කරන්න පුළුවන් වුණා, චන්ද්‍රිකාවකින් කලකට ඉහතදී එවන ලද පිළිබිඹුවලින්.


ඉහත සිතියමෙහි දක්වා ඇත්තේ ඒ යෝධ වෘත්ත හමවූ තැන්ය. ජෝර්දානයේ යෝධ වෘත්ත දොළහත්, 2002 දී සිරියාවේ හෝම්ස් අසලින් හමු වූ යෝධ වෘත්තයත් මෙහි සලකුණු කර තියෙනවා.


මේ ‘ජේ4’ යෝධ වළල්ලයි. කාන්තාරය හරහා දිවෙන අධිවේගී මාර්ගයට නැගෙනහිරින් පිහිටි මෙ යෝධවළල්ල මීටර 250ක් (අඩි 820ක්) පළලයි. එහි ශේෂව ඇති ගල් වැටි ප‍්‍රාකාරයේ විශේෂ කවුළු, දොරටු හා මුර කුටි ආදියෙහි නටබුන් දැකිය හැකිය.

සිරියාවේදී හමු වූ යෝධ වෘත්තය නැති වී යන්න කලින් පරීක්ෂා කරන්නට ඩර්හැම් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණඩායමක් සමත් වුණා.

මහාචාර්ය කෙනඩි මෙම ජොර්දාන ව්‍යාපෘතියේ ගුවන් පුරාවිද්‍යා කටයුතු මෙහෙයවන්නේ 1997 වසරේ සිටයි. ඔහු මැදපෙරදිග පුරාවිද්‍යා ගුවන් ඡායාරූප සංරක්ෂණ ව්‍යාපෘතියත් බාරව කටයුතු කරනවා.

මේ ඡායාරූප සපයා ගනු ලැබුවේත් ඒ ව්‍යාපෘතියෙන්. මේ විස්මිත වළලුවල අබිරහස කුමක්ද? ඒවා බලකොටුවල නටබුන් ද? කුමන ශිෂ්ටාචාරයක් විසින් ඉදි කරන ලද්දක් ද? තවමත් සොයා ගෙන නැහැ.


1953 දී සොයා ගනු ලැබූ මේ යෝධ වළල්ල ‘ජේ6’ කියා නම් කර තියෙනවා. මෙහි පළල මීටර 400ක්. (අඩි 1310ක්) උද්රූහ් නගරයේ සිට සැ. 3ක් (කි.මී. 5ක්) පමණ දුරින් තමයි, පිහිටා ඇත්තේ.

ජෝර්දානයෙන් හමු වූ යෝධ වළලු 12 අමතරව ඊට පසුකලෙක, එනම් 2002 දී සිරියාවේ හෝම්ස්වල දීත් යෝධ වළල්ලක් හමු වුණා. මෙහි දැක්වෙන්නේ ඒ වළල්ලයි.

යෝධ වෘත්ත දෙක, එනම්, ‘ජේ9’ හා ‘ජේ10’ කි.මී. 4ක් (සැ. 2.4ක්) ආසන්නයේ පිහිටා තියෙනවා. ඒවා කි‍්‍ර.ව. 208ත් 210ත් අතර කාල සීමාවේ තැනූවක් ලෙසයි, සැලකෙන්නෙ. ‘ජේ10’ වෘත්තය අඩි 1180ත් 1470ත් ගණනක් පළලයි.


මේ සමීප රූපයෙන් දැක්වෙන්නේ ‘ජේ2’ වෘත්තය සෑදී ඇති ගල් කැබලියි. මෙය කුමක් සඳහා ඉදි කරන ලද්දක් ද? ආදී වශයෙන් සැඟවී ඇති රහස් ගවේශනය සඳහා පුරාවිද්‍යාඥයන්ට කැණීම් කළ යුතු වෙනවා.

 http://www.malkakulu.com/