Monday, June 2, 2014

කෝපි කාලෙ කතාවක්!

මේ සිද්ධිය වුණේ බොහෝ කලකට ඉස්සර ඉතියෝපියාවේ ය. ගොපලූ කොළුවෙක් සිය බැටළු රැළ සුපුරුදු පරිදි කැළෑවට දක්කා ගෙන ගියේය. සවස් වන තෙක් උන්ට එහෙමෙහෙ ඇවිද කන්නට ඉඩ හළ ඔහු ගසක් යටට වී නිදා ගත්තේය. සවස් වූ පසු අවදි වූ ඔහු බැටළු රැළ දක්කා ගෙන ආපසු ආවේ ය. වෙනදා ගාල් කළ පසු නිදා ගන්නා ඒ බැටළු රැළ එදා නිදා ගත්තේ නැත. ගොපලූ කොළුවා ද අවදියෙන් විමසිලිමත්ව සිටියේය. ඔහුගේ බැටළු රංචුව එදා රාති‍්‍රයේ නොනිදා දුව පනිමින් කාලය ගත කරනු දුටුවේය. විඩාවක ගතියක්වත් ඒ එකදු බැටළුවකු තුළවත් දක්නට ලැබුණේ නැත.


තමගේ බැටළුවන් රෝගී වී ඇතැයි සිතූ ඔහු අසල පිහිටි ආරාමයක පූජකවරුන්ට මේ බැටළුවන්ගේ අමුතු හැසිරීම ගැන කියා ඇත. එය බැටළුවන් රෝගී වීමක් නොව ප‍්‍රබෝධමත් වීමක් බව එක්වරම තේරුම් ගත් පූජකවරු ඊට හේතුව කුමක් හෝ දහවල් කාලයේ ඔවුන් ගත් ආහාරයක් යැයි නිගමනය කළහ. ඒ අනුව දහවල් කාලයේ දී ඔවුන් ආහාරයට ගන්නා ගහ කොළ වැල්, මල්, ගෙඩි ආදිය ගැන සෝදිසියෙන් සිටින්නැයි ගොපලූ කොළුවාට උපදෙස් ලැබිණි.

ඒ අනුව ගොපලූ කොළුවා සොයා ගැනීමක් කළේය. ඒ කිසියම් ගසක හටගෙන ඇති රතු පැහැති ගෙඩි වර්ගයක් කෑමෙන් බැටළුවන් මෙසේ ප‍්‍රබෝධමත් වන බව ඔහු සොයා ගත්තේය. ඒ බව ගොපලූ කොළුවා විසින් ආරමයේ පූජකයන්ට පැවසීමත් සමග ඔවුන් ද මේ ගෙඩි කෑමට පටන් ගෙන තිබේ. මේ ගෙඩි ආහාරයට ගැනීමෙන් මොළය වේගයෙන් වැඩ කරන බව තේරුම් ගත් ඔවුහූ රාති‍්‍රයේ නොනිදා භාවනා කරන්නට එය හොඳ ආහාරයක් සේ සැලකූහ.

කෝපි අප අතරට ආ අයුරු දැක්වෙන කතාන්දර ගණනාවක් ලොව පුරා තිබිය හැකිය. එයින් එක් ජනපි‍්‍රය කතාවකි, ඒ. මිනිසා කෝපි පරිභෝජනය පටන් ගත්තේ කි‍්‍රස්තු වර්ෂ 6 වන සියවසේ දී තරමය. කි‍්‍ර.ව. 900 දී වෙද අත්පිටපතක කෝපි ගැන සඳහන් ව ඇතැයි කියැවේ. එය මුලින්ම පාවිච්චි කළේ ආහාරයක්, ඔසුවක්, වයින්වලට යොදා ගන්නා මුසුවක් හැටියටය.

අද අප භාවිත කරන ආකාරයට කෝපි ඇට වේලා බැද කුඩු කර ගැනීමෙන් සාදා ගන්නා බීමක් ලෙස කෝපි ජනපි‍්‍රය වන්නට පටන් ගත්තේ කි‍්‍රස්තු වර්ෂ 1300 දී තරමය. තවත් අවුරුදු 300ක් ඇතුළත යුරෝපයටත් උතුරු ඇමෙරිකාවටත් එය පැතිර ගියේය. ‘කෝපි කඬේ’ පිරිස් මුණ ගැහෙන තැනක් බවට පත් වූයේ ඉන් පසුවය.


කෝපි බීමේ පුරුද්ද යුරෝපය පුරා පැතිර ගියේ වියනා නගරයෙනි. මුල් ම කෝපි කඩය පැරීසියේ පිහිටුවන්නට යෙදුනත්, කෝපි ජනපි‍්‍රය බීමක් බවට පත් වූයේ වියනා නගරය නිසාය.

1683 දී තුර්කි හමුදා වියනා නගරය ආක‍්‍රමණය කරන්නට සැරසී සිටියහ. එහෙත් පසුව තත්ත්වය වෙනස් වී හදිසියේ ම තුර්කි හමුදා පසු බසින්නට වූහ. එසේ යද්දී ඔවුහූ ගෙනා කෝපි ඇට ගෝනි පිටින් එහි දමා ගියහ. තුර්කි තර්ජනය පැවති කාලයේ එක් පෝලන්ත ජාතිකයෙක් තුර්කි භටයකු ලෙස වෙස් ගෙන සතුරු හමුදා අතරින් රිංගා ගොස් වියනාව යුද්ධ තර්ජනයෙන් මුදවා ගත්තේය. ඊට කළගුණ සැලකීමක් ලෙස තුර්කින් පසුබසින විට දමා ගිය කෝපි තොගය ඒ පෝලන්ත ජාතිකයාට පිරිනැමීමට වියනා වැසියෝ තීරණය කළහ.

ඒ පෝලන්ත ජාතිකයා වියනා නගරයේ කෝපි කඩයක් ආරම්භ කළේය. ඔහු වියනා වැසියන්ට කෝපි බීම පුරුදු කරන්න පටන් ගත්තේය.

දිනක් ඔහු අතින් සිදු අත්වැරැද්දක් නිසා වත්කළ කෝපි ටිකක් උණු කළ සීනි සමග මුසු කරනු ලැබීය. පසුව ඔහු විසින් එහි ප‍්‍රණීත රසයක් ඇති බව වටහා ගනු ලැබීය. ඒ අවස්ථාවේ අරාබි කියමනක් ඔහුගේ සිහියට නැඟුණේය. ‘කෝපි තිත්ත කළුවරත්, මිහිරි පෙමත්, ලෝදිය මෙන් රස්නෙත් විය යුතුය.’ ඒ කියමන අනුව ඔහුගේ කෝපි එදා සිට ‘කළු, මිහිරි, උණු උණුවේ’ දෙන පානයක් විය. කෝපි ජනපි‍්‍රය පානයක් වූයේ එයින් පසුවය. ඔහු මිය යන විට කෝපි සමග කිරි මුසු කිරීමේ කලාව ද ලෝකය විසින් සොයා ගෙන තිබුණි.

කෝපි බීම කෙතරම් ජන ජීවිතයට බද්ධ වී ඇද්දැයි කීවොත් මොන වැඩක යෙදුනත් ඉන් විඩාව නිවා ගන්නට නවත්වන මඳ විරාමය හඳුන්වන්නේ ‘කොෆී බ්රේක්’ එකක් ලෙසයි. ඒ වේලාවේ මොනවා බිව්වත් කියන්නේ එහෙමය.

Source  :  malkakulu web

No comments:

Post a Comment