Thursday, June 26, 2014

සෙනසුරුගේ මෙතෙක් නුදුටු විස්මිත දර්ශන පෙළක්!

ඇමරිකාවේ නාසා ආයතනය විසින් සෙනසුරු ග‍්‍රහයා වෙත යවන ලද කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු ග‍්‍රහයාගේ චිත්තාකර්ෂණීය රූප රැසක් පසුගියදා පොළොවට එවා තියෙනවා.

සෞරග‍්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග‍්‍රහයා වන සෙනසුරුගේ වඩාත් ප‍්‍රසිද්ධ ලක්ෂණය වූ අයිස් හා දූවිලිවලින් සැදුණු එහි යෝධ වළලූවල මෙතෙක් නුදුටු විස්මිත දර්ශන පෙළක් ඒ අනුව ඔබට දැක ගන්න පුළුවන්.

කැසිනිගේ අලූත් ම පින්තූර මෙතෙක් ලද පැහැදිලිම ඒවා වන අතර ඒවායින් සෙනසුරුගේ යෝධ වළලූ අතරින් යන පුංචි චන්ද්‍රයන් දැක ගැනීමට විද්‍යාඥයන්ට අවස්ථාව ලැබුණා. ඒ චන්ද්‍රයන් වළලූවල හිම කපා ගෙන රිංගා යනු දැක ගත හැකිවුණා.

 
කැසිනි නව කක්ෂයකට යමින් මෙතෙක් නුදුටු ආකාරයේ දර්ශන රැසක් අපට එවා තියෙනවා. සෙනසුරුගේ වළලූ, රී (Rhea), ටෙතිස් (Tethys), පැන්ඩෝරා (Pandora) යන චන්ද්‍රයන් මෙහි දිස් වෙනවා.

 
සෙනසුරුගේ වළලූ ඒ ග‍්‍රහයා මත සෙවණැලි සදන අයුරු. කැසිනි යානය මේ දර්ශන හසුකර ගෙන ඇත්තේ ඒ ග‍්‍රහයාගේ සිට සැ. 621,000ක් දුර කක්ෂයක සිටයි.

වසර දෙකකට පසුවයි, කැසිනි යානය මේ තරම් පැහැදිලි පින්තූර එව්වේ.

මේ යානය පසුපස සිටින නාසා විද්‍යාඥ කණ්ඩායම කියන්නේ, ”කැසිනි එහි සෙනසුරු වටා ගමන් කක්ෂය හා කෝණය වෙනස් කළ නිසා මේ ආකාරයට පින්තූර එවන්න හැකි වෙලා තියෙනවා. ඒ යානය වරින් වර සෙනසුරුගේ සමක තලයට ඉහළින් හා පහළින් කක්ෂගත ව ගමන් කරනවා.” කියලයි.

”මේ යානය විශේෂ කෝණයකින් කක්ෂගත ව යන නිසා සෙනසුරුගේ ධ්රුව හොඳින් දැක ගන්න විද්‍යාඥයන්ට හැකි වී තියෙනවා. ඒ වගේ ම එහි වායුගෝලයත්, සෙනසුරුගේ චන්ද්‍රයන් ගමන් කරන ආකාරයත් පැහැදිලි ව දැක ගන්න පුළුවන්.” ඔවුන් තවදුරටත් කියනවා.

කැසිනි විසින් මෑතදී එවන ලද දර්ශනවලින් අලූත් දේ දකින්නට, එහි වළලූවල රහසක් හෙළි කර ගන්නට, විද්‍යාඥයන් සමත් වුණා. මේ වළලූ අතර දක්නට ලැබෙන බමන හැඩයේ හිඩැස් ඇති වීමට හේතුව ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා. ඒවා ඇති වී තියෙන්නේ සෙනසුරුගේ අප මෙතෙක් හඳුනා ගෙන සිටි කුඩා චන්ද්‍රයන්ට වඩා කුඩා ග‍්‍රහ වස්තූන් ඒ වළලූ තුළින් ගමන් කිරීම නිසා කියලයි විද්‍යාඥයන් සොයා ගෙන තියෙන්නෙ. ඒ වළලූවල ඇති කැබලිවලට වඩා ප‍්‍රමාණයෙන් ලොකු මේ ග‍්‍රහ වස්තූන් (ඉතා කුඩා චන්ද්‍රයන්) ඒ වළලූ තුළින් ගමන් කරනු මේ පින්තූවලින් විද්‍යාඥයන්ට දැක ගත හැකි වුණා.

”මේ සොයා ගැනීම මේ විද්‍යා මෙහෙයුමේ එක් කොටසක්. මේ රූප චිත‍්‍රශිල්පියකු ඇන්ද ඒවා නෙවෙයි. සෙනසුරු වටා ක්ක්ෂයක යන අභ්‍යවකාශ යානයකින් හසු කර ගත් ඒවායි.” ඔවුන් කියනවා.

සෙනසුරුට චන්ද්‍රයන් 60ක් ඉන්නවා. එයින් එකක් තමයි ටයිටන්. සෞරග‍්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාල චන්ද්‍රයා. එහි වායුගෝලයක් පවා තියෙනවා. එහි වැඩිපුර ම ඇත්තේ නයිට‍්‍රජන් වායුවයි.

සෙනසුරු ඇත්තෙන් ම ප‍්‍රචණ්ඩකාරී කුණාටු සහිත ග‍්‍රහයෙක්. එහි සමකයෙහි පැ.හැ. 1000ක වේගයෙන් හමන සුළං තියෙනව.

 
සෙනසුරුගේ ටෙතිස් චන්ද්‍රයා වළලූ අතරින් පායා එන අයුරු. සෙනසුරුගේ සෙවණැල්ල වළලූ මත වැටීමෙන් එහි කොටසක් වැසී තිබෙනු පෙනේ. කැසිනි මේ දර්ශන හසුකර ගත්තේ සැ. මිලියන 1.1ක් තරම් දුරක සිටයි.

 
මේ දර්ශනයේ ඉහළින් පෙනෙන්නේ ආවාට සහිත රී චන්ද්‍රයායි. පහළ සෙනසුරු වළලූවලට ඉහළින් ඇත්තේ දියෝන් චන්ද්‍රයායි.

 
සෙනසුරු වළලූවල සිත්කළු දසුනක්.

 
කැසිනි යානය එවූ සෙනසුරුගේ විසිතුරු වළලූ හා ඒ අතරින් රිංගා කුඩා චන්ද්‍රයන්ගේ දර්ශන

මේ කැසිනි අභ්‍යවකාශ යානය මුලින් ම දියත් කළේ 1997දියි. එය 2006 දී එහි කක්ෂයකට ළඟා වී මේ වන තෙක් ඒ කක්ෂයක ගමන් කරමින් තියෙනවා.

මෑත දී එය ගමන් කරමින් තිබූ කක්ෂයෙන් වෙනත් කක්ෂයකට මාරු වුණා. ඒ වෙනුවෙන් තමයි වසර දෙකකට පසු මේ පින්තූර එවන්න පටන් ගත්තේ.

”අපි මේ පිවිසෙන්නේ කැසිනිගේ සෙනෙසුරු අභ්‍යවකාශ ගවේශන චාරිකාවේ අලූත් අදියරකටයි.” කොලරාඩෝවේ බෝල්ඩර්හී අභ්‍යවකාශ විද්‍යායතනයේ කැරොලින් පෝකෝ කියනවා.

”වළලූ ගැන එවූ අලූත් ම හා වෙනස් දර්ශනවලින් අපට පෙනෙනවා ඉදිරියේ දී තවත් ලොකු ලොකු දේ දැක ගන්න ලැබෙන බව.” ඇය තවදුරටත් කියනවා.

පොළොවේ සිටින අපටත් මේ ඉන්නා තැන්වල සිට සෙනසුරු නරඹන්න පුළුවන්. ඒත් මේ දර්ශනවල පෙනෙන තරම් එය චිත්තාකර්ෂණීය නැහැ.

මේ සෙනසුරු ග‍්‍රහයා මේ දිනවල පැහැදිලි රාති‍්‍ර අහසේ ඉතා දීප්තිමත් ව බැබලෙනු පියවි ඇසින් දැක ගත හැකියි.

 
විද්‍යාවේ පිහිටෙන් අපට අද දැක ගත හැකි සෙනසුරුගේ සිත්කළු වළලූ.

 
මේ සෙනසුරු වළලූවල අලූත් ම දර්ශන එවනු ලැබුවේ කැසිනි යානය වෙනත් කක්ෂයකට මාරු වීමෙන් පසුවයි. ඒ මාරුවීම සනිටුහන් කරන්නට එවූ දර්ශන ලෙසයි, කැලිෆෝනියාවේ පසදේනාහී පිහිටි ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ නාසා නිලධාරින් දකින්නේ.

 
කැසිනි අභ්‍යවකාශ යානය වසර අටක් තිස්සේ සෙනසුරු වටා කක්ෂයක යනවා.

 
බැලූ බැල්මට සෙනසුරු සාමකාමී ග‍්‍රහයකු ලෙස පෙනුනත් එහි වළලූ නිතර ම වෙනස් ඒවායේ ස්වරූපය වෙනස් කරනවා.

 
වසර දෙකකට පසු ප‍්‍රථම වතාවට කක්ෂය මාරු කළ නිසයි, කැසිනි යානයට මේ දර්ශන එවන්නට හැකියාව ලැබුණේ.

 
විද්‍යාඥයන් මේ දර්ශන පාවිච්චි කර මෑත දී ඒ වළලූවල මතු වූ ගුප්ත බමන හැඩ ගැන විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා.

 
අපට පොළොවේ සිට බලන විට සෙනසුරු මේ විදියට දැක ගන්න බැහැ. ඒත් මේ කාලයේ වඩාත් දීප්තිමත්ව පෙනෙන නිසා අහස පැහැදිලි නම් ඔබට පියවි ඇසට සිකුරු මෙන් බබලනු දැක ගත හැකියි.

 
සෙනසුරු වටා ඇති වළලූවල අලූත්ම රූප ඒවා නැවත අධ්‍යයනයට මඟ පාදා තියෙනවා.


සෞරග‍්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග‍්‍රහයා වූ සෙනසුරුගේ තොරතුරු
  • සෙනසුරු පිහිටා ඇත්තේ සූර්යයාගේ සිට දළ වශයෙන් සැතැපුම් මිලියන 890ක් ඈතිනි.
  • එහි විශ්කම්භය සැතැපුම් 74,897කි.
  • එය ඉතා අධික ශීතලෙන් යුත් ග‍්‍රහයෙකි. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් -140 (ෆැරන්හයිට් -220)
  • එය තැනී ඇත්තේ දියර හා ඝන හයිඩ‍්‍රජන් හා හීලියම් යන වායු දෙකින්. එහ කෙතරම් සැහැල්ලූ ද යත් ජලයේ පාවෙන තරම්ය.
  • එය වඩාත් ප‍්‍රසිද්ධව ඇත්තේ එහි ඇති වළලූ නිසයි. මේ වළලූ මුලින් ම හඳුනා ගත්තේ 17 වන සියවසේදියි. ඒවා සෙනසුරුගේ සිට සැතැපුම් 46,000ක් පිටතට විහිදී තියෙනවා. ඒවායේ සම්පූර්ණ විශ්කම්භය සැතැපුම් 170,000ක්.


Source  :  Malkakulu web

නවතම විදුලි කාරය!

ජීව වායුව යොදා බැටරිය ආරෝපණ කළ හැකියි. එක බැටරියක් වෙනුවට බැටරි හයක්! වේගය පැයට හැතැප්ම 75ක් (පැයට කිලෝ 120ක්) උපරිම ව ධාවනය කළ හැකියි! එකවර සැතැපුම් 500ක්!

හරිත ලෝකයකට මග පාදන දෙයක් වුනත් විදුලි කාරය ජනපි‍්‍රය වීමට එක් ප‍්‍රධාන බාධාවක් තිබුණා. ඒ පෙට්රල් කාරයට මෙන් එක වර වැඩි දුරක් ධාවනය කරන්නට විදුලි කාරයට නොහැකි වීමයි.

මේ තත්වය වෙනස් කළ හැකි විදුලි කාරයක් දැන් තනා තියෙනවා. එයට එකවර සැතැපුම් 500ක් (කිලෝ මීටර් 800ක්) දුර යන්න පුළුවන්. ඒ ගමන අතරතුර බැටරි ආරෝපණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ කාරය ඒ අතින් දැනට ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන් ම ඇති කාර්වලටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. එයිනුත් වඩාත් කැපී පෙනෙන බැටරි හා ගැසොලින් භාවිත කරන චවලට් වොල්ට් කාරයට වරක් බැටරි චාජ් කළ පසු එකවර සැ. 375ක්(කි.මි. 600ක්) යා හැකියි. මේ නව රියට එකවර කි.මී. 800ක් දුර යන්න පුළුවන්.

 
වැඩි දුරක් යා හැකියි: ක්‍යුබීක් විදුලි කාරයට එකවර සැ. 500ක් යන්න පුළුවන්.

ඩෙන්මාකයේ මෝටර් රථ සමාගම් තුනක් එක්ව බිහි කර ඇති ‘මොඩියුලර් එනර්ජි කැරියර්’ (Modular Energy Carrier) නම් මේ නව ක‍්‍රමයේ දී අලූත් කාරයේ බැටරි ආරෝපණය කරන්නට ජීව-මෙතනෝල් යොදා ගන්නවා.

එකෝමූව් (ECOmove) ආයතනය තමයි, මේ නවෝත්පාදක යානය, ක්‍යබීක් කාරය, සැලසුම් කළේ. එහි ප‍්‍රධාන විධායක නිලධාරි මෝගන්ස් ලොක්කේ කියන්නේ ඞීසල් හා පැට්රල්වලට වඩා ජීව-මෙතනෝල් හුඟක් පරිසරයට හිතකර බවයි. එයින් කාබන් ඩයොක්සයිඞ් නිකුත් වීම ඉතාමත් අඩුයි කියලයි ඔහු කියන්නේ.

 
ළඟ එනවා: බැටරි හා ඉන්ධන සෛල යෙදූ මේ ක්‍යබීක් මාදිළිය 2013 දී තමයි, එන්නෙ.

”අපි මේ කාරය තැනුවේ ඉතා සැහැල්ලූවටයි. ඒ නිසා මේක බර කි.ග්රෑම් 425ක් විතරයි. අපට සැතැපුම් 500ක දුරක් යා හැකි වී ඇත්තේ ඒ නිසයි.” ඔහු සීඑන්එන් (CNN) ප‍්‍රවෘත්ති සේවයට කීවා.

ජීව-මෙතනෝල් හා ජලය එක්ව ඉන්ධන සෛල මගින් විදුලිය නිපදවනවා. මේ කි‍්‍රයාවලියේ දී ඇති වන අතිරික්ත තාපය කාරයේ තාප හා සිසිලන පද්ධතිය කි‍්‍රයාත්මක කරන්නට බලය සපයනවා.

මේ සැහැල්ලූ නව මාදිළියේ චැසිය තාක්ෂණයේ ඉදිරි පිම්මක් ලෙස හැඳින්වෙනවා.

”එක ස්ථිර බැටරියක් වෙනුවට අපි මේකට බැටරි මොඩියුල හයක් එක් කරල තියෙනවා. ඒවා තියෙන්නේ කාරයේ චැසිය ඇතුළෙයි. අපට මේ මොඩියුලවලට බැටරි බලය හෝ වෙනත් බල ශක්තියක් පාවිච්චි කරන්න පුළුවන්.” ලොක්කේ කියනවා.

මේ සම්මාන දිනූ ක්‍යුබීක් රියේ රෝදවලට විදුලි මෝටර් කෙළින් ම සම්බන්ධ කර ඇති නිසා පැ.සැ.75ක (පැ.කි.මී. 120ක්) උපරිම වේගයක් ලබා ගත හැකියි.

මේ රිය මේ වසර මුල දී බි‍්‍රතාන්‍ය රාජකීයයන්ගේ අවධානය ඇද ගත්තා. චාල්ස් කුමරුට හා කැමිලා කුමරියට ඔවුන්ගේ ඩෙන්මාකය සංචාරයේ දී මේ රිය දැක බලා ගන්නට හැකි වුණා.

 
එංගලන්තයේ චාල්ස් කුමරු මේ වසර මුල දී ඩෙන්මාර්කයට ගිය වේලේ එකෝමූව් ආයතනයේ විදුලි කාරය නැරඹූ අවස්ථාව.

 
චාල්ස් කුමරු හා කැමිලා කුමරිය පසුගිය මැයි මාසයේ ඩෙන්මාකයේ පැවති ‘විටස් බේරින් ඉනොවේෂන් පාක්’ මෝටර් රථ උළෙල නැරඹීමට ගිය අවස්ථාවේ මේ නව රිය මාදිළි දෙකක් ඔවුනට ඉදිරිපත් කළා.

ඩෙන්මාකයේ සංචාරයේ දී ‘විටස් බේරින් ඉනොවේෂන් පාක්’ මෝටර් රථ උළෙල නැරඹීමට ගිය රාජකීයයන් දෙදෙනා ම ක්‍යුබීක් රියට නැඟ එහි හැඩ බැලූවා.

විධායක නිලධාරි මෝගන්ස් ලොක්කේ ඉ-කාරය හා එහි ඇති විවිධ ගුණාංග පිළිබඳ රාජකීයයන්ට පහදා දුන්නා. චාල්ස් කුමාරයා ඒ ගැන විශාල උනන්දුවක් පෑවා.

”මේක හොඳ අවස්ථාවක්, පරිසරයට හිතකර මේ පියවර ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පණිවිඩය ලොවට කියන්න.” ඔහු කීවා.

මේ කාරයේ ඉන්ධන සෛල සැලසුම් කළ සෙරනර්ජි ආයතනයේ මෑඞ්ස් ෆී‍්‍රස් කියන්නේ ජීව-මෙතනෝල් ඉතා ලාබදායී, කෙටි කාබන් දාමයක් සහිත අප‍්‍රමාණව ලොව පවතින ද්‍රව්‍යයක් බවයි.

පැට්රල් හා සසඳන කල මේ ජීව-මෙතනෝල් නිෂ්පාදනයෙන් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය සියයට 70කින් අඩු කරනවා.

ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව කියන්නේ ඍජු මෙතනෝල් ඉන්ධන සෛල ගබඩා කිරීමේ දී හයිඩ‍්‍රජන්වල දී වගේ ගැටලූ මතුවන්නේ නැහැ කියායි. එය දියරයක් වශයෙන් දැනට පවතින ක‍්‍රමවලින් පහසුවෙන් ම ප‍්‍රවාහනය කරන්න පුළුවන්.

ක්‍යුබීක් ව්‍යාපෘතියෙන් බැටරි බලයෙන් දුවන එක දිගට කිලෝමීටර් 300ක් යා හැකි කාරයක් මේ වසරේ මුලින් ම ඉදිරිපත් කරනවා ඇති.

කි.මී. 800ක් එක දිගට යා හැකි බැටරි හා ඉන්ධන ෙසෙල මාදිළිය එන්නේ 2013 දියි.

 
මේ නව රියෙහි චැසිය සැලසුම් කර ඇත්තේ තනි බැටරියක් වෙනුවට විදුලි මොඩියුල සවි කළ හැකි පරිදියි.

 
ළඟදීම එනවා: ක්‍යුබීක් ව්‍යාපෘතිය මේ වසරේ දියත් කරන්නට යන්නේ එකවර කිලෝමීටර් 300ක් බැටරියෙන් දුවන මාදිළියකින්.

 
පැට්රල්වලට අභියෝග කරන, රෝදවලට විදුලි මෝටර සවි කළ, පැ.කි.මී. 120ක වේගයෙන් ධාවනය කළ හැකි ක්‍යුබීක් සම්මානනීය කාරය.

 
හරිත රිය: මෙහි ඉන්ධන සෛල මගින් ජීව-මෙතනෝල් හා ජලය මුසු කොට බැටරියට විදුලිය ආරෝපණය කරනවා. 
 
 
Source  :  malkakulu web

ඇසිරියානු ශිෂ්ටාචාරය


ඇසිරියානු අධිරාජ්‍යය බිහිවුණේ කි.පූ. දෙවැනි සහ පළමුවැනි සියවසේදී ටයිග‍්‍රීස් නදියේ ඉහළ (වත්මන් ඉරාකයට අයත්) කොටසේයි. ඒ කියන්නේ උතුරු මෙසපොටේමියාවේ. මෙම අධිරාජ්‍යයට ඇසිරියාව කියා නම ලැබුණේ එහි ප‍්‍රථම අගනුවර වූ ‘අශුර්’ නිසයි. උතුරින් ආමේනියාවටත් දකුණින් බැබිලෝනියාවටත් නැගෙනහිරින් සර්ගෝස් කඳුවැටියටත් බටහිරින් සිරියානු කාන්තාරයෙනුත් වටවෙලයි ඇසිරියාව පිහිටියේ. ටයිග‍්‍රීස් ගංගාවෙන් සහ එහි අතු ගංගාවලින් පෝෂණය වූ මෙම බිම් තීරු ගොවිතැනට සරු බිමක් වුණා.



සුලමුල හෙළිකල කීලාක්ෂර ලේඛණ
ඇසිරියාව ගැන තොරතුරු ඇතුළත් මූලාශ‍්‍ර හුඟක් තියෙනවා. ඒවා අතුරින් ප‍්‍රධාන තැනක් ගන්නේ ඇසිරියානු කීලාක්ෂර ලේඛනයි. මෙම ලේඛන විශාල සංඛ්‍යාවක් පුරාවිද්‍යාඥයින්ට හමුවෙලා තියෙනවා. ඒ නිසා ඇසිරියානුවන් ගැනත් ඇසිරියානු අධිරාජ්‍යය ගැනත් කරුණු කාරණා බොහොමයක් හෙළිවී තියෙනවා. ඇසිරියානු රාජ්‍යයේ ආරම්භයේ සිටම එහි රජවරු තමතමන්ගේ යුදමය කටයුතු, වෙළඳ ගනුදෙනු, රටවැසියන්ගේ විස්තර ආදී හැම තොරතුරක්ම කීලාක්ෂර යොදාගනිමින් ලේඛණ ගත කර තැබුවා. මුල සිටම ඇසිරියාව හා බැබිලෝනියාව අතර පැවති සම්බන්ධකම් පිළිබඳ ලියැවුණු ඉතිහාස ග‍්‍රන්ථයක් ද පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තියෙනවා. රාජ්‍ය ලේඛණාගාරවලින් හමුවූ විස්තරවලින් ඇසිරියාවේ රාජ්‍ය පාලනය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වී තියෙනවා. මෙම ලේඛණ අතරිනුත් ඉතාමත් වැදගත් වන ලේඛන කිහිපයකුත් පුරාවිද්‍යාඥයින්ට හා ඉතිහාසඥයින්ට හමුවී තියෙනවා. ඒවා තමයි ප‍්‍රාදේශීය ආණ්ඩුකාරවරුන්ගේ ලේඛණ.

‘අශුර්’ දෙවියන් ඇදහූ ඇසිරියානුවන්
කි‍්‍ර.පූ. 4 වැනි හා 5 වැනි සියවස්වලදී ඇසිරියාවට අයත් ප‍්‍රදේශය මධ්‍යධරණී මුහුද දක්වා පැතිර තිබුණා. ඊට පසුව එය බටහිර ආසියාවේ බිහිවූ සුමේරියානු අධිරාජ්‍යයේ කොටසක් වුණා. සෙමිටික්වරුන්ගේ සංක‍්‍රමණයෙන් ඇතිවූ ඇකැඩි රාජ්‍යයටද ඇසිරියාව අයත්ව තිබුණා. ඇකැඩි රජ පෙළපත බිහි කළ ජන වර්ගයාට සමාන ජනකොට්ඨාශයක් මෙම කාලයේදී ඇසිරියා ප‍්‍රදේශයට සංක‍්‍රමණය වුණා. මෙම ජනයා ‘අශුර්’ නම් දෙවියෙකු අදහන්න වුණා. ඒ නිසා ඔවුන් ඇසිරියානුවන් ලෙස හැඳින්වුණා.

අශුර්හි පාලන කටයුතු
සුමේරියානු සහ ඇකැඩි පාලන දුර්වල වීමත් සමඟ අශුර් ප‍්‍රදේශය පාලනය කළ රජවරු කිහිප දෙනෙකුගේ විස්තර පුරාවිද්‍යාඥයින්ට හමුවෙලා තියෙනවා. මෙම රජවරුන්ගේ ලේඛන අනුව ඔවුන්ට සර්ගෝස්, ඉලාම් කඳුවැටිවල සිට මධ්‍යධරණී මුහුද දක්වා විහිදුණු අධිරාජ්‍යයක් අයත් වුණා. මෙම රාජ වංශය පැවතුණේ කි‍්‍ර.පූ. 1700 දක්වා විතරයි.



හමුරාබි ඇසිරියාව අල්ලා ගැනීම
කි‍්‍ර.පූ. 1700 න් පස්සේ බැබිලෝනියාවේ ශ්‍රේෂ්ඨ රජකු වූ හමුරාබි ඇසිරියාව ආක‍්‍රමණය කිරීමත් සමඟ ඇසිරියාව බැබිලෝනියාවේ කොටසක් බවට පත් වුණා. ඇසිරියාවේ අගනුවර බවට පත්වුණේ ‘නිනවේ’ නගරයයි.

ඉන්දු-යුරෝපීය භාෂා කතා කරන අය පැමිණීම

කි‍්‍ර.පූ. 1600 වෙද්දී මුළු බටහිර ආසායිව වෙනස් වීම් ගණනකට ලක් වුණා. මීට ප‍්‍රධාන හේතුව වුණේ ඉන්දු-යුරෝපීය භාෂාවන්ට හුරු භාෂාවක් කතා කරන අලූත් ජන කොට්ටාශවල සංක‍්‍රමණයයි. මේ අනුව බැබිලෝනියාවට කැසයිට්වරු ද ඇසිරියාවේ බටහිර ප‍්‍රදේශවලට හුරියන්යරු ද පැමිණියා. මෙය ඇසිරියාවට දුර්භාග්‍ය සමයක් වුනත් කැසයිට්වරුන් විසින් බැබිලෝනියාව නම් ඇසිරියානුවන්ට අස්වැසිල්ලක් වුණා. ඇසිරියාව සම්පූර්ණයෙන්ම නිදහස් රාජ්‍යයක් බවට පත්වෙන්නේ බැබිලෝනියාවේ විනාශ වීමත් සමඟයි.

ආක‍්‍රමණවලට හමුවේ...
ඇසිරියාවට බටහිරින් හුරියන්යරුන්ගෙන් ආ තර්ජන මැඬලීමට මිසරය උදව් ලබා දුන්නා. කැසයිට්වරුගෙන් සිදුවන තර්ජන වැළැක්වීමට කි‍්‍ර.පූ. 1450 දී පමණ අශුර් බෙල් නිශේසු රජතුමා ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර ගත්තා. ඒත් හුරියන්යරුන් ‘මිතන්නි’ රාජ්‍යයේ නැගීමත් සමඟ ඔවුන් ඇසිරියාව යටත් කර ගත්තා. මිතන්නි රාජ්‍යය බිඳ වැටුනේ මිතන්නි රාජ්‍යය හා හිටයිට්වරු අතරේ ඇතිවූ ගැටුම්වලින් පසුවයි. ඉන්පසු මෙම ප‍්‍රදේශයේ ආධිපත්‍ය සඳහා සටන් පැවතුණේ හිටයිට්වරු සහ ඇසිරියා රාජ්‍ය අතරේයි. තම දේශ සීමාවන් ආරක්ෂා කර ගැනීමට ඇසිරියා රාජ්‍යයට වෙර දැරීමට සිදුවූයේ මේ අතරේදීයි. මේ නිසා බැබිලෝනියාවට කැසයිට්වරුන් සහ හිටයිට්වරු සමඟ ගැටුම් ඇතිවිණි. මේ සටන්වලින් මුලින් ජය අත්වූයේ ඇසිරියාවටයි. ඇසිරියානු රජවරුන් වූ පළමු වැනි ෂල්මන්සර් (කි‍්‍ර.පූ. 1280 දී) හා පළමුවැනි තුකුල්ති නිනුර්තා (කි‍්‍ර.පූ. 1255 දී) හිටයිට්වරු පරාජය කළා. ඒත් මිසරයේ හැදිහත්වීම නිසා මෙම ප‍්‍රදේශ අල්ලා ගැනීම අසීරු කාර්යයක් වුණා.

පළමු තිග්ලත් පිලේසර් රජ්ජුරුවෝ
ඇසිරියාවට බටහිරින් හුරියන්යරුන්ගෙන් ආ තර්ජන මැඬලීමට මිසරය උදව් ලබා දුන්නා. කැසයිට්වරුගෙන් සිදුවන තර්ජන වැළැක්වීමට කි‍්‍ර.පූ. 1450 දී පමණ අශුර් බෙල් නිශේසු රජතුමා ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර ගත්තා.

ඇසිරියාව යළි බලවත් වෙයි
ඇසිරියාව යළි බලවත් රාජ්‍යයන් බවට පත්වුණේ පළමු තිග්ලත් පිලේසර් රජුගේ කාලයේදීයි. ඒ කි‍්‍ර.පූ. 1115-1102 සමයේයි. මොහුගේ පාලන කටයුතු ගැන උතුරු සිරියාවත් ෆීනීෂියාවත් පැසසුමට ලක් වුණා. බැබිලෝනියාව ඔහුට යටත් විණි. ඔහුගේ මරණින් වසර ගණනක් යනතුරුම ඇසිරියාව සුළු රාජ්‍යයක් බවට පත් වුණා. කි‍්‍ර.පූ. 11 සහ 10 ශතවර්ෂ ඇසිරියාව හා බැබිලෝනියාව පරිහානියට ලක්විණි. ඊට හේතු වූයේ බටහිර ප‍්‍රදේශවල අලූත් රාජධානි කිහිපයක් බිහිවීමයි.

ඇසිරියාවෙන් මතුවූ දක්ෂ ආක‍්‍රමණිකයෝ
කි‍්‍ර.පූ. 10 වැනි සියවස අවසන් වෙද්දී ඇසිරියාව යළිත් වරක් ප‍්‍රබල රාජ්‍යයක් බවට පත් වුණා. මේ කාලයේදී ඇසිරියාවේ බලවට පත් රජවරු දක්ෂ ආක‍්‍රමණිකයෝ වුණා. දෙවැනි අදද්නිරරි (කි‍්‍ර.පූ. 911-891) සහ දෙවැනි තුකුල්ති නිනුර්තා (කි‍්‍ර.පූ. 890-884) රජවරු දියත් කළ මහා සංග‍්‍රමවලින් පසු ආර්මේනියාව සහ බැබිලෝනියාව යන ප‍්‍රදේශ අල්ලා ගත්තා. මේ නිසා ඔවුන්ගේ පසු බලයට ආ ආශුර්නසීර්පාල් (කි‍්‍ර.පූ. 884-859) රජතුමාට බටහිර ප‍්‍රදේශ ආක‍්‍රමණය පහසු දෙයක් විණි. ඔහුගේ කාලයේදී ආර්මේනියානුවන් සහ ෆීනීෂියානුවන් ඇසිරියාවට යටත් වුණා.

තෙවැනි ෂල්මනේසර් රජ්ජුරුවෝ
කි‍්‍ර.පූ. 859-824 කාලයේ ජීවත් වූ තුන්වැනි ෂල්මනේසර් රජු මධ්‍යධරණී මුහුද දක්වා තම ආධිපත්‍යය ව්‍යාප්ත කළා විතරක් නොවේ ඇසිරියාවට එරෙහිව ඩමස්කස් මෙන්ම ඊශ‍්‍රායලය හා ආර්මේනියාව අතර තිබූ ප‍්‍රබල සංවිධානයක් ද විනාශ කරන්න හැකිවුණා.

තෙවැනි තිග්ලත් පිලෙසර් රජ්ජුරුවෝ
ඊට පස්සේ නැවත වතාවක් දුර්භාග්‍ය සමයක් උදා වුණා. එය අවසන් වූයේ කි‍්‍ර.පූ. 746 දී රජකම් කළ තුන්වැනි තිග්ලත් පිලෙසර් රජුගේ කාලයේදීයි. මොහු බැබිලෝනියාවත් අල්ලා ගත්තා. උරාර්තු සහ මීඩියා යන ප‍්‍රදේශවලට පහර දුන්නා. සිරියාවේත් තම බලය තහවුරු කර ගත්තා. අලූතින් පාලන සංවිධාන සකස් කළා. තමා ආක‍්‍රමණය කළ ප‍්‍රදේශද තම පාලන සංවිධානයට ඇතුළත් කර ගැනීමට උත්සහ කළා.

සාර්ගෝන් රාජ වංශය
ඇසිරියාවේ නියම අධිරාජ්‍ය යුගය ආරම්භ වූයේ කි‍්‍ර.පූ. 722 දී ආරම්භ වූ අලූත් රාජවංශයත් සමඟයි. ඒ තමයි සාර්ගෝන් රාජවංශය. ඔවුන් යටතේ ඇසිරියාව බටහිර ආසියාවේ ශ්‍රෙෂ්ඨතම රාජධානිය බවට පත්විණි. සාර්ගෝන් රජවරුන්ගේ පාලන මධ්‍යස්ථානය වූයේ නිනවේ නගරයයි.

Source : malkakulu wb

එදත් එහෙමයි, අදත් එහෙමද? මනුෂ්‍ය ජීවිතයක හැටි!

පහත පළ වෙන්නේ මීට වසර 60කට පෙර ‘පාඨකයා’ නම් සඟරාවේ පළ වූ ලිපියකි. අද ජීවතුන් අතර නැති ඇස් පී. පෙරේරා මහතා එදා ‘පාඨකයා’ තුළින් අලූත් අදහස් දෙන්නට නිතරම උත්සාහ කළේය. එපමණක් නොව ‘පාඨකයා’ පාඨකයන්ට අලූතින් හිතන්න ද සැලැස්සුවේය. මේ එදා ඔහු මිනිස් ජීවිතය දුටු හැටියි. මෙහි බස ඔහුගේ ය. අපි ඒ අයුරින් ම පළ කරමු.


මනුෂ්‍ය ජීවිතයක හැටි!
මිනිස් ජීවිතය කම්කටොලූගොඩකි. මෙලොවට ආවේ කැමැත්තක් ඇතිව නොවේ. මෙලොවින් යන්නේද අකැමැත්තෙනි. මේ ගමන් දෙකට මැදි වී ජීවිත ගමන ද ගල්මුල් සහිත පාරක් දිගේ ය. පරස්පර දෙගිඩියාවන් මේ ගමනෙහි විශේෂාංගයකි.

මිනිසා කුඩා කල වැඩුණු කාන්තාවෝ ඔහුගේ මුහුණ සිඹිති. ඔහු වැඩුණු පසු හාදු ලබන්නේ ළපැටික්කියන්ගෙන් පමණ ය.

ඔහු දුප්පත් නම් ඔහු නිවට කළමනාකාරයෙකි. පොහොසත් නම් වංක ශූරයෙකි.

ඔහුට ණයක් ඕනෑ වූ විට කිසිවෙක් ඔහු විශ්වාස කර ණය නොදෙති. ධනවතෙක් නම් සෑම දෙනා ම ඔහුට පිහිටක් දීමට උදවුවක් කිරීමට සූදානම් වෙති.

ඔහු දේශපාලන වැඩට බැස්සොත් ඔහු අල්ලස් හා පගා ගන්නෙකැයි කියති. නොබැස සිටියොත් රටට ආදරය නොකරන ජාතිභ‍්‍රෂ්ටයෙකැයි කියති.

ඔහු පිනට දෙතොත් ඒ ලෝකයට පෙනෙන්ටයැයි කියති. නොදෙතොත් කුණු ලෝභයෙකි.

ආගමට දැඩි භක්තියක් දක්වතොත් ඔහු හොර උපාසකයෙකි. පන්සලට පල්ලියට නොයතොත් ඔහු පව්කාර කාලකණ්ණි යෙකි.

කරුණාව දක්වන කල ඔහු දුර්වලයෙකි. කිසිවකුට සිනා මුහුණක් නොපෙන්වා ඔහු යුතුකම් කළොත් ඔහු දරුණු යක්ෂයෙකි.

බාල වයසෙහි මිය ගියොත් ඔහුට දීප්තිමත් අනාගතයක් හිමිව තිබුණේ යැයි කියති. මහළු වී නැසුණොත් ලැබුණු අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන නෙගෙක ජීවිතය අපතේ හැරිය කෙනකැයි කියති.

මුදල් එකතු කළොත් ඔහු මසුරෙකි. වියදම් කළොත් නාස්තිකාරයෙකි. බොහෝ උනන්දුවෙන් වැඩ කරන්නෙක් නම් ඔහු පිස්සෙකි. නොකළොත් අලසයෙකි. .... කෝ මිනිසාට නිවනක්!

(1953 මැයි - ජූනි ‘පාඨකයා’ සඟරාවෙනි.)

විස්මය දනවන ඇස් !

අපේ ඇස් සෙලවෙන විට ඒවා සම්පූර්ණයෙන් ම අන්ධය. එහෙත් යම් ද්‍රව්‍යයකට ඇස් තුඩු දුන් පසු එම ද්‍රව්‍යය සෙලවෙන විට ඇස් ද ඒ සමග ම සෙලවෙන කල අන්ධ කමක් නැත. මෙහි ඇත්ත නැත්ත අපට පහසුවෙන් අත්හදා බැලිය හැකිය.

කන්නාඩියක් ඉදිරියේ සිට ඔබේ එක් ඇසක් දෙස බලන්න. පළමුව ඒ ඇසේ දකුණු කෙළවර දෙස බලන්න. ඊ ළඟට ඒ ඇසේ ම වම් කෙළවර දෙස බලන්න. ඔබට ඇස ගමන් කරනවා පෙනුනේ නැත. එයට හේතුව ඇස සෙලවෙන්නට පටන් ගත් මොහොතේ එය අන්ධ වීමය. මේ අන්ධ මොහොත අපට නො දැනේ. එයට හේතුව ඇසට අන්තිමට පෙනුන රූපය අන්ධ වූ ස්වල්ප වේලාව තුළ මොළයේ රදා පැවතීම ය.


මෙසේ ඇස අන්ධ වීමෙන් මොහොතින් මොහොත දර්ශන පටලයට විවේකය ලැබේ. එය ඇසට මහත් පහසුවකි. ඒ හැරත් ඇස සෙලවෙන විට පෙනෙන්නේ සෙලවෙන චිත‍්‍රයක් නිසා එය පැහැදිලි නැත. මෙම ව්‍යාකූල චිත‍්‍රය වැළැක්වීම පිණිස ඇස සෙලවෙන විට එය අන්ධ වෙයි.

අපේ ඇස් ගැන තව කිව යුතු පුදුම රහසක් නම් ඇස් ඇති කාගේත් එක් ඇසක් ස්වාමි ඇසත්, අනෙක ඇස් වහල් ඇසත් බව ය. සතුන්ගේ ඇස් දෙක ඡායාරූප ගන්නා කැමරා දෙකක් වැනි ය. එක එක ඇසින් වෙන වෙන චිත‍්‍රයක් ලබයි. මිනිසාගේ මොළයේ දී පමණක් මේ චිත‍්‍ර දෙක එක් චිත‍්‍රයක් වෙයි. එසේ වුව ද ඇස් දෙකෙන් ම එක සමාන චිත‍්‍ර දෙකක් මොළයට ලැබෙන්නේ නැත. දකුණත්කරුවකුගේ දකුණු ඇස ද, වමත්කරුවකුගේ වම් ඇස ද මොළයට වැටෙන චිත‍්‍රයෙන් වැඩි කොටසක් ලබා දෙයි.

ඉතිරි ඇස එම චිත‍්‍රයෙහි අඩු ලූහුඬු යමක් සැපයීම කරයි. එම නිසා ප‍්‍රධාන චිත‍්‍රය සපයන ඇසට ස්වාමි ඇස ය, අනෙක් ඇසට වහල් ඇස ය කියා, කියනු ලැබේ. එසේ හෙයින් අප සියලූ දෙනාම පාහේ දකුණැස්කාරයෝ ය. වම් ඇස දකුණැසහෙි උදව්ව පිණිස සේවය කරයි. එහෙත් දකුණු ඇස වැහුවොත් එකෙණෙහිම වම් ඇස දකුණු ඇසේ වැඩ ද බාර ගනියි. මේ කරුණ ද අපට අත්හදා බැලිය හැකි ය.

ඔබ ඉදිරියේ යාර දෙකක් පමණ ඈත තිතක් දෙස බලන්න. ඊළඟට තිත දෙස බලා සිටිද්දී ම ඇඟිලිවල පලඳින මුද්දක් ගෙන අත සම්පූර්ණයෙන් ම දිග හැර ඒ මුද්ද මැදින් තිත පෙනෙන සේ මුද්ද අල්ලන්න. ඊළඟට අත හෝ හිස හෝ නොසොල්වා ම වම් ඇස පියා ගන්න. ඔබ දකුණත්කාරයකු නම් ඒ තිත තවමත් මුද්ද මැදින් පෙනිය යුතු ය. දැන් දකුණු ඇස පියා වම් ඇසෙන් බලන්න. මුද්ද මැදින් පෙනෙන්නේ තිත නොව වෙන තැනකි. ඔබ වමත් කාරයෙක් නම් ඔබේ ස්වාමි ඇස වම් ඇස බව මේ අයුරින් ඔප්පු කළ හැකි ය.

(‘සයන්ස් ජර්නල්’ සඟරාවේ ලිපියක් ඇසුරෙන් ‘දැනුම’ සඟරාවේ පළ වූ පරිවර්තනයක් ඇසුරෙනි.)

Sunday, June 8, 2014

රාති‍්‍රයේ වැඩියෙන් ම ආලෝකය ඇතිව දිලිසෙන නගර

රාති‍්‍රයේ වැඩියෙන් ම ආලෝකය ඇතිව දිලිසෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගරයයි. ඒ සමග අනෙක් පැත්තෙන් පෙනෙන්නේ අයර්ලන්තයයි.

අභ්‍යවකාශයෙන් එන මේ දීප්තිමත් දර්ශනවලින් ඔබට පුළුවන් බල ශක්තිය නාස්තිකරමින් ආලෝක දූෂණයෙහි යෙදෙමින් මහා පරිමාණයෙන් විදුලි බලය පරිභෝජනය කිරීමට වගකිවයුත්තන් කවුරුද කියා දැක ගන්න.

දැන් සසඳන්න අපි‍්‍රකාවේ හා දකුණු ඇමරිකාවේ පිහිටි තුන්වැනි ලෝකයේ රටවල් විදුලිය පාවිච්චි කරන හැටි. ඒ වගේ ම ආසියාවේ විශාල කොටසක් අඳුරේ තිබෙන හැටි ඔබට පෙනේවි.

 
රාති‍්‍රයේ දී බි‍්‍රතාන්‍යය හා යුරෝපීය රටවල් චන්ද්‍රිකාවක් මගින් රූපයට නැඟූ අයුරු. මේ කලාපයේ ප‍්‍රධාන නගරවල පමණක් නොව ධනවත් රටවල විදුලිය නාස්ති කරන අයුරු.

 
ඇමරිකාවේ රාති‍්‍රයට විදුලිය දැල්වෙන හැටි. මෙහි දැක්වෙන්නේ නැගෙනහිර වෙරළ තීරයේ හූස්ටන්, ටෙක්සාස් හා සැන් ෆ්රැන්සිස්කෝ යන නගරත්, බටහිර වෙරළේ ලොස් ඇන්ජලීස් නගරයත් රාති‍්‍රයට පෙනෙන හැටි.

 
තුන්වැනි ලෝකයට අයත් අපි‍්‍රකාවේ රටවල රාති‍්‍රයට විදුලි භාවිතය බටහිර රටවලට වඩා බොහෝ සේ අඩු බැව් මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙනේ. අපි‍්‍රකා මහාද්වීපයේ ඊජිප්තුවේ කයිරෝ නගරයේ සිට නයිල් නදිය දිගේ පමණක් ආලෝක තීරුවක් පෙනේ.

වසරක් පාසා ලන්ඩන් නගරය බලශක්තිය පැය ගිගාවොට් ලක්ෂ එකහමාරක් පාවිච්චි කරනවා. එය පෘතුගාලය හා ගී‍්‍රසිය යන දෙරටම එක්ව වැය කරන විදුලි බලය ප‍්‍රමාණයට සමානයි.

එක්සත් රාජධානියේ අහස ආලෝක දූෂණයෙන් පිරී ඇති නිසා එරට ජනගහනයෙන් සියයට පනහකට රාති‍්‍ර අහසේ තරු දැක ගැනීමේ වාසනාව නැතිව ගොස් ඇති බව උද්ඝෝකයන් පෙන්නා දුන්නා.

චන්ද්‍රිකාවලින් ලබා ගත් දත්ත භාවිත කරමින් පළමු වැනි හා තුන් වැනි ලෝකවල විදුලි පරිභෝජනයේ ඇති පරස්පරතාව පෙන්වන මේ පින්තූර සකසා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ෆීගික්ස් ෆාරන්ඞ් ඩෙෂින්ස් නම් විද්‍යාඥයායි.

ඔබට මෙහි දී පෙනේවි, ඊජිප්තුවේ නයිල් නදිය ආශි‍්‍රත ප‍්‍රදේශයේ ජනගහන ඝනත්වය ඉතා වැඩි බව එහි ඇති තියුණු ආලෝකයෙන්. උතුරු අපි‍්‍රකාවේ සෙසු ප‍්‍රදේශ අඳුරේ ගිලී තිබෙන අයුරු දක ගන්න. ඒ එක්කම මුළු ජපානයම ආලෝකයෙන් පිරිලා තියෙනවා.

ඇමරිකාව දීප්තිමත්ව පෙනෙනවා. ඒත් එහි දකුණු ප‍්‍රදේශයේ සීමාවේ රටවල ආලෝකය නැති තරම්. මධ්‍යම ආසියාව, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල ඒ තරම් ආලෝකයක් දකින්නට නැති බව ඔබට පෙනේවි. ලංකාවේ කොළඹ විතරක් පුංචි එළියක් පෙනෙනවා. ඒවායින් තමයි බටහිර රටවල් කොයිතරම් විදුලිය පාවිච්චි කරනවාද කියල අපට මැන ගන්න වෙන්නෙ.

 
මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙනෙන්නේ බටහිර ධනවත් රටවල් විදුලිය පාවිච්චි කරන අන්දමයි. ලෝකයේ සෙසු ප‍්‍රදේශවල රාති‍්‍රයට විදුලිය පාවිච්චි කරන අන්දම අඳුර විහිදී ඇති තරමින් සිතා ගත හැකියි.

 
මේ බටහිර අර්ධගෝලයේ රූපයෙන් පෙනෙන්නේ යුරෝපය රාති‍්‍රයට විදුලිය පාවිච්චි කරන ආකාරයයි. අපි‍්‍රකාව හා ආසියාව හා සසඳා බලන විට එය ඉතා වැඩි බව ඔබට පෙනේවි. වැඩිම ආලෝකයක් පෙනෙන්නේ ලන්ඩන්, පැරිස් හා මොස්කොව් නගරවලයි.

 
ඇමරිකා එක්සත් ජනපදයෙ හා කැනඩාවෙ ආලෝකයෙන් පිරුණු නගර ඇතත් උතුරේ සමහර ප‍්‍රදේශවල ආලෝකය නැත්තේ ඒවා ඉතා අඩු ජනගහන ඝනත්වයක් ඇති ප‍්‍රදේශ නිසයි.

(Satellite image copyright owner : SPL/Barcroft Media)
 
 
source  Malkakulu web

විශ්වයේ අබිරහස සොයා ගන්නට පොටක් - ‘සර්න්’(CERN)

2012 දී භෞතික විද්‍යාඥයන් පිරිසක් නව සොයා ගැනීමක් ගැන ලෝකයට හඬගා කී අතර ඒ පුවත ඇසූ ලොව පුරා භෞතික විද්‍යාඥයෝ සතුටින් ඉපිල ගියහ. ඔවුහූ එය මේ සියවසේ විදුලිබලය, ඉලෙක්ට්‍රෝනය ආදිය සොයා ගැනීමෙන් පසු මිනිසා ලත් ලොකුම භෞතික විද්‍යාත්මක ජයග‍්‍රහණය ලෙස හැඳින්වූහ. මේ අපූරු සොයා ගැනීම කුමක්ද ? ඒ පරමාණුවක් තුළ ස්ථිර වශයෙන් ම බොසොන් අංශු (විශේෂයෙන් හිග්ස් බොසොන් අංශු) ඇති බව තහවුරු කර ගැනීමය.

මේ විශේෂ බෝසෝන් අංශුව විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘දේව අංශුව’ (God particle) කියාය. මෙය සොයා ගැනීම නවයුගයකට දොර හරින්නකි. විශ්වයේ උපත පිළිබඳ අබිරහස ඇතුළු මෙතෙක් මිනිසාට ගැටලූවක් ව පැවති බොහෝ දෑ විසඳා ගැනීමට මෙය උපකාර කර ගත හැකිය. විකිරණශීලී නොවන ද්‍රව්‍ය හෙවත් අඳුරු පදාර්ථ (dark matter) ගැන තේරුම් ගන්නට යොදා ගත හැකිය.

 
මහාචාර්ය පීටර් හිග්ස් ඔහුගේ කල්පිතය ඔස්සේ කළ නව සොයා ගැනීම ගැන ප‍්‍රකාශ කරද්දී සිය නෙතට නැඟුණු සතුටු කඳුළු පිසදාගත් හැඟුම්බර මොහොත.

මේ නව සොයා ගැනීම ගැන ලොවට හෙළි කළේ ‘සර්න්’ (CERN) යනුවෙන් හැඳින්වෙන යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂණායතනයේ භෞතික විද්‍යාඥයන් පිරිසකි. මේ සඳහා විශේෂ උත්සවයක් ජූලි 4 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්විණ. මේ සඳහා ලොව පුරා වෙසෙන කීර්තිමත් භෞතික විද්‍යාඥයන් පිරිසකට ඇරයුම් කෙරිණ. ඒ අතර මීට වසර 40කට පෙර පරමාණුව තුළ ස්කන්ධය ඇති කරන, එය හසුරුවන, එහි බන්ධනයට උපකාර වන, විශේෂ අංශුවක් තිබිය හැකියැයි සිය පරිකල්පනය ලොවට හෙළි කළ බි‍්‍රතාන්‍ය භෞතික විද්‍යාඥ මහාචාර්ය පීටර් හිග්ස්ට ද ඇරයුම් කර තිබුණි.

මෙම නව සොයා ගැනීමත් සමග ආලෝකයේ වේගයෙන් යාමේ සිහිනය ද සැබෑ වනු ඇත. පරමාණුව තුළ ඇති හිග්ස් බොසොන්වල බන්ධනය ඉවත් කිරීමට හැකියාවක් ඇති කර ගත් පසු ඕනෑම බර වස්තුවක් අභ්‍යවකාශයට යැවිය හැකිය.

සර්න්හී විද්‍යාඥයකු වූ ඇල්බට් ඩි රූක් පවසන්නේ විදුලිය සොයා ගත් වේලේ ඉන් අනාගතයේ දී ලැබිය ප‍්‍රයෝජන කෙබඳුදැයි කීමට මිනිසා අපොහොසත් වූවාක් මෙන් මේ අවස්ථාවේදීත් මේ නව සොයා ගැනීමෙන් ඉදිරියෙහි දී ලෝකයට අත් කර ගත හැකි ප‍්‍රතිලාභ කීම අසීරු බවය.

”මේ හිග්ස් බොසොන්වල සත්‍ය වශයෙන් ම ඇති වැදගත්කම වන්නේ විශ්වයේ ආරම්භයේ දී ඇති වූ ‘බිග්බෑන්’ (මහා පිපිරුම) සිදු වී පළමු වන තත්පරයකින් මිලියන පංගුවේ දී පැවති තත්වය අපට එයින් පැහැදිලි කර ගත හැකි වීමයි.” ඞී රූක් පැවසීය. ”අපට මෙය කිසියම් දෙයකට භාවිත කළ හැකිද? යන්නට මට දිය හැකි පිළිතුර මගේ කල්පනා ශක්තිය ඊට ප‍්‍රමාණවත් මදි බවයි.” ඔහු වැඩිදුරටත් කීවේය.

භෞතික විද්‍යාඥ රේ වෝල්කාස් පැවසූවේ, ‘හැම දෙනෙක් ම’ වාගේ භෞතික විද්‍යාවේ ඇති ඊනියා සම්මත මොඩලය වෙනුවට විශ්වයේ ඇති අංශූන් බැඳ තබන්නේ කෙසේ ද යන්න පැහැදිලි කළ හැකි න්‍යායක් බලාපොරොත්තු වී සිටි බවයි, හිග්ස් බොසොන්වලින් ඒ අතින් යම් වෙනසක් ඇති බව තහවුරු වෙනවා.” යනුවෙනි.

”ඒක එහෙම නම් විකිරණශීලී නොවන පදාර්ථ එනම් ‘අඳුරු පදාර්ථ’ සඳහා වෙන්වුණු නව භෞතික විද්‍යාවක් ඇති වෙනවා.” ඔහු එසේ කීවේ විශ්වය තැනී ඇතැයි උපකල්පනය කර ඇති මෙම අදෘශ්‍ය පදාර්ථ විශේෂය ගැන සඳහන් කරමිනි.

”මේ හිග්ස් අංශුව පරමාණු තනන සාමාන්‍ය පදාර්ථ හා අඳුරු පදාර්ථ අතර පාලමක් ලෙස කි‍්‍රයා කරනවා. අපි දන්නවා එය විශ්වය නිර්මාණය වීමට අවශ්‍ය වූ ඉතා වැදගත් සංඝටකයක් බව.”

”මෙය ඇත්තෙන්ම, සාමාන්‍ය පදාර්ථ පමණක් නොව විශ්වය තැනී ඇති සියලූ පදාර්ථ තේරුම් ගැනීමට හොඳ මඟක් වෙනවා නොඅනුමානයි.” ඔහු වැඩිදුරටත් කීවේය.

‘දේව අංශුව’ සෙවිල්ල අවසන්. අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ සිදු කළ සෙවිල්ල අවසන්. මේ බව පසුගිය දා විද්‍යාඥයන් උත්සවාකාරයෙන් හෙළිදරවු කළා. ‘දේව අංශුව’ හෙවත් හිග්ස් බොසොන්, එනම්, විශ්වය එකට බැඳ තබන, එයට ස්කන්ධයක් සපයන ද්‍රව්‍යය, සැබැවින් ම පවතින බව තහවුරු කළා. මේ බව අන්තර්ජාලය හරහා දැකගත් ලොව පුරා භෞතික විද්‍යාඥයෝ ඒ ගැන සතුට පළ කළහ.

 
බොසොන් පරීක්ෂණය සඳහා අධි-බලශක්තියැති ෆෝටෝන දෙකක් ඝට්ටනය කෙරිණ. ඒවායේ ශක්තිය (රතු රේඛාවලින්) මනිනු ලබන්නේ විද්යුත් චුම්බක කැලරිමානයකිනි. කහ රේඛාවලින් දැක්වෙන්නේ ඝට්ටනයේ දී අනෙක් අංශු නිකුත් වන ආකාරයයි. ඒවාද මනිනු ලබයි. නිල්පැහැයෙන් දක්වෙන්නේ අංශු යවන මාර්ගයයි.

 
උත්සවයට එක් වූ සීඑම්එස් පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රකාශක ජෝ ඉන්කැන්ඩෙලා මේ නව සොයා ගැනීම ගැන ප‍්‍රකාශ කරමින්...

 
භෞතික විද්‍යාඥයන් ‘දේව’ අංශුව ගැන සොයන්නට යොදා ගත්තේ මේ අංශු ත්වරකයයි.

 
මහාචාර්ය පීටර් හිග්ස් 1964 දී මේ සංකල්පය ඉදිරිපත් කරන විට ඔහුගේ වයස අවුරුදු 35ක්.

 
බි‍්‍රතාන්‍ය භෞතික විද්‍යාඥ පීටර් හිග්ස් (දකුණේ) 83 වියේ දී ඔහුගේ සිහිනය සැබෑ වූ දා සර්න් අධ්‍යක්ෂ ජනරාල් රොෆ් ඩයටර් හියුවර් සමග.

 
සිය සිහිනය සැබෑ වූ දවසේ භෞතික විද්‍යාඥ පීටර් හිග්ස් එම උත්සවයට පැමිණි මොහොත.

 
මේ පර්යේෂණය සඳහා යොදා ගත් උපකරණය මීටර් 175ක් පොළොව යට ඉදි කළ එකකි.

 
ස්විස්-ප‍්‍රංශ දේශ සීමා අතර පොළොව යට ඉදිකර ඇති මේ අංශු ත්වරකය පිහිටි ප‍්‍රදේශය අහසට පෙනෙන හැටි.

මෙම පර්යේෂණය පැවැත් වූයේ ස්විට්සර්ලන්තයේ පිහිටුවා ඇති ‘ලාජ් හැඞ්රන් කොලයිඩර්’ (Large Hadron Collider) නම් ලොව ලොකුම අංශු ත්වරකය ආධාර කර ගෙනය. මේ ත්වරකය පිහිටුවා ඇත්තේ මීටර 175(අඩි 574)ක් පොළොව යට කි.මී. 27(සැ.17)ක් දිග උමඟක් තුළ ය.

මේ පර්යේෂණය සඳහා සීඑම්එස් හා ඇට්ලස් යනුවෙන් කණ්ඩායම් දෙකක් වෙන වෙනම පරීක්ෂණ පැවැත් වූහ. ඒ දෙපිරිසට ම සමාන ප‍්‍රතිඵල අත් කර ගත හැකි විය.

”මෙය විශ්වයේ අබිරහස් එළිදරවු කර ගැනීමට මඟ පාදන සොයා ගැනීමක්” යැයි සර්න්හි අධ්‍යක්ෂ ජනරාල් රොල්ෆ් ඩයෙටර් හියුවර් එම උත්සවයේ දී කීවේ, ‘සොබාදහම තේරුම් ගැනීමට මඟ පාදන තීරණාත්මක සන්ධිස්ථානයකට අප පැමිණ ඇති බව’ සඳහන් කරමිනි.

එංගලන්තයේ නිව්කාසල්හී උපන් මහාචාර්ය පීටර් හිග්ස්ගේ සිතට මේ සංකල්පය ආවේ 1964 දී ස්කොට්ලන්ත කඳුකරයේ ඇවිදිමින් සිටියදීයි. ”මං කවදාවත් හිතුවෙ නෑ මගේ ජීවිත කාලය තුළ මේ දෙය සිදු වෙයි කියලා.” මහාචාර්ය හිග්ස් මේ පිළිබඳව දැන ගත් මොහොතේ කීවේය.

බි‍්‍රතාන්‍යයේ ජීවත්වන තවත් ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස් හිග්ස් කීවේ, ”මේක ඉතා වැදගත් ප‍්‍රතිඵලයක්. පීටර් හිග්ස්ට මේ සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතුයි” කියායි. හෝකින්ස් අද මෙහෙම කීවාට එදා හිග්ස් බොසොන් කිසිදාක සොයා නොගන්නා දෙයක් ලෙස හඳුන්වමින් ඩොලර් 100ක ඔට්ටුවක් පවා ඇල්ලූ අයෙක්.

හෝකින්ස් විතරක් නොවෙයි, හිග්ස්වත් ඔහුගේ සිහිනය ජීවිත කාලය තුළ සැබෑ වේවි කියා කවදාවත් සිතුවේ නැත. ඒත් දැන් ඒ සිහිනය සැබෑ වී අවසන්. මේ මොහොතේ ලොව වෙසෙන වාසනාවන්තම හා පී‍්‍රතිමත් ම මිනිසා ඔහුය.

ඉලෙක්ට්‍රෝනය අපේ ලෝකය වෙනස් කළා සේ ඔහුගේ සැබෑ වූ සිහිනය, බොසොනයත් අපේ අනාගත ලෝකය විස්මිත ලෙස වෙනස් කරාවි.

 
පොළොව යට උමෙඟහි සවි කර ඇති ලාජ් හැඞ්රන් කොලයිඩර් උපකරණයෙන් කොටසක්

 
භෞතික විද්‍යාඥ පීටර් හිග්ස් ඇට්ලස් පරීක්ෂණය කළ විද්‍යාඥ කණ්ඩායමේ ප‍්‍රකාශිකා ෆැබියෝලා ජියොනොට්ටි සමග

 
උත්සවයට එක් වූ විද්‍යාඥ පිරිසෙන් කොටසක්, මේ සොයා ගැනීම පිළිබඳ ඓතිහාසික ප‍්‍රකාශය කළ මොහොතේ සතුට පළ කළ අයුරු.
 
http://www.dailymail.co.uk/sciencetech/article-2168557/Higgs-boson-Scientists-God-particle-40-year-search-momentous-day-science.html
 
http://www.dailymail.co.uk/sciencetech/article-2168557/Higgs-boson-Scientists-God-particle-40-year-search-momentous-day-science.html

source   malkakulu web

Tuesday, June 3, 2014

සුපිරි ගප්පියා!


ඇමරිකාවේ නාසා ආයතනයේ බඩු ප‍්‍රවාහන ගුවන්යානය, මෙයයි. තල්මසකුගේ හැඩගත් මේ යෝධයා නිතර ම අහසේ සැරිසරන්නේ නෑ.

නාසා ආයතනයේ සුපර් ගප්පි ප‍්‍රවාහන යානය දැක බලා ගන්නට සියැටල්හි කෞතුකාගාරය අවට විශාල පිරිසක් රැස්ව සිටියා. මේ ගුවන් යානය එහි රැගෙන ගියේ අභ්‍යවකාශ ෂටලයේ පුහුණු වීම් සිදු කරන මැදිරියයි.

බිමට පහත් වීමට පෙර එය සියැටල්හී පියසැරි කෞතුකාගාරය වටා යද්දී ඒ නරඹන්නන් පී‍්‍රතිඝෝෂා කළා. ඊළඟට ඒ සුවිශේෂ ගුවන්යානය මහත් හරසරින් පිළිගනු ලැබුවා.

මේ ගුවන්යානය ගෙන ගියේ නාසා ආයතනය අභ්‍යවකාශ ගමන්වලට නියමුවන් පුහුණු කිරීමට යොදා ගත් ෂටලයේ ප‍්‍රමාණයට ම සකස් කළ විශේෂ පුහුණු මැදිරියයි. දැන් ඒ මැදිරිය සියැටල් කෞතුකාගාරයේ දී මහජන ප‍්‍රදර්ශනයට තැබීමට අදඑස් කර තියෙනවා. ඒ අනුව එය ඉදිරියේ දී එහි ජනපි‍්‍රය ම ප‍්‍රදර්ශන භාණ්ඩය වෙනවා නොඅනුමානයි.

 
මේ යානය තුළ ගෙන යන්නේ නාසා ආයතනය ෂටල ගමන් සඳහා නියමුවන් පුහුණු කළ විශේෂ පුහුණු මැදිරියයි.

ඇමරිකාවේ සියැටල් පියසැරි කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තැබෙන විශාලතම ප‍්‍රදර්ශන භාණ්ඩය මෙයයි. අඩි 121ක් දිග මේ පුහුණු මැදිරිය මින් පෙර කිසිදාක හුස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට ගෙන ගොස් නැහැ.

කොටස් තුනකින් තුන් වතාවකට ගෙන යන මෙය කෞතුකාගාරය තුළ දී යළි එකලස් කරනු ඇති. මේ මේ පුහුණු මැදිරිය සඳහා දැනටමත් පියසැරි කෞතුකාගාරය තුළ විශේෂ ගැලරියක් ඉදිකර තියෙනවා. චාල්ස් සිමෝනි අභ්‍යවකාශ ගැලරිය යනුවෙන් හැඳින්වෙන ඒ සුවිශේෂ ප‍්‍රදර්ශන මැදිරිය සඳහා ඒ කෞතුකාගාරය දැනටමත් ඩොලර් මිලියන 12ක් වැය කර තියෙනවා.

මෙය ප‍්‍රදර්ශනයට සකස් කළ පසු නියම ප‍්‍රමාණයෙන් යුත් පියාපත් නැති අභ්‍යවකාශ ෂටලයක් හා සමාන වේවි.

 
නියමුවන් 28 දෙනකුට පුහුණු විය හැකි මේ යෝධ පුහුණු මැදිරිය කෞතුකාගාරය වෙත සුපර් ගප්පි යානය යන්නේ තුන් වරකටයි. ඒ තරමට ම මේ පුහුණු මැදිරිය අති දැවැන්තයි.

 
මේ එහි නැවියන් ලැගුම් ගන්නා මුහුණත කොටසයි. අඩි 28ක් දිග මෙය හැරුණු විට මෙවැනි තවත් කොටස් දෙකක් ගුවනින් කෞතුකාගාරය වෙත ගෙන එනු ඇති.

මෙහි අනෙකුත් කොටස් ගොඩබිමින් ට‍්‍රක් රථ මගින් ගෙනාවා. මුලින්ම ගෙනාවේ එන්ජින් තුනේ වටකුරු හැඩතල සහිත ධාවනයේ දී පිටාර වායුව ගලා යන කේතුවල අනුරූයි. ඒවා ගෙනාවේ පසුගිය අපේ‍්‍රල් මාසයේ මැද හරියේයි.

පුහුණු මැදිරිය රැගත් සුපිරි ගප්පියා පිළිගැනීමේ උත්සවයේ දී සියැටල් ආණ්ඩුකාර කි‍්‍රස් ග්‍රෙගරි කීවේ, මෙය මේ ආකාරයට ප‍්‍රදර්ශනයට තැබීමෙන් අප බලාපොරොත්තු වන්නේ අනාගත අභ්‍යවකාශය ජය ගන්නා නායකයන්ට ආභාසයක් සපයන්නයි කියායි.


පසුගිය වසරේදී නාසා ආයතනයේ පරිපාලක චාල්ස් බෝල්ඩන් මෙම ෂටලය මේ පියසැරි කෞතුකාගාරයට තිළිණ කළාට පසු එය ප‍්‍රවාහනය කර දීම සඳහා වැය වන මුදල වූ ඩොලර් මිලියන දෙක ගෙවන්න කෞතුකාගාරය එකඟ වුණා.

අභ්‍යවකාශ ෂටලය උඩු ගුවන් ගමන්වලින් ඉවත් කළ පසු නාසා ආයතනය තීරණය කළා ඒවායේ කොටස් මහජනයාට දැක ගැනීමට ඇමරිකාවේ විවිධ කෞතුකාගාරවල ප‍්‍රදර්ශනයට තියන්න, විශේෂයෙන් ම ඇමරිකාවේ වැඩි නරඹන්නන් පිරිසක් එන කෞතුකාගාරවලට ලබා දෙන්න. එහි ප‍්‍රතිඵලයක් වශයෙනුයි, සියැටල් කෞතුකාගාරයට මේ අවස්ථාව ලැබුණේ. ඒවාගේම මේ ෂටල කොටස් නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, ෆ්ලෝරිඩා හා වොෂින්ටන් ඞීසීවලත් පියසැරි කෞතුකාගාරවල දැනටමත් ප‍්‍රදර්ශනය කෙරෙනවා.

සැබෑ අභ්‍යවකාශ ෂටලය මෙතෙක් දැක ගන්න ලැබුණේ දුර සිට නමුත් මේ කෞතුකාගාරයට යන අයට මේ ඇතුළට ගොස් නරඹන්න අවස්ථාව ලැබෙනවා.

 
සුපිරි ප‍්‍රවාහන යානයෙන් පියසැරි පුහුණු ෂටලය ගෙනා වේලේ එය නැරඹීමට පැමිණි පිරිසෙන් කොටසක්.

Source  :  malkakulu web

අප හැමෝටම පාට හැම එකක් ම එකම විදියට පෙනෙන්නේ නැහැ!

අප හැමෝටම පාට හැම එකක් ම එකම විදියට පෙනෙන්නේ නැහැ. විද්‍යාඥයන් කියන්නේ කෙනකුට රතු පාට හැටියට පෙනෙන දෙයක් තවත් කෙනකුට නිල් පාට ලෙස පෙනෙන බවයි.

මාර්ග සංඥාවල ඇති වර්ණ නිවැරදිව නොපෙනෙන අය ඉන්නවා. ඔවුන්ගෙන් සමහරුන්ට රතුයි කොළයි දෙකේ වෙනස පෙනෙන්නේ නැහැ. ඒත් දැන් නවතම පරීක්ෂණයකින් හෙළි වුණු කරුණු අනුව අප හැම කෙනෙකුට ම සමාන වස්තූන්වල වර්ණ ම එක ම විදියට පෙනෙන්නේ නැතැයි හෙළි වී තියෙනවා.

සාමාන්‍ය පිළිගැනීමට අනුව කෙනෙකුට රතු පැහැය එකම විදියටයි පෙනෙන්නෙ, ස්ට්‍රෝබෙරි, ලේ, අඟහරු ග‍්‍රහයා ආදී කොයි දේ දිහා බැලූවත්. එහෙම රතු පාට පෙනෙන දේවල් තවත් කෙනෙකුට මුළුමනින් ම නිල් පැහැයෙන් පෙනෙන්න පුළුවන් කියලයි විශේෂඥයන් කියන්නෙ.

 
රතු පැහැති ස්ට්‍රෝබෙරි ගෙඩියක් කෙනෙකු නිල් පැහැයට පෙනෙන්න පුළුවන්.

මේ පිළිබඳ පර්යේෂණ ලිපියක් ‘නේචර්’(Nature) විද්‍යා සඟරාවේ අලූත් ම කලාපයට ඇතුළත් වෙනවා. ඒ ලිපිය ලියා තියෙන්නේ ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජේ නීට්ස් විසින්. ඔහු විසින් මේ පර්යේෂණය සිදු කර ඇත්තේ වඳුරන්ගේ ඇස්වල වයිරසයක් එන්නත් කිරීමෙන්. ඒ අනුව රතු පාට පමණක් නොව කොළ හා කහ පාට වර්ගත් දකින්න ඒ වඳුරන්ට හැකියාව ලැබුණා.

මේ පර්යේෂණයට භාජනය කරන ලද්දේ ලේන් වඳුරන් කණ්ඩායමක්. ජාන අනුව ඔවුන්ගේ මොළය ඒ ආකාරයට රතු පැහැය හඳුනා ගන්න හැඩ ගැසී නොතිබුණත් ඇස්වලින් ලැබෙන අලූත් තොරතුරු වටහා ගන්න ඔවුන්ට හැකිවීම විස්මයජනක දෙයක්.

අවසාන ප‍්‍රතිඵලය වුණේ මාස හතරකට පසු ඔවුන්ට ප‍්‍රථම වරට සියලූම වර්ණ හඳුනා ගැනීමට හැකි වීමයි.
මේ අනුව අපට හැකියාව ලැබෙනවා වර්ණ අන්ධ මිනිසුන්ටත් රතු පාට කොළපාටින් වෙන් කර හඳුනා ගන්න සලස්වන්න. මේ නව තාක්ෂණ ක‍්‍රමය යොදා ගෙන අනාගතයේ දී ඇස් නොපෙනෙන අයටත් පෙනීම ලබා දෙන්න අපට හැකි වේවි.

සමාජයේ බහුලව දක්නට ලැබෙන වියපත් වීමත් සමග ඇස්වල පැහැදිලි බව අඩු වීමට පිළියම් යොදන්නත් මේ ක‍්‍රයෙන් පුළුවන් බවයි විද්‍යාඥයන් කියන්නේ.

මේ පර්යේෂණයේ වඩාත් ම වැදගත් දෙය මිනිස් ජාන වඳුරන්ට එන්නත් කිරීමයි. එය සාර්ථක වීම නිසා එම තාක්ෂණය මිනිසුන්ටත් යොදා ගත හැකි බව ඔප්පු වෙනවා.

 
නව සොයා ගැනීමක්! විද්‍යාඥයන් විසින් ලේන් වඳුරකුට වයිරසයක් ආසාදනය කිරීමෙන් පසු ඌට රතු වර්ණය හඳුනා ගැනීමේ හැකියාවක් ඇති වී තියෙනවා.

 
වඳුරන්ට වර්ණ පෙනීම ලබා දුන් හැටි! වර්ණ නොපෙනෙන දරුණු තත්වවල දී ඇසේ පසුපස ඇති පාට හඳුනා ගන්නා සෛලවලට රතු හා කොළ පාට පෙනෙන්නේ අළු පාටටයි. අනෙක් පාට පෙනේනේ සේදී ගියා වගෙයි. (වමේ) 1. මිනිස් ජාන වඳුරු ඇසට එන්නත් කළ පසු රතු හා කොළ දැකිය හැකියි. දෘෂ්ටි ස්නායුව මගින් මොළයට පණිවිඩ ගෙන යනවා. 2. මාස 4කට පසු වඳුරන් තිරයේ රතු පැහැ තිත් හඳුනා ගන්නවා (මැද). ඌ ඒ හැකියාව ප‍්‍රදර්ශනය කරන්නේ තෑගි බලා ගෙනයි. (දකුණේ) වර්ණ සියල්ල පෙනෙන්න පටන් ගන්නවා.

2009 වසරේ කළ පර්යේෂණවල ප‍්‍රතිඵල නිසයි, පර්යේෂකයන් පෙලඹුණේ වඳුරන් ඇත්ත වශයෙන් ම දකින්නේ කුමක් ද කියා විමසා බලන්නට. ඒ අනුව ඔවුන්ට පෙනී ගියා වඳුරන් එසේ හඳුනා ගන්නේ ඒ ඒ ආලෝක තරංගවලට ආරෝපණය වන වර්ණ කලින් නිර්ණය කළ ඒවා නොවන බවයි.”

තවත් පර්යේෂණයකින් හෙළි වුණේ විවිධ වර්ණ සංජානනයේ දී එකම පැහැයවලට අපේ චිත්තවේග ප‍්‍රතිචාර දැක් වීමේ වෙනසක් සිදු නොවන බවයි.

ඔවුන් සොයා ගත්තා ‘නිල්‘ පැහැයට ජනතාව සන්සුන් ප‍්‍රතිචාරයක් දක්වන බව. එසේ වන්නේ නිල් පැහැයෙන් පරාවර්තනය වන කෙටි ආලෝක තරංග නිසයි.

ඒ අතර කහ, දොඩම් හා රතු යන පැහැයන් නිකුත් කරන දිගු ආලෝක තරංග නිසා අප තුළ ඇති කරන්නේ අවදිමත් ගතියක්.

නීට්ස් කියන්නේ ඔවුන්ගේ අලූත් පර්යේෂණවලින් හෙළිවුණේ අපි හැමෝටම එකම වර්ණය එකම අයුරින් නොපෙනෙන බවයි.

ඔහු විතරක් නෙමෙයි, තවත් වර්ණ දෘෂ්ටි විද්‍යාඥයකු වූ ඇමෙරිකාවේ විස්කොන්සින් වෛද්‍ය විද්‍යාලයේ ජෝශප් කැරොල් ‘ලයිෆ්ස් ලිට්ල් මිස්ටරීස්’ (Life's Little Mysteries) නම් වෙබ් අඩවියට කියා ඇත්තේ, ”අපට හරියටම කියන්න පුළුවන් මිනිසුන් හැමෝටම එකම පාට එකම විදියට පෙනෙන්නෙ නැති බවයි.”

MAlkakulu web