Thursday, May 22, 2014

මිනිසාගේ පරිණාමය මස් කෑම නිසා වෙනස් මඟක් ගත්තාද?


මිනිසා වානරයන්ගෙන් වෙනස් ව පරිණාමය වීමේ රහස මංශභක්ෂණයද? ස්වීඩනයේ ලූන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නව මතයක් ඉදිරිපත් කර තියෙනවා. උසස් තත්වයේ ආහාර ලැබීම නිසා මවුවරුන් දරුවන්ට කිරී දීම නවතා ඒ ආහාරවලට පුරුදු කිරීමත් වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීමට යොමු වීමත් නිසා මානව ප‍්‍රජාවන් ඉක්මනින් වර්ධනය වුණා. රාති‍්‍ර ආහාරයට මස් ලැබීම නිසා මිනිසා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වුණා පමණක් නොව මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල වුණා. මේ විද්‍යාඥයන් මෙසේ ඉදිරිපත් කර ඇත්තේ මීට කලින් කිසිවකු ඉදිරිපත් නොකළ මතයක්. මේ මතය ඉදිරිපත් කර තියෙන්නේ සත්ව විශේෂ 67ක් යොදා ගෙන කළ පර්යේෂණයකින් පසුවයි.

මේ සත්ව විශේෂ අතරට මනුෂ්‍යයන්, වානරයන්, මීයන්, මිනීමරු තල්මසුන් ඇතුළු ක්ෂීරපායීන් ද අයත් වුණා. එහි දී ඔවුන්ට පැහැදිලිව ම පෙනී ගොස් තියෙනවා, මස් කෑම හා කලින් කිරි වැරීම නිසා මේ වෙනස ඇති වී තිබෙන බව.
 
දඩයම් කිරීමට යොමු වීම නිසා මස් කෑමට පුරුදු වූ මිනිසා ඉක්මනින් කිරි වැරීමත්, දරුවන් බිහිකිරීමත් නිසා පරිණාමයේ වෙනසක් ඇති වූ බව ස්වීඩන විද්‍යාඥ පිරිසක් කියනවා.

ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා සියලූම ක්ෂීරපායී පැටවුන්ගේ මොළයේ වර්ධනය එක්තරා මට්ටමකට පැමිණි පසු ඔවුන් කිරි ඉරීම නවත්වන බව. නමුත් සර්ව භක්ෂකයන්ට හා ශාක භක්ෂකයන්ට වඩා ඉක්මනින් මාංශ භක්ෂකයන් මේ තත්වයට පත් වන බව ඔවුන්ගේ නිරීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා.

”මස් කෑම නිසා මවුකිරි දීමේ කාලය කෙටිවීමත් උපත් අතර පරතරය අඩුවීමත් නිසයි මේ තත්වය ඇති වී තියෙන්නෙ. මෙය මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල කළ දෙයක්.” මේ අධ්‍යයනයට නායකත්වය දුන් ඉලියා ප්සෝනි කියනවා.

ස්වාභාවිකව දරුවන් හදන සමාජවල මවුකිරි දීමේ සාමාන්‍ය කාලය වසර 2 සිට මාස 4 දක්වා වෙනස් වෙනවා. මෙය උපරිම වයස අවුරුදු 120ක් පමණ වන අපේ සත්ව විශේෂයේ ආයු කාලය හා සසඳන විට මෙහි වෙනසක් නැහැ.

අපේ සමීපතම නෑයන් වන චිම්පන්සි දෙනුන් ඔවුන්ගේ දරුවන්ට වසර 4 සිට 5 තෙක් කිරි දෙනවා. ඔවුන්ගේ උපරිම වයස් කාලය අවුරුදු 60ක් පමණයි.
මීට කලින් පර්යේෂකයන් උත්සාහ ගෙන තිබුණේ මිනිසුන්ගේ මවුකිරි දීමේ කාලය අඩු වීම සිදු වන්නේ පවුලේ ප‍්‍රමාණය හා දෙමාපියන්ගේ සමාජමය හා චර්යාවන් නිසා බව පෙන්වා දෙන්නයි.

එහෙත් මේ ලූන්ඞ් කණ්ඩායම දැන් පෙන්වා දෙනවා, සියලූ ම සත්ව විශේෂවල පැටවුන් කිසියම් මට්ටමකට මොළය වර්ධනය වූ පසු, යම් අවදියක දී, කිරි උරා බීම නවතා දමන බව.

මෙහි දී ඔවුන්ට පෙනී ගියා මාංශ භක්ෂකයන්ගේ කැපී පෙනෙන වෙනසක් ඇති බව. ඔවුන් මිනිසා ඇතුළත් කළේ සිය ශක්තියෙන් අඩු තරමින් සියයට 20ක් ආහාරවලින් ලබා ගැනීමට මස් බුදින කාණ්ඩයටයි. ශාක භක්ෂක හෝ සර්ව ශක්ෂක ගෝරිල්ලන්ට, ඔරන්ඔටන්ට, චිම්පන්සින්ට වඩා කලින් මිනිසාගේ කිරි වරන කාලය එළැඹෙන බවත්, එයට හේතුව ඔවුන්ට ලැබෙන උසස් මට්ටමේ ආහාර නිසා බවත්, ඔවුන්ගේ පරීක්ෂණවලින් ඔප්පු වුණා.

”මිනිසුන් අනික් සතුන්ට බොහෝ සේ සමානයි, වෙනසකට ඇත්තේ ප‍්‍රකෝපකාරී වීම පමණයි. අපි හිතන්නේ ඒ වෙනස් කම් ඇති කළේ සංස්කෘතිය විසින් කියලයි” ප්සෝනි කියන්නේ.

”මවුකිරි දීම හා කිරි වැරීම ගැන සලකන විට සමාජීය හා සාංස්කෘතික පැහැදිලි කිරීම් අනවශ්‍යයි. සමස්තයක් වශයෙන් ගත් කල අපේ සත්ව විශේෂයේ ගැටලූව සරල ජීව විද්‍යාත්මක එකක්.” ඇය තවදුරටත් කියනවා.

ඇය ඉතා පරිස්සමෙන් අවධාරණය කරන්නේ ඔවුන්ගේ සමීක්ෂණ ප‍්‍රතිඵලවලින් පෙනී යන්නේ මිනිසාගේ මස් කෑමට පුරුදු වීම නිසා ආදි මානවයන් මිහිතලය පුරා ව්‍යාප්තව ගිය බවයි. ඒත් අද මිනිසාගේ මස් කෑම පිළිබඳ කිසිවක් ඇය අවධාරණය කරන්නේ නැහැ.

මේ ලූන්ඞ් කණ්ඩායමේ වාර්තාව PLoS ONE නම් විද්‍යා සඟරාවේ පළ වී තියෙනවා.

source  :   malkakulu web

අනතුරුදායක ග‍්‍රහක 47,000ක් ඉහළ අහසේ .....


ආකාශ වස්තු කඩා වැටීමෙන් පොළොවට විපත්ති වූ අවස්ථා අතීතයේ තියෙනවා. මිහිමත ඇවිද ගෙන ගිය යෝධ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ උල්කාපාතයක් කඩා වැටීම නිසා යැයි කියනවා. ඒ වගේ විපත්තිදායක අවස්ථාවක් නුදුරේම ඇති බවයි, අලූත් ම පර්යේෂණයකින් කියවෙන්නෙ. එක්සත් රාජධානියේ සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයකට අනුවයි මේ ග‍්‍රහක කඩා වැටීමේ ප‍්‍රවණතාව හඳුනා ගෙන තියෙන්නෙ.

ඔවුන් කියන විදියට ඔවුන් විසින් හඳුනා ගෙන ඇති ග‍්‍රහක (asteroids) උල්කාපාත බවට පත් වෙමින් පෘථිවියට ආවොත් එහි දි ඇති වන ගැටීමෙන් විශාල වශයෙන් සිදු වන විනාශය කෙබඳු ද යත් ඒවා යළි පෙර පැවති තත්වයට පත්වීමට කිසිම දවසක හැකි වෙන එකක් නැහැ.

නාසා ආයතනයෙන් උඩුගුවනට යවනු ලැබූ ‘වයිඩ් ෆීල්ඩ් ඉන්ෆ‍්‍රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්’ (WISE-Wide Field Infrared survey Explorer) නම් අධෝරක්ත කිරණ යොදා ගෙන පුළුල් ක්ෂේත‍්‍රයක විමර්ශනය කළ හැකි චන්ද්‍රිකා දුරේක්ෂය මගින් පොළොවට ආසන්නයෙන් යන අපට ‘අනතුරුදායක විය හැකි ග‍්‍රහක’ 107ක් ඇතැයි සොයා ගෙන තියෙනව. ඒවා එකක් සාමාන්‍යයෙන් අඩි 330ක් හෝ ඊට වැඩි දිගකින් යුක්තයි. පොළොව අවට ඇති එවැනි ග‍්‍රහක සංඛ්‍යාව ඇහුවොත් ඔබ මවිත වේවි. මුළු ගණන 47,000කට වැඩියි.

 
‘වයිඩ් ෆීල්ඩ් ඉන්ෆ‍්‍රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්’ හෙවත් ‘වයිස්’ මෙහෙයුම මගින් සොයා ගෙන ඇති පොළොවට ආසන්න, අපට ‘අනතුරුදායක විය හැකි ග‍්‍රහක’ (Typical PHA) 107ක ගමන් මග හා අනෙක් පොළොවට ආසන්න ග‍්‍රහක (Typical NEA) යන ගමන් මග.

 
නාසා ආයතනය දියත් කළ ‘වයිස්’ මෙහෙයුම විසින් පෘථිවියට අනතුරුදායක විය හැකි ග‍්‍රහක 47,000ක් ඇතැයි ඇස්තමේන්තු කර තියෙනවා.

මේ ග‍්‍රහක කඩා වැටීමේ අනතුරට මුහුණපා ඇතැයි සැලකෙන ලොව ප‍්‍රධාන රටවල්
මුළු පොළොවට ම මේ ග‍්‍රහක පතිත වීමේ අවදානම තියෙනවා. එයින් වඩාත් හානි විය හැකි ප‍්‍රධාන රටවල් 10ක් නාසා ආයතනය විසින් දක්වා තියෙනවා. ඒවා මෙහෙමයි:
චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ඉතාලිය, බි‍්‍රතාන්‍යය හා බ‍්‍රසීලයයි.

අනතුරක් විය හැකි ග‍්‍රහක (PHA- potentially hazardous asteroids) යනුවෙන් හැඳින්වෙන්නේ පෘථිවියට සමීප කක්ෂයක, එනම් සැතැපුම් මිලියන පහක් ඇතුළත ගමන් කරන ඒවායි. එසේ ම ඒවා අපේ පොළොවේ වායුගෝලය හරහා ගිනිගෙන විනාශ නොවී පොළොව මත පතිත විය හැකි තරම් විශාලත්වයක් ඇති ඒ වියයුතුයි. යම් ප‍්‍රදේශයකට, හෝ නගරයකට හෝ ඊට වඩා විශාල මට්ටමින් හෝ හානියක් සිදු කළ හැක්කේ අඩි 330කට වඩා දිගින් යුත් ඒවාටයි.

වයිස් මෙහෙයුමට අයත් පෘථිවියට ආසන්න ග‍්‍රහකයන් සොයා යන ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘නියෝවයිස්’ (NEOWISE) කියායි. මේ ව්‍යාපෘතිය මගින් ඒ ග‍්‍රහක සංඛ්‍යාව ඇස්තමේන්තු කළා පමණක් නොව ඒවා පතිත වුවහොත් පතිත වන්නේ කුමන රටවලටද කියා සටහනකුත් පිළියෙල කළා.

සදම්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ‘නියෝඉම්පැක්ටර්’ කියලා මෘදුකාංගයක් මගින් තමයි, මේ අවදානම වැඩි රටවල් පෙළ ගැස්සුවේ. අපි මේ ලැයිස්තුව ගත්තේ ඒකෙනුයි.

”‘නියෝවයිස්’ විශ්ලේෂණය අපට පෙන්වා දෙනවා අපි හොඳ ආරම්භයක් ගත්තු බව. පොළොවට සත්‍යවශයෙන් ම හානි කළ හැකි ඒ ග‍්‍රහක හඳුනා ගන්නට ලැබීම ඉතා වැදගත්.” මෙහෙම කියන්නේ වොෂින්ටනයේ නාසා මූලස්ථානයේ පොළොවට ආසන්න වස්තූන් නිරීක්ෂණ වැඩ සටහනේ විධායක ලින්ඞ්ලි ජොන්සන්. ”අපට තව ගොඩක් දේ සොයා ගන්න තියෙනවා. ඉදිරි දශක කීපය අපට ගත කරන්න වෙන්නේ ඒවා ගැන සම්පූර්ණ තොරතුරු සොයන්නයි.”

 
”‘නියෝවයිස්’ විශ්ලේෂණය මගින් පොළොවට සත්‍යවශයෙන් ම හානි කළ හැකි ඒ ග‍්‍රහක හඳුනා ගන්නට ලැබීම ඉතා වැදගත්.” මෙහෙම කියන්නේ ලින්ඞ්ලි ජොන්සන්.

පහත කක්ෂවල තියෙන ග‍්‍රහකවලට පොළොවට කඩා වැටීමට ඇති ඉඩකඩ වගේ අපට ඒවාට යාම තියෙන ඉඩකඩත් වැඩියි. අපට අනාතගයේ දී ඒවාට රොබොටික හා මිනිස් මෙහෙයුම් කළ හැකි වේවි.

”අපට පුදුම හිතුනා පොළොව කිට්ටුවෙන් ග‍්‍රහක මේ තරම් ප‍්‍රමාණයක් තියෙනව කියල දැන ගත්තාම. මේවා අපේ අනාගත අභ්‍යවකාශ ගමන්වලට හොඳ තෝතැන්නක් වේවි” කැලිෆෝනියාවේ පසදේනාහි ජෙට් ප්‍රෙපල්ෂන් ලැබොරටරි හී එමි මෙයින්සර් කියනවා.

මේ ග‍්‍රහකවලින් අපට වන හානියේ තරම මැන ගන්න නම් ඒවා සෑදී ඇති ද්‍රව්‍ය මොනවා දැයි දැන ගන්න ඕනෑ. ඒවා පාෂණවලින් හෝ ලෝහවලින් තැනී ඇද්දැයි නිශ්චිතව දැන ගන්න ඕනෑ.

මේ නියෝවයිස් ව්‍යාපෘතියෙන් සොයා ගත් තොරතුරු ළඟඳීම ඇස්ට්‍රොෆිසිකල් සඟරාවේ පළ වේවි.

වයිස් අභ්‍යවකාශ යානය අහස දෙවරක් පරිලෝකනය කළා අධෝරක්ත කිරණ මගින් 2011 දී එය දිගු නින්දකට යවන්නට පෙර. ඒ මගින් මිලියන ගණනක් ආකාශ වස්තූන් පමණක් නොව සුපිරි දීප්තියෙන් යුත් ගැලැක්සි මෙන් ම අලූතින් බිහි වෙන තරු ආදිය ලේඛන ගත කරන්නට අපට උදවු වුණා. එසේ ම පොළොවට ආසන්න ග‍්‍රහක පිළිබඳ තොරතුරු සැපයීමත් සිදු කළා. පොළොවට ආසන්න ග‍්‍රහක 600ක් රූප ගත කරන්නත් එය සමත් වුණා. ඒ අතරින් ග‍්‍රහක 135ක් අලූතින් ම සොයා ගත් ඒවායි.

 
සැතැපුම් මිලියන පහක් ඇතුළත තියෙන, පොළොවේ වායුගෝලය හරහා ගිනි ගෙන විනාශ නොවී ආ හැකි ඕනෑම ග‍්‍රහකයකට පුළුවන් අපට අනතුරක් කරන්න.

source : malkakulu web

අන්ධ අයට පෙනීම දිය හැකි සෛල ප‍්‍රතිකාරයක්!


බි‍්‍රතාන්‍යයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් ඇතුළු පිරිස මේ අතින් නව පර්යේෂණ රැසක් සිදු කරමින් යද්දී ලන්ඩනයේ අනෙක් පැත්තේ තවත් පිරිසක් අන්ධ භාවයට පිළියම් සොයා අත්හදා බැලීම් කරනවා. ඒ මහාචාර්ය පීට් කොෆේ (Pete Coffey) ඇතුළු කණ්ඩායමක්. එය අන්ධභාවයට පිළියම් කිරීමේ ලන්ඩන් ව්‍යාපෘතිය කියලයි හැඳින්වෙන්නේ. වයස්ගත වීමේදී ඇති වන පේශී දුර්වලතාව නිසා බොහෝ දෙනා තුළ ඇති වන අන්ධභාවය නැති කිරීමට පියවි සෛල යොදා ගනිමින් ඔවුන් රසායනාගාරය තුළ දැන් හදා බැලීම් කර ගෙන යනවා.

 
"දැනට මෙවැනි රෝගීන්ට පිළියමක් ඇත්තේ නැහැ. මේ වෙනකම් කිසිකෙනෙක් මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයලත් නැහැ." කොෆී කියනවා.

මෙහිදී ඔවුන් කරන්නේ රෝගී සෛල වෙනුවට නිරෝගී සෛල තැන්පත් කර නැතිවී ගිය පෙනීම නැවත ලබාදීමයි. සීපැලියන්ගේ කණ්ඩායම වගේ නෙමෙයි කොෆී යොදා ගන්නේ කලල පියවි සෛලයි. ඔවුන් කළ අත්හදා බැලීම්වල දී ඔවුන්ට මෙතෙක් සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත්තේ කලල පියවි සෛලවලින් පමණයි.

පර්යේෂණයට යොදා ගත්තේ දින පහක් වයසැති කලලයක්
කලල පියවි සෛල යොදා ගෙන පර්යේෂණ කිරීම ගැන කොෆීට පැහැදිලි අදහසක් තියෙනවා. "මට මුහුණ පාන්නට වන එක දෙයක් තියෙනවා, කලලයක් කියන දෙය ගැන වෙනස් වෙනස් අය වෙනස් වෙනස් තේරුම් දෙනවා. අපි මේ පර්යේෂණවලට අරන් තියෙන්නේ දින පහක් වයසැති කලලයක්. විවිධ ආගම්වලට අනුව ඒක ජීවිතයක් තමයි. නමුත් මම නම් කලලය දකින්නේ සිරුරු කොටසක් හැටියටයි. මේක අනෙක් සිරුරු කොටස් දන් දෙනවා වගේ දෙයක්. කලලයකට බැහැ තනිවම දිවි රැක ගන්න." කොෆී කියනවා.

ඔවුන් පර්යේෂණ සඳහා යොදා ගන්නා කලල පියවි සෛල ලබා ගන්නේ අනවශ්‍ය යැයි ඉවත දමන කලලවලින්. විශේෂයෙන් ම පරීක්ෂණ නාල තුළ වර්ධනය සිදු කර, IVF ප‍්‍රතිකාරය සඳහා යොදා ගන්නට පිළියෙල කොට ප‍්‍රයෝජනයට නොගන්නා ඒවායි. "අපි ඒවා නොගත්තොත් ඒවා විසි කර දමනවා." ඔහු තවදුරටත් කියනවා.

කොෆී කරන පර්යේෂණයේ දී එක තනි කලල සෛලයකින්, රෝගීන් මිලියන ගණනකට අවශ්‍ය, දෘෂ්ටි විතාන වර්ණක සාදන බාහිර සෛල අංශු සෑදිය හැකියි.

"මිනිස් කලල සෛලයක් ස්වභාවයෙන් ම නොනැවතී වැඩෙනවා. ඉතින් අපට එක සෛලයක් ඇති අවශ්‍ය හැමදෙයක් ම ලබා ගන්න. අපි ඒවායේ අනුකෘති නයිට්රජන් කුටීරවල බහා රටවල් තුනක ගබඩා කරල තියෙනවා. මේ එක සෛලයකින් රෝහල්වලට එන මිලියන 28ක ජනගහනයකට සේවය සලසන්න පුළුවන්. ඒක වටින්නෙ නැද්ද?" ඔහු ප‍්‍රශ්න කරනවා.

කොෆීගේ මේ ව්‍යාපෘතිය පුනර්ජනනී වෛද්‍ය විද්‍යාව අතින් ලෝකයේ වඩාත් ම ඉදිරියට ගිය එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ වසරේ අවසාන භාගයේ දී රෝගීන් සඳහා ශායනික අත්හදා බැලීම් කිරීමට නියමිතයි. එහෙත් මේ පර්යේෂණ සාර්ථක වුනත් තවමත් ස්ථිරව වකවානුවක් කියන්න බැහැ, මේවා පුළුල් ලෙස ලොව භාවිතයට එන.

ප‍්‍රතිඵල ජනගත වෙන්න තව කල් යාවි
"මෙහි කනගාටුවට ඇති කාරණයක් වන්නේ මේ සඳහා වූ කාල රාමුවයි. ළඟදීම ජනතාව අතරට ඒ යැයි සිතන දෙයටත් වසර දහයක් විතර ගත වෙනවා. මේ පර්යේෂණවල ඇතැම් ප‍්‍රතිඵල මහජනතාවට අත්විඳින්නට හැකි වන්නේ බොහෝ විට වසර 20ත් 50ත් අතර කාලයකදියි. මොකද මේවායින් වන අතුරු ආබාධ ගැන අපි හරියට දන්නේ නැහැ. දීර්ඝ කාලීනව හානියක් නො වන බව දැන ගත්තාට පසුවයි, මේවා සමාජ ගත කළ හැක්කේ." මෙහෙම කියන්නේ කොෆීගේ ව්‍යාපෘතිය සමීපව කටයුතු කරන පෝල් වයිටින්. ඔහු ලෝක ප‍්‍රකට ඖෂධ හා වෛද්‍ය උපකරණ නිපදවන සමාගමක් වූ ෆයිසර්හි විධායක අධ්‍යක්ෂවරයායි.

මේ සෛල පර්යේෂණ පිළිබඳව ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙහි මෑත දී කෙරුණු අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා, රසායනාගාරයේ සාර්ථකව සිදු වූ සෛල බෙදීම ඒ ආකාරයෙන් ම ශායනික පරීක්ෂණවල දී සිදු නො වූ බව. ඔවුන් පර්යේෂණ කළේ මියන් යොදා ගෙනයි. මීයන්ගේම සමේ සෛලවලින් තැනූ බහුප‍්‍රභව පියවි සෛල (induced pluripotent stem cells-iPSCs) ඔවුන්ට ම බද්ධ කළ විට ප‍්‍රතික්ෂේප කෙරුණු බව ඒ පරීක්ෂණවලින් පෙනී ගියා.

මේ ගැන මහාචාර්ය විල්මුට්ගෙන් ප‍්‍රශ්න කළ විට ඔහු කීයේ ‘ඒක ඉතා ප‍්‍රාථමික පරීක්ෂණයක් බවයි.’ කෙසේ වෙතත් මේ වගේ දේවල් ගැන තවත් සෙවීම් කළ යුතු බවයි ඔහුගේ අදහස. එසේ ම මේ බහුප‍්‍රභව පියවි සෛල (induced pluripotent stem cells-iPSCs) තැනීමේ කි‍්‍රයාවලියේ දී ඇතැම් සෛලවල පිළිකා ඇති වීමේ අවදානමක් මතු විය හැකියි. ඒ ගැනත් විමසීම් කළ යුතුව තිබෙනවා.

"කලින් පැවති ක‍්‍රමය අනුව සිදු වුණේ අපි පීටර්ගෙන් සොරකම් කරල පෝල්ට දෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ එක් අයකුගේ සිරුරු කොටසක් අරන් තවත් අයකුට බද්ධ කිරීමක්. ඒත් දැන් සිදු වන්නේ රසායනාගාරයක පටක රෝපණය කරලා ඒවා සිරුර තුළට ඇතුළු කොට සිරුර තුළ ම ප‍්‍රතිනිර්මාණය කිරීමක්. මේ බැරෑරුම් කටයුත්තක්. යම්හෙයකින් අපට හැකි වුණොත් රසායනාගාරය තුළ, හදවතක්, පෙණහැල්ලක් හෝ ශ්වාසනාලයක් වවන්න, සිරුර කොටසක් දෙන කෙනෙක් එනතුරු බලා ඉන්න වශ්‍ය වන්නේ නැහැ. මේක හරි ගියදාට අපේ ශායනික හා ප‍්‍රතිකාර කිරීම්වල විශාල පෙරළියක් සිදු වෙනවා නොඅනුමානයි." යයි සීෆැලියන්ගේ කණ්ඩායමේ ඇඩෙලෝලා ඔසෙනි කියනවා.

කලල පියවි සෛල ගැන පුරෝගාමී ශී‍්‍ර ලාංකික විද්‍යාඥයා - මහාචාර්ය අරිෆ් බොන්සෝ


කලල පියවි සෛල ගැන ලෝකයේ පර්යේෂණ කරන තවත් විශිෂ්ටයකු ඉන්නවා. ඔහු ඒ අතින් පුරෝගාමී මෙහෙවරක් කරන අයෙක්. ශී‍්‍ර ලාංකිකයන් වන අපට ඔහු ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඔහුත් ශී‍්‍ර ලාංකිකයකු වීම නිසා. ඔහු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරිෆ් බොන්සෝ. (Ariff Bongso) ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයෙක්.

ඔහු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ නාරිවේද හා ප‍්‍රසව වෛද්‍ය අංශයේ පර්යේෂණ මහාචාර්ය වරයෙක්. එහි ප‍්‍රජනන තාක්ෂණ වැඩ සටහනෙහි ප‍්‍රධානියා ඔහුයි. එසේ ම සිංගප්පූරුවේ ලියාපදිංචි ජෛවතාක්ෂණ සමාගමක් වූ ‘එම්බ්‍රොයිනික් ස්ටෙම් සෙල් ඉන්ටර්නැෂනල්’ ආයතනය පිහිටුවීමේ දී පුරෝගාමී වූ විද්‍යාඥයෙක්.

පියවි කඳ සෛල ගැන ලොව පළමුවරට සිදු කළ පර්යේෂණවලින් කළ සොයා ගැනීම් ගැන පේටන්ට් හිමිකම් කීපයක් හා ඒ පිළිබඳව ලොව පුරා පළ වූ පර්යේෂණ ලිපි 430ක් ඔහුගේ නමට තියෙනවා. වෛද්‍ය විද්‍යාව සඳහා වූ මීළඟ නොබෙල් ත්‍යාගය ඔහුට හිමි වේවි යැයි මේ ක්ෂේත‍්‍රයේ කතාබහක් යනවා. එහෙම වුණොත් ප‍්‍රථම ශී‍්‍ර ලාංකික නොබෙල් ත්‍යාගලාභියා ඔහු වේවි.

කෘති‍්‍රම සෛල පර්යේෂණවල ප‍්‍රගතිය කෙටියෙන්
1995 - රෝගියකුගේ සෛල මීයකුගේ පසුපස තැන්පත් කිරීමෙන් කන් හැඩයැති කාටිලේජ ව්‍යුහයක්(මිනිස් කනක් නොවේ) නිපදවීම.
1996 - වැඩිහිටි සෛලයකින් ක්ලෝනීකරණය කළ ප‍්‍රථම ක්ෂීරපායී සත්ත්වයා වූ ඩොලී බිහි කිරීම.
2007 - ක්‍යෝතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂින්යා යමනකා විසින් කලල පියවි සෛල වෙනුවට ඒ අයුරින් ම කි‍්‍රයා කිරීමට හැකි වන සේ වැඩිහිටි පියවි සෛල වෙනස් කිරීම.
2011 - ලෝකයේ ප‍්‍රථම සින්තටික් අවයවය (ශ්වාසනාලයක්) බද්ධ කිරීම.
2012 - කෘති‍්‍රම ව නිපද වූ නාසයක් ප‍්‍රථම වරට බද්ධ කිරීමට සූදානම් කිරීම.

> 
ක්ලෝනීකරණයෙන් බිහි කළ ලොව ප‍්‍රථම බැටළුවා - ඩොලී

source  :  malkakulu web

අනාගත ටෙලිවිෂන් තිරය විනිවිද පෙනෙන එකක්!


පසුගිය කාලෙ ටෙලිවිෂන් තිරය ලොකු ලොකු වෙනස්කම් රැසකට මුහුණ පෑවා. තුනී තිර, හිතේ හැටියට, ඇහේ හැටියට තෝරා ගන්න කියලා ඒවා ඔබට විකුණපු හැටි මතක ඇති නේ!

දැන් ඔන්න පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරයක් ළඟ එනවා. ඔබට ටෙලිවිෂන් නරඹන්න අවශ්‍ය වෙලාවට ස්විචය දැම්මාම තිරය මතුවෙලා එනවා. ස්විචය නිවා දැම්මාම ටෙලිවිෂන් තිරය පරිසරයට ගිලී යනවා. එවිට ඒ තිරය විනිවිද අවට පරිසරයයි, ඔබට පෙනෙන්නේ.

මේ සඳහා පාවිච්චි කර ඇත්තේ අලූත් ම තාක්ෂණයක්. එය හැඳින්වෙන්නේ ‘ටීඕඑල්ඊඞී’ (TOLED) තාක්ෂණය කියලයි. පාරදෘශ්‍ය සංවිධිත ආලෝක විමෝචන උපකරණය (TOLED - transparent organic light-emitting device) යනුවෙන් හැඳින්වෙන මෙම නිරූපණ තාක්ෂණය දැන් භාවිත වන සංවිධිත ආලෝක විමෝචන (OLED) ක‍්‍රමයේ ම වැඩි දියුණු කළ තත්ත්වයක්. ඒ ක‍්‍රමයේ තුනී තිරයක් සහිත ටෙලිවිෂන් තිරයක් ගැන පුවතක් මීට කලින් ‘මල් කැකුළු’ තුළින් ඔබ වෙතට ගෙනාවා මතක ඇති නේ!

 
මේ තමා විනිවිදක ටෙලිවිෂන් තිරයේ හැටි. ඒත් මේ තරම් ලොකු තිරයක් තවම නිපදවා නැහැ. කුඩා ප‍්‍රමාණයෙන් තමයි, දැනට තියෙන්නේ.

මෙම පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරය සැලසුම් කර ඇත්තේ මයිකල් ෆී‍්‍රබ්. මෙය පසුගිය වසරේ නව නිපැයුම් තරගයක අවසාන වටයටත් නම් කර තිබුණා. තාම එහි ප‍්‍රතිඵල ඇවිත් නැහැ.

”මේ පාරදෘශ්‍ය ටෙලිවිෂන් සැලසුම කි‍්‍රයාවට නංවා ඇත්තේ ජර්මන් ටෙලිවිෂන් තාක්ෂණ උපකරණ නිෂ්පාදන ආයතනයක් වූ ලෝව් (Loewe) සමාගම විසින්. මේ නව ටෙලිවිෂනය හඳුන්වා ඇත්තේ ‘ලෝව් ඉන්විසියෝ’ (Loewe Invisio) කියායි. මේ වර්ගයේ පළමු ටෙලිවිෂනය වන මෙය එල්සීඞී (LCD) හා අලූත්ම තාක්ෂණය වූ ටීඕඑල්ඊඞී (TOLED) එක් කොට තැනූවක්.” මයිකල් ගී‍්‍රබ් කියනවා.

”තිරය පාරදෘශ වුණාට ඉන් පෙනෙන රූප විනිවිද පෙනෙන්නේ නැහැ. මෙහි වර්ණ රූප ඉතාමත් පැහැදිලිව පෙනෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

ලොවේ ආයතනය ටෙලිවිෂන් තාක්ෂණයට අලූත් එකක් නෙවෙයි. 1998 දී අන්තර්ජාලය හා සම්බන්ධ කළ හැකි ටෙලිවිෂනය මුලින් ම හඳුන්වා දුන්නේ ඔවුන් තමයි. ඒ ‘අයිටියුන්ස්’ හා ‘යූ ටියුබ්’ එන්න කලින්.

1931 දී ලෝකයේ ප‍්‍රථම ටෙලිවිෂන් විකාශයට දායක වූයේත් ඔවුන් තමයි.

1950 දී ප‍්‍රථම කැසට් ටේප් රෙකෝඩරය ඉදිරිපත් කිරීම, 1961 දී යුරෝපයේ ප‍්‍රථම වීඩියෝ රෙකෝඩරය හඳුන්වා දීම, 1981 දී යුරෝපයේ ප‍්‍රථම ස්ටීරියෝ ටෙලිවිෂනය හඳුන්වා දීම ඔවුන් ලැබූ ජයග‍්‍රහණ අතර කැපී පෙනෙනවා.

 
මේ නව ටෙලිවිෂන් තිරය පෙනෙන පසුබිම තැබූ විට පෙනෙන හැටි.

 
තවත් අලූත් ටෙලිවිෂනයක්, මේ. මෙය සිරස් අතට හෝ තිරස් අතට හරවා කැමති විදියට නරඹන්න පුළුවන්.

 
 නව තාක්ෂණයෙන් මේ තරම් විශාල ප‍්‍රමාණයේ තිර දැනට නිපදවන්නේ නැහැ.


1998 දී අන්තර්ජාලයට එක් වූ ප‍්‍රථම ටෙලිවිෂන් සේවාව වූ ‘ලෝවේ සෙලෝස් ඇට් මීඩියා’(Loewe Xelos @media) ආරම්භ වූයේ ද ඔවුන් ගෙනි. ඒ අවුරුද්දේ ම ඔවුන් ප‍්‍රථම පැතලි තිර රූපවාහිනිය කරළියට ගෙනාවා. 
 
 
source  :  malkakulu web

හදවත් කපාට අලූත්වැඩියා කරන නව ක‍්‍රමයක්!


ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ දියුණුව දැන් වේගවත් වෙලා. දැන් හෘද කපාට අලූත් කිරීමේ පටන් මුහුණු නැවත ගොඩ නැඟීම දක්වාත්, අන්ධභාවය සුව කිරීමේ පටන් බහුල ලෙස මිනිසා ආබාධිත කරන රෝග ගැන අධ්‍යයනය කිරීම දක්වාත්, කටයුතු වේගවත් කිරීමට ලොවපුරා වෛද්‍ය විද්‍යාඥයන් වෙහෙසෙනවා.

මේ පර්යේෂණවලින් එක්සත් රාජධානිය තමයි, ලෝකයේ ඉදිරියෙන් ම ඉන්නෙ. එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය මේ වසර මුලදීම මෙම පර්යේෂණවලට එඩින්බර්ග්හී ඇති ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යා මධ්‍යස්ථානය සඳහා පවුම් මිලියන 54ක් ලබා දීල තියෙනවා, .

මේ වන තෙක් ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ අවධානය වැඩිපුර ම යොමු වී තිබුණේ කලලවල ඇති පියවි සෛල කෙරෙහියි. පියවි සෛල (stem cells) කියන්නේ කලල අවස්ථාවේ සිට ඇති වන වෙනත් ඕනෑම සෛලයක් බවට පෙරළිය හැකි මූලික සෛලවලටයි. ඒවාට විවිධ සෛලවලට, රුධිර සෛල, පේශී සෛල ආදි වශයෙන් ඕනෑම සෛලවලට බෙදීමේ හැකියාව තියෙනවා. ඒවායින් සිරුරේ විවිධ කොටස් තැනෙන අතර ගර්භාෂයේ, හෘදයේ, ඇට මිදුලූ වැනි තැන්වල ඒවා තවමත් පියවි සෛල ලෙසින් ම පවතිනවා. ඒවා බහුකාර්ය ලක්ෂණවලින් යුක්ත නිසා ඒවා සිරුරේ කොතැන තිබුණත් අවශ්‍ය සෛල වැඞීමකට යොදා ගන්න පුළුවන්.

කලල සෛල වලට වඩා වෙනස් මේ වැඩිහිටි පියවි සෛලවලට නැවත නැවත බෙදීම නොනවත්වා කර ගෙන ගියෑකි. ඒත් එසේ කළ හැක්කේ ඒ සෛල ජීවිතය ආරම්භ කළ විදියට විතරයි. ඒ කියන්නේ සමේ සෛලයක් නම් එවැන්නක් ලෙස හෝ පේශී සෛලයක් නම් එවැන්නක් ලෙස හෝ විතරයි.

ඒත් කලල පියවි සෛල භාවිත කිරීම සදාචාර විරෝධී යැයි විවාදයක් පවතිනවා. ඒ කලල පියවි සෛල ලබා ගන්නේ මිනිස් කලලවලින් වන නිසයි. මේ කි‍්‍රයාවලියේ දී මිනිස් කලලය විනාශ වෙනවා. සදාචාර වාදීන්ගේ සලකන්නේ මෙය මහා අපරාධයක් ලෙසයි.

මේ සදාචාර වාදීන්ගේ විරෝධතා නොසලකා, බි‍්‍රතාන්‍ය රජය, මේ පියවි සෛල පර්යේෂණවලට 2002 සිට ම සහය දෙනවා. ඒ නිසා ඔවුන් ඒ අතින් මේ පිළිබඳව පර්යේෂණ කරන අනික් රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ මේ විවාදය තවමත් පවතින නිසා පර්යේෂණ කටයුතුත් ඒවාට ආධාර ලබා දීමත් පමා වී තියෙනවා.

2007 දී ජපානයේ ක්‍යෝතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂින්යා යමනකා (Shinya Yamanaka) සමත් වුණා, වැඩිහිටි සෛලවලින් බහුප‍්‍රභව (pluripotent) සෛල බිහි කරන්න. මේ නිසා කලලවලින් සෛල ලබා ගැනීම දැන් සම්පූර්ණයෙන් ම අනවශ්‍ය දෙයක් වෙලා.

 
ජපානයේ ක්‍යෝතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂින්යා යමනකා

පියවි සෛල යොදා ගෙන රසායනාගාරයේ කැනෙන මේවා හැඳින්වෙන්නේ ජනිත කරවූ බහුප‍්‍රභව පියවි සෛල (induced pluripotent stem cells-iPSCs) කියලයි. ෂින්යා මහාචාර්යවරයාට මේ සඳහා අඩක් ආභාසය ලැබුණේ බි‍්‍රතාන්‍යයේ මහාචාර්ය ඉයන් විල්මුට් (Ian Wilmut) ගෙන්. ඔහු තමා ඩොලී කියන ප‍්‍රථම ක්ලෝන බැටළුවා නිර්මාණය කළේ. ඒ සඳහා ඔහු නයිට් පදවියකින් ද පිදුම් ලැබුවා.

 
ප‍්‍රථම ක්ලෝනීකරණය කළ මහාචාර්ය ඉයන් විල්මුට්

"ඩොලී නිසා තමයි අපි සිතන්න පටන් ගත්තෙ සෛල වෙනස් කිරීමක් ගැන. යමනකා ඒක කළ හැකි බව දැන් ඔප්පු කරල තියෙනවා."විල්මුට් කියනවා.

"දැන් අපට හිතන්න පුළුවන්, මේ ක‍්‍රමයෙන් ඕනෑම සෛල වර්ගයක් තැනිය හැකි බව. නිදසුනක් වශයෙන් සමේ සෛලවලින් ස්නායු හෝ පේශී සෛල හෝ තැනිය හැකි බව."

මේ බව මෑත දී ඔප්පු කරල තියෙනව, එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්. ඔවුන් සමත් වෙලා තියෙනවා, මොළේ සෛල නිපදවන්න සමේ සෛලලවලින්. මේක ඇල්ෂයිමර්ගේ රෝගයට, අපස්මාරය හා ආඝාතය වැනි තත්ත්වයන්ට නව ප‍්‍රතිකාර ක‍්‍රම සොයන්න උදවු වේවි.

ආචාර්ය විල්මුට්ගේ පර්යේෂණ යොමු වූයේ අලූතින් සොයා ගත් මේ සෛලවල ඇති නම්‍යශීලී බව තවදුරටත් හසුරුවා ගනිමින් චාලක ස්නායු සෛල (නියුරෝන) රෝග හඳුනා ගැනීමේ හැකියාව වැඩි කර ගැනීමටයි. ඔහු ඒ ගැන සඳහන් කරමින් පසුගිය දා කීවේ, ‘හෙමින් අකර්මණ්‍ය වෙමින් නියත මරණයකට ගෙන යන රෝග තත්ත්වයක්’ කියායි.

මේ වන විට ඔවුන්ට හැකි වී තිබෙනවා, එවැනි රෝගියකු තුළ ඇති සෛලවලට සමාන සෛල නිර්මාණය කරන්නට. එසේ ම ඒවා නිරෝගී අයකුගේ සෛල හා සසඳන්න. මේ අනුව විල්මුට් හා ඔහුගේ කණ්ඩායම මේ රෝගය ගැන ශීඝ‍්‍ර දැනුමක් ලබමින් තිබෙනවා.

මෙසේ රෝගී සෛල නිර්මාණය කිරීම තුළින් 'සෛල මියයාමට හේතුව අවබෝධ කර ගැනීමට’ හැකියාව ලැබෙනවා. ඒ වගේ ම ඔවුනට පුළුවන්කම ලැබෙනවා, ඒ සෛල සඳහා යොදා ගත හැකි පිළියම් රසායනාගාරය තුළ අත්හදා බලන්න. මෙය මෙතෙක් පැවති ක‍්‍රමවලට වඩා, එනම් ආරෝපිත බහුප‍්‍රභව පියවි සෛල නිපදවීමට පෙර පැවති ඒවාට වඩා සුරක්ෂිත, කාර්යක්ෂම ක‍්‍රමයක්.

සීෆැලියන්ගේ රසායනාගාර මේසය මත තියෙනවා, ඔහු හා ඔහුගේ පිරිස තැනූ ශ්වාසනාලයක අච්චුවක්. ඒක මෑතදී රෝගියකුට බද්ධ කළා. ඒක තමයි, ලොව පළමු සින්තටික් අවයව බද්ධය.

 
ජෛව ප‍්‍රතිකි‍්‍රයාකාරකයක් තුළ කෘති‍්‍රමව වවන ශ්වාසනාලයක්. මෙය පසුගියදා රෝගියෙකුට බද්ධ කළ අතර එය ලොව ප‍්‍රථම සින්තටික් අවයව බද්ධය වුණා.

සැත්කමට භාජනය වූ රෝගියා 36 හැවිරිදි එරිති‍්‍රයානු ජාතිකයෙක්. ඔහුගේ උගුරේ විශාල පිළිකාමය අර්බූදයක් (tumour) හට ගෙන තිබුණා. එය ඉතා වේගයෙන් පෙණහලූ දෙසට පැතිර යමින් තිබුණා. බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වුණා. සැත්කමෙන් පසු රෝගියා දැන් රෝහලෙන් පිට වී ගිහින්. දැන් සුව ලබමින් ඉන්නවා.

රසායනාගාරයේ තවත් මේසයක කනක් රෝපණය කෙරෙමින් තිබෙනවා. යාබද කාමරයේ කණ්ඩායමක් හෘද කපාට සෛල ගැන පර්යේෂණයක් කරනවා. එහි දී බද්ධ කිරීමට පෙර රසායනාගාරය තුළ කපාට වැවීමක් සිදු වන්නේ නැහැ. එහිදී කෙරෙන්නේ කෙළින් ම සෛල, හෘද කපාටවලට තැන්පත් කිරීමයි. මේ බද්ධ කරන සෛල හෘදයේ ඇති පියවි සෛල සොයා ගොස් ඒවා වැඞීමට සලස්වනවා.

මෙහිදී ජෛවප‍්‍රතිකි‍්‍රයාකාරකයක් තුළ කපාට වර්ධනයක් සිදු කරන්නේ නැහැ. මෙය ඉතා සියුම් ලෙස කෙරෙන ඇතුළු කිරීමක් නිසා හදවත විවර කරන සැත්කමක් අවශ්‍ය වන්නේත් නැහැ. මෙයින් ‘බයිපාස් හදවත් සැත්කමෙ’හි විශාල පෙරළියක් මේ නිසා සිදුවේවි.

"සාමාන්‍යයෙන් හෘදයේ බයිපාස් සැත්කමක දී කෙරෙන්නේ රෝගියාගේ පාදයෙන් හෝ බාහුවෙන් ශිරාවක් හෙවත් ලේ නහරයක් කපා ඉවත් කර ගෙන සැත්කමට යොදා ගැනීමයි. මෙවැනි රෝගීන් අතුරින් සියයට 30කගෙන් ඒ සඳහා සුදුසු නහර ලබා ගන්න බැහැ. ඒ නිසා ඔවුන්ට බයිපාස් සැත්කම කරන්න බැරි වෙනවා. ඒ අයට වෙනත් විකල්පයක් දැනට නැහැ." සීෆැලියන් කියනවා.

"අපි තමා ලොව ප‍්‍රථම වතාවට මේ වගේ දෙයක් කළේ. මේ අතින් අපේ අහලකටවත් එන්න කෙනෙක් නැහැ. මේ අතින් සතුන් හා සම්බන්ධව කළ පර්යේෂණ සාර්ථකයි. මේ වසරේදී රෝගීන් සඳහා මේ ක‍්‍රමය පර්යේෂණ මට්ටමෙන් යොදා ගන්නට අපි සූදානම්." මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් වැඩිදුරටත් කියනවා.

මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් ඇතුළු පිරිස මේ අතින් නව පර්යේෂණ රැසක් සිදු කරමින් යද්දී ලන්ඩනයේ අනෙක් පැත්තේ තවත් පිරිසක් අන්ධ භාවයට පිළියම් සොයා අත්හදා බැලීම් කරනවා

source : malkakulu web

බි‍්‍රතාන්‍ය රසායනාගාරයක මිනිස් අවයව වවයි!


කලබල වෙන්න එපා! 
මේ බාබර් සාප්පුවකදි වෙච්ච අකරතැබ්බයක් නෙවෙයි! 
බොක්සිං කී‍්‍රඩක හෝලිෆීල්ඞ්ගෙ වගේ කඩා ගත්තු මිනිස් කනක් නෙවෙයි. රසායනාගාරයක වැවූ කනක්. බි‍්‍රතාන්‍යයේ රසායනාගාරයක මිනිස් අවයව සාර්ථකව වවන්න පටන් අරන්!

 
මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් (Alexander Seifalian) මේ පෙන්වන්නේ සිය රසායනාගාරයේ ‘වැවූ’ කනක්. "අපි තමයි, ලෝකෙ ප‍්‍රථම කණ්ඩායම මේ විදියෙ දෙයක් නිර්මාණය කළ" ඔහු ආඩම්බරයෙන් යුතුව කියනවා.

"මේ නාසය අපි ‘වවන්නෙ’ ලබන මාසෙ රෝගියකුට බද්ධ කරන්නයි" මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් සිය රසායනාගාරයේ පෙට්රි දීසියක් අතට ගනිමින් කීවේ ඔහුගේ නවතම නිර්මාණය පෙන්වමින්.

"මේ අපි කරන්නේ මෙතෙක් මේ ලෝකෙ කිසිම කෙනෙක් නොකළ දෙයක්"ඔහු මෙහෙම කියන්නේ සතුටු සිනා රැල්ලක් මුව’ගට නඟා ගෙනයි. "මේ වගේ කනක් කවුරුවත් වවලා නෑ" ඔහු කියනවා.

ඔහුගේ පර්යේෂණ රසායනාගාරය හරි පුංචි එකක්. ඒක විදුහලක රසායන විද්‍යාගාරයක් වගෙයි. මේ වගේ ලොකු පෙරළියක් කරන එකක් කියල හිතා ගන්නත් බැහැ. පරණ ගෙවී ගිය උස ලී ඩෙස්කු කීපයක්, ඒවා මත තැබූ බීකර කීපයක්, රසායනික ද්‍රව්‍ය දැමූ බෝතල, පර්යේෂණවලට ගන්නා සිලින්ඩරාකාර බඳුන්, වෛද්‍ය කටයුතුවලට ගන්නා විශේෂ භාජන, වීදුරු නාල, සටහන් තැබූ කඩදාසි ආදියෙන් පිරිලා.

පුංචි වුනත් මෙතැන ඉඳන් තමයි, සීෆැලියන් ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ නැනෝ තාක්ෂණ විද්‍යා හා ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන්නේ. ඔහු විහිළුවට වාගේ මේ ඔහුගේ විද්‍යාගාරය හඳුන්වන්නේ ‘මිනිස් අවයව ගබඩාව’ කියලයි.

 
රෝගීන්ගේ ම සෛල වලින් ඔවුනට අවශ්‍ය සිරුරු කොටස් නිපදවීමටයි, සීෆැලියන් හා ඔහුගේ කණ්ඩායම දැන් අවධානය යොමු කරල තියෙන්නෙ.

ඔහු සිය පර්යේෂණාගාරය තුළ ඇවිදිමින් මෙතෙක් වෛද්‍ය විද්‍යාව අතින් ඔවුන් ලබා ඇති ජයග‍්‍රහණ විස්තර කළා.

එක මේසයක් මත වූ වීදුරු අච්චුවක් අතට ගෙන පෙන්වමින් එය ලෝකයේ ප‍්‍රථම කෘති‍්‍රම අවයව බද්ධයට යොදා ගත් ශ්වාසනාලයක හැඩය ඇති සිරුරු කොටසක් පෙන්නුවා.

තවත් එකක හෘදයක් තැනීම සඳහා ගන්නා මූලයක් වූ විප්ලවකාරී නැනෝ ද්‍රව්‍යයකට අයත් කොටස් පෙන්නුවා. ඒ සමගම මඳක් ඔබ්බෙන් ලොකු යන්ත‍්‍රයක් තිබුණා, අඳුරු පැහැති මකුළුදැල් වැනි සිහින් තන්තු ඇතිව. ඒක හද ගැස්මක් ආකාරයට ගැහුණා. ඒ ධමනියක්.

"මේකත් ලෝකයේ ප‍්‍රථම වතාවට අපි කරන දෙයක්." සීෆැලියන් කීවා.

"අපට අවශ්‍ය නම් විනාඩි විස්සක දී මේවා මීටරයක් තනන්න පුළුවන්."

"වෙනත් කණ්ඩායම් මේ නාසය බද්ධ කිරීම සමේ ම කොටස් අරන් කරන්න හැදුවා. ඒත් පලක් වුණේ නැහැ. ඒත් අපට ඒක කරන්න පුළුවන් වුණා." යයි සීෆැලියන්ගේ කණ්ඩායමේ ඇඩෙලෝලා ඔසෙනි කියනවා."ඔවුන්ගේ නාස්වල හැඩය කල්යෑමේ දී වෙනස් වුණා. ඒත් අපේ නාසය පොලිමර්වලින් තනා තිබූ නිසා නොවෙනස් ව ඒ විදියට ම පැවතුණා."

රබර් කිරි වැනි ඉතා තුනී පොලිමරයක් (බහුඅවයවකයක්) වූ මෙය තැනී ඇත්තේ බිලියන ගණනක් ඉතා කුඩා අංශු එක්වීමෙන්. ඒ අංශුවක දිග නැනෝ මීටරයක් විතර වෙනවා. ඒ කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවක් විතර දිගක්. තවත් විදියකින් කීවොත් කෙස් ගහකින් 40,000න් පංගුවක් විතර ඇති. මේ අණු හෙවත් ඉතා කුඩා ම අංශු මට්ටමෙන් කටයුතු කිරීම අති සංකීර්ණ දෙයක්.

"මේ නැනෝ ද්‍රව්‍ය අංශු තුළ දහස් ගණනක් ඉතා කුඩා සිදුරු තියෙනවා. පටක වැඩෙන්නේ මේවා සමගයි. අන්තිමේ දී එයින් නිපදවෙනවා, නාසයක් වගේ හැඩයක් ඇති දෙයක්. එය එසේ පෙනෙනවා විතරක් නෙමෙයි, ඒ වගේ ම අතටත් දැනෙනවා." සීෆැලියන් කියනවා.

මේ නාසය රෝගියකුට ලබා දෙන විට එකවර ම, කෙළින් ම, මුහුණට බද්ධ කරන්නේ නැහැ. මුලින් ම කරන්නේ එය බැලූනයක බහා ඔහුගේ අතේ සමට යටින් තැන්පත් කිරීමයි.

සති හතරකට පස්සේ, ඒ තුළ එහි සම හා රුධිර නාලිකා වැඩෙනවා. නාසයේ මේ වර්ධනය අධීක්ෂණය කෙරෙනවා. ඉන් පසුවයි, එය මුහුණට බද්ධ කරන්නේ.

මෙය වෛද්‍ය විද්‍යාවේ නවෝත්පාදනයක්. සීෆැලියන් හා පිරිස දැන් අවධානය යොමු කර ඇත්තේ රෝගියකුගේ ම සෛල පටක අරගෙන, ක්ලෝන විද්‍යාව අනුව, ඒ රෝගියාට ම ගැළපෙන ආකාරයට අවශ්‍ය සිරුරු කොටස නිපදවන්නයි. එවිට සිරුරු කොටස් ප‍්‍රදානය කරන අය සොයන්න වත්, සංකීර්ණ ප‍්‍රති නිෂ්පාදන කි‍්‍රයාවලියක් අවසන් වන තෙක් බලාහිඳින්න වත් අවශ්‍ය වන්නේ නැහැ. කෙළින් ම රසායනාගාරයෙන් අරන් බද්ධ කරන්න පුළුවන්.

 
මිනිස් කනක් තැනීම සඳහා යොදා ගන්නා අච්චුවක්.

ඒ වගේ ම මේ අවයවය රෝගියාගේ ම සෛල වලින් තැනෙන නිසා සිරුරට බද්ධ කළ පසු ප‍්‍රතික්ෂේප කිරීමේ අවදානමක් ඇති වන්නේත් නැහැ.

මේ සොයා ගැනීමට අදාළ ජෛව අනුරූප (ජීවියාට ගැළපෙන) ද්‍රව්‍ය තනන වටේටෝරුව තවමත් ඉතාමත් සුරක්ෂිතව රැකගෙන ඉන්න රහසක්.

ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය මේ නව නිපැයුමට යොදා ගන්නා නැනෝ ද්‍රව්‍ය සඳහා දැනටමත් පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගන්නට පවුම් ලක්ෂයක් මේ රසායනාගාරය වෙනුවෙන් වැය කරලයි, තියෙන්නෙ.

මේ නව නිපැයුම නිසා පිළිකාවක් නිසා හෝ වෙනත් දරුණු අනතුරු නිසා හෝ නාස් අහිමි වන දහස් ගණන් වන ලෝක ජනතාවට ලොකු සෙතක් සැලසෙනු නොඅනුමානයි.

”අපි රෝගියකුගේ සෛල ජෛවප‍්‍රතිකි‍්‍රයාකාරකය තුළ ඇති බහුඅවයවකයක් මත රෝපණය කරනවා.” ඔසෙනි කියනවා.

මේ තුළ ඇත්තේ නිර්ජීවාණු පරිසරයක්. ඒ තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය, රුධිර හා ඔක්සිජන් සැපයුම ඒ ආකාරයෙන් ම අනුකරණය කෙරෙනවා.

සෛල ඒ තුළ සකි‍්‍රය වෙමින් ගණනින් වැඩි වෙත් ම බහුඅවයවයකය වසා පැතිරෙනවා. මේ ක‍්‍රමය ම තමයි පාවිච්චි කරෙන්නෙ, මුහුණේ කොටස්වලට දරුණු ලෙස හානි වූ අයට අවශ්‍ය මුහුණේ කොටස් ප‍්‍රතිනිර්මාණය කරන්නත්.

මේ සාර්ථකත්වය උදා වුණේ විවාදාත්මක පියවි සෛල පර්යේෂණය තුළින්මයි. ඇතැම් විද්‍යාඥයන් තවමත් පර්යේෂණ සඳහා කලල පියවි සෛල යොදා ගනිද්දී සීෆැලියන් හා ඔහුගේ කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය සෛල වැඩිහිටි සෛල ඇසුරෙන් නිපදවා ගන්නට සමත් වුණා. මෙහි දී නාසය තැනීමට යොදා ගන්නේ කාටිලේජ තනන සෛලයි. ඒවා ලබා ගන්නේ රෝගියාගේ ඇට මිදුලූවලින්.

මේ කි‍්‍රයාවලිය විප්ලවකාරී එකක්. මේවා ප‍්‍රතික්ෂේප නොකර කොතරම් කලක් සිරුරේ තිබේවිද යන්න තවමත් හරියට ම කියන්න අමාරුයි.

"මේ බද්ධ කිරීම්වල පූර්ණ සාර්ථකත්වය තීරණය කරන්න ශායනිකව විශාල රෝගීන් පිරිසක් යොදා අත්හදා බැලීම් කළ යුතු වෙනවා." සීෆැලියන් කියනවා.

 
ලෝකයේ ප‍්‍රථම වරට බද්ධ කළ, රසායනාගාරයක් තුළ නිර්මිත නාසය, තැනීමට යොදා ගත් රෝගියාගේ මුහුණේ වීදුරු අච්චුව.

 
රසායනාගාරයේ ‘වැවූ’ නාසයක්. මෙවැනි නාසයක් කෙළින් ම රෝගියාගේ මුහුණට බද්ධ කරන්නේ නැහැ. මුලින් ම එය බැලූනයක් තුළ බහා ඔහුගේ බාහුවේ සම යට තැන්පත් කෙරෙනවා.

පුනර්ජනනී වෛද්‍ය විද්‍යාවේ (Regenerative Medicine) දියුණුව දැන් වේගවත් වෙලා. දැන් හෘද කපාට අලූත් කිරීමේ පටන් මුහුණු නැවත ගොඩ නැඟීම දක්වාත්, අන්ධභාවය සුව කිරීමේ පටන් බහුල ලෙස මිනිසා ආබාධිත කරන රෝග ගැන අධ්‍යයනය කිරීම දක්වාත්, කටයුතු වේගවත් කිරීමට ලොවපුරා වෛද්‍ය විද්‍යාඥයන් වෙහෙසෙනවා.

source  : malkakulu web

සොබාදහමේ සුන්දර මර උගුල්



සොබාදහම කියන්නේ හරිම අපූරු සුන්දර තැනක්. ඒවගේම හරිම අවදානම් තැනක්. අපි මේ කතා කරන්න සූදානම් වන්නේ සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන, මාංශ භක්ෂක ශාක හෙවත් විලෝපික ශාක ගැන. විලෝපික ශාක කියන්නේ වෙනත් සත්ව විශේෂ හෝ කෘමි විශේෂ හෝ ගොදුරු කර ගෙන ආහාරයට ගන්නා ශාකවලටයි. මාංශභක්ෂක හා ශාක භක්ෂක දෙවර්ගය ම එකක් ලෙස ගෙනයි, මෙසේ හැඳින්වෙන්නේ. ඒ ශාකත් ප‍්‍රභාසංශ්ලේෂණය මගින් තමයි, සාමාන්‍යයෙන් ආහාර නිපදවා ගන්නේ. අතිරේකව අවශ්‍ය පෝෂක කොටස් පහසුවෙන් ලබා ගන්නයි, මේ විදියට විලෝපික හැසිරීමට යන්නේ. ගසක පිළිලයක් වුනත් විලෝපික ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ විදියෙ විලෝපික ශාක විශේෂ 400ක් තරම් ප‍්‍රමාණයක් ලොව පුරා විසිරී තියෙනවා.

මස් කන්න පුරුදු වුණේ ඇයි ?
මාංශ භක්ෂක ශාක හෙවත් කෘමි භක්ෂක ශාක සතුව තියෙනවා, විශේෂ පෝෂණ ක‍්‍රමයක්. අනෙක් ශාක විශේෂ වගේම මේවායේත් පත‍්‍ර කොළ පාටයි. ඒ ඒවායේ ක්ලෝරෝෆිල් හෙවත් හරිතප‍්‍රද අඩංගු නිසයි. හේ නිසා ඒවාට ආහාර පිළියෙළ කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඇයි මේ ශාක මේ විදියට කෘමීන් ආහාරයට ගන්නේ ? කෑම සඳහා ඒ ශාකවලට කෘමීන් අවශ්‍ය වන්නේ ඒවායේ වැඞීමට අත්‍යවශ්‍ය පෝෂකයක් වන නයිට‍්‍රජන් අඩංගු ආහාරවල ඌණතාව සපුරා ගැනීමටයිි. ගොදුරු කර ගන්නා කෘමීන්ගේ සිරුරු ජීර්ණයට පත් කොට අවශ්‍ය සාරයන් උරා ගැනීමයි මෙහි දී සිදුවන්නේ. මාංශ භක්ෂක ශාක වැඩිපුරම වැඩෙන්නේ මඩ වගුරු ආශ‍්‍රිත ප‍්‍රදේශවලයි. සාමාන්‍යයෙන් වගුරු ප‍්‍රදේශවල පසෙහි නයිට‍්‍රජනීය ලවණ ඌණතාවක්, ඒ කියන්නේ හිඟකමක් තියෙනවා. ඒ නිසා කෘමි සතුන් ගොදුරු කරගෙන ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට මෙම ශාක හැඩගැසීම පරිණාමයේ තවත් අපූරු අවස්ථාවක් කියලයි, උද්භිද විද්‍යාඥයින් කියන්නේ.


පොදු ලක්ෂණ හඳුනා ගනිමු
මංශභක්ෂක ශාක කෘමීන් අල්ලා ගැනීම පිණිස අවයවවලින් සමන්විත වෙනවා. මේ අවයව කියලා කියන්නේ පත‍්‍රවලටයි. මෙම ශාක වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. සමහර ශාක කෘමීන් අල්ලා ගැනීමට විශේෂ උපක‍්‍රම යොදා ගන්නවා. අනෙක් ශාක, කෘමීන් ගොදුරු කර ගන්නේ ස්වභාවික පිහිටීම උපකාර කර ගෙනයි.

බාඳුරා මර උගුල
බාඳුරා (pitcher plant)කියන්නේ අපේ රටේ බහුලව දකින්න පුළුවන් මාංශ භක්ෂක ශාකයක්. මේවා වැඩෙන්නේ සෙවණ ඇති මඩ වගුරු බිම්වලයි. බාඳුරා හැඳින්වෙන්නේ නෙපෙන්තස් ඩිස්ටිලාටෝරියා (penthes distillatoria) යන උද්භිද විද්‍යා නාමයෙන්. දුර්වල කඳක් ඇති වැල් ශාකයක් නිසා මෙහි මැද නාරටි දිගින් යුක්තයි. ඒවා වෙනත් වැලක් මෙන් ආධාරකයක එතී වෙළී පිහිටන නිසා මේ ශාකයට සෘජුව පිහිටීමේ ශක්තිය ලැබෙනවා. කෘමීන් අල්ලා ගැනීම සඳහා මෙහි එක් පත‍්‍ර තලයක හැඩය වෙනස් වෙලා ඒ කියන්නේ විකරණය වෙලා කෙණ්ඩියක් (pitcher) එහෙම නැතිනම් මල්ලක් ලෙස සැකසී තියෙනවා. බාඳුරා මල ලෙස හැඳින්වෙන්නේ මේ කෙණ්ඩියයි. ඇත්තටම නම් මෙය මලක් නොවේ. මර උගුලක්. පත‍්‍ර තලය කෙණ්ඩිය වී ඇති අතර පත‍්‍ර නටුව පත‍්‍රයක් මෙන් පළල් වී පිහිටනවා. එය හැඳින්වෙන්නේ පත‍්‍රාභයක් ලෙසයි. මේ කෙණ්ඩිය බොහෝ විට අඟල් 3 ක් පමණ දිගයි. පහළ පළල්. ඉහළ කෙළවර පටුයි.


කෘමීන් ආකර්ෂණය කර ගන්නා හැටි
කෙණ්ඩියෙහි පෙනුම බොහෝ විට රතු මිශ‍්‍ර රෝස පැහැයක් ගන්නවා. එය කෘමීන් ආකර්ෂණය කර ගැනීමට යොදූ උපායක්. කෙණ්ඩියේ මුඛයේ එසේත් නැතිනම් ඉහළ කෙළවරෙහි පියනක් තියෙනවා. කෙණ්ඩිය ළපටි කාලයේ දී මේ පියන වැසී පවතිනවා. එය විවෘත වෙන්නේ හොඳින් මේරුණු පසුවයි. විවෘත වූ විට පියන සෘජුව පිහිටනවා. මෙම කෙණ්ඩිය තුළ ඇත්තේ බැක්ටීරියා අඩංගු ජීර්ණ යුෂක්. කෙණ්ඩියට ආකර්ෂණය වී එයට ඇදී එන පුංචි කෘමීන් කෙණ්ඩියේ මුඛයෙහි ඇති දාරයෙහි වසනවා. එය ලිස්සනසුලූයි. ඒ නිසා කෘමීන් කෙණ්ඩිය තුළට ලිස්සා වැටෙනවා. කෙණ්ඩියේ ඇතුළත බිත්තිද ලිස්සනසුලූ නිසා වැටුණු කිසිවෙකුට යළි ඉන් පිට වීමට හැකි වන්නේ නෑ. කෙණ්ඩියේ අඩංගු යුෂවල ගිලීමෙන් මෙසේ වැටෙන කෘමීන් මිය යනවා. උන්ගේ සිරුරු කොටස් කෙණ්ඩිය තුළම දිරවීමට ලක් වෙනවා. ඉන්පසු ඒවායේ ඇති පෝෂ්‍ය කොටස් කෙණ්ඩිය හරහා ශාකයට උරා ගන්නවා.

කඳුළු හෙළන ඇසක් බඳු කඳුලැස්ස
බාඳුරා ශාක මෙන්ම කඳුලැස්ස (sundew)ශාකයත් තෙතමනය අධික සෙවණ සහිත තැන්වලයි වැඩෙන්නෙ. මෙහි උද්භිද විද්‍යා නාමය ඩ්‍රොසේරා ඉන්ඩිකා (Drosera indica)යි. ‘වීනස් ෆ්ලයි ට‍්‍රැප්’ කියන්නෙත් කඳුලැස්ස පවුලට ම අයත් ශාකයක්. සාමාන්‍යයෙන් බහුලව හමුවන කඳුලැස්ස ශාකය ඉතා කුඩායි. මේ ශාකය බොහෝ විට හමුවන්නේ විලක් හෝ වගුරක් අද්දරයි.


කඳුලැස්ස ශාකයට පොළොවට ඇළී එකිනෙකට ළං ළං ව පිහිටා ඇති පත‍්‍ර රැසක් හා සෘජුව පිහිටින කඳක් තියෙනවා. මෙසේ පිහිටන පත‍්‍ර සමූහය හැඳින්වෙන්නේ සෙව්වන්දියක් කියායි. මෙහි පත‍්‍රවල පැහැය රතට හුරුයි. දික්වූ නටුවලින් සමන්විතයි. පත‍්‍ර තලය පැතළියි. හැඩය අණ්ඩාකාරයි. මේ පුෂ්ප මංජරිය ශාකයට ඇති විශේෂ ලක්ෂණයක්. පත‍්‍ර තලයේ සහ දාරයේ තියෙනවා, ග‍්‍රාහිකා රාශියක්. පත‍්‍ර දාරය අද්දර තියෙන්නේ දික් වූ ග‍්‍රාහිකා. මැද තියෙන්නේ කෙටි මහත හැඩයෙන් යුත් ග‍්‍රාහිකායි. මේ සෑම ග‍්‍රාහිකාවක්ම කෙළවර වෙන්නේ වටකුරු ග‍්‍රන්ථියකිනුයි.

දිලිසෙන ඇලෙන ද්‍රව බිංදු
මෙහි ඇති ග‍්‍රාහිකා තුඩුවලින් ස‍්‍රාවය වෙන්නේ ඇලෙනසුලූ ද්‍රව බිංදුයි. මෙම ද්‍රව බිංදු මතට හිරු එළිය වැටුණු විට දිලිසීමට පටන් ගන්නවා. මෙයට කඳුලැස්ස යන නම ලැබී ඇත්තේ මෙහි පිහිටීම ඇසක් බඳු නිසාත් මෙය ස‍්‍රාවය කරන ද්‍රව බිංදු කඳුළු මෙන් දිලිසෙන නිසාත්ය. මෙම දිලිසෙන පත‍්‍ර දෙසට ඇදී එන කෘමීන් පත‍්‍රයේ ඇති ද්‍රාවයේ ඇලෙනවා. එමෙන්ම පත‍්‍රයේ ඇති ඇස් පිහාටු බඳු ග‍්‍රාහිකා පත‍්‍රය මැදට නැමී කෘමියා හිර කර ගන්නවා. කුඩා කෘමීන්ට මෙම මර උගුලෙන් බේරී යාමට හැකි වන්නේ නෑ. එහෙත් ඉඳහිට ශක්තිමත් කෘමියකු බේරී යන අවස්ථාත් තියෙනවා. සාමාන්‍යයෙන් මෙම ශාකය ආහාරයට ගන්නේ හෝහපුටුවන්, මැස්සන්, මදුරුවන් වැනි කුඩා සතුන්. මේ සතකු අසුවූ විට දිරවීමට සතියක් විතර ගත වෙනවා.

උත්තේජනය වන ග‍්‍රාහිකා
ග‍්‍රාහිකා මේ අයුරින් නැමෙන්නේ කෘමීන්ගේ පැමිණීම නිසයි. කෘමීන් එහි ස්පර්ශ වන නිසයි. මේ ස්පර්ශ නිසා ඒ ශාකය තුළ උත්තේජනයක් ඇති වෙනවා. රසායනික වෙනස් වීමක් නිසයි, මේ උත්තේජනය ඇති වන්නේ. ග‍්‍රාහිකාවල ග‍්‍රහණයට හසුවී මියයන කෘමියාගේ සිරුර ඉන්පසු ජීර්ණයට පත්වෙනවා. මෙය සිදුවන්නේ ග‍්‍රාහිකාවලින් වෑස්සෙන ජීර්ණ යුෂ හේතුවෙන්. කෘමියාගේ මාංශල කොටස් ජීර්ණය වී ද්‍රාව්‍ය බවට පත්වෙනවා. ඒවා පත‍්‍ර තුළින් ශාකයට උරා ගන්නවා. පසුව දිරවිය නොහැකි ඇට කොටස් පත‍්‍රය මත තිබෙනු දැක ගත හැකියි. කෘමීන් ගොදුරු කර නො ගෙන වුනත් කඳුලැස්ස ශාකයට ජීවත්වෙන්න පුළුවන්. ඒත් මේ අයුරින් මාංශල ආහාර ලැබීම නිසා ශාකය වඩාත් නිරෝගීව වැඩෙනවා.

ජලයේ මතුවන නිල්මොනරැස්ස
නිල්මොනරැස්ස තවත් සතුන් අල්ලා කන ශාකයක්. එය උට්රිකුලාරියා රෙටිකුලාටා (Utricularia reticulata)යන උද්භිද විද්‍යා නාමයෙන් තමයි හැඳින්වෙන්නෙ. මෙය ජලයේ ගිලී වැඩෙන ජලජ ශාකයක්. ජලය මතුපිටට පැමිණෙන්නේ පුෂ්ප මංජරිය විතරයි. අධික ලෙස අතු බෙදීම නිසා මෙය දිස්වෙන්නේ කෙදි රාශියක් ලෙසයි. මෙහි පත‍්‍රද සිහින් කෙඳි ලෙසට බෙදී තිබෙනවා. මේ පත‍්‍ර අතරින් සමහරක් ආශයක් හෙවත් පැසක් ලෙසට විකරණය වී තියෙනවා. ජලයේ පාවෙමින් පැසට පුළුවන් ජලයේ වසන කුඩා කෘමීන් අල්ලා ගන්නට. මේ පැසෙහි පළල් පෙදෙස ශාකයට සවි වී තියෙනවා.


සකි‍්‍රය උගුල් දොරක්
පටු කෙළවරෙහි තියෙන්නේ සාමාන්‍ය වශයෙන් වැසී තියෙන උගුල් දොරක්. මේ උගුල් දොර දෙපසෙහි ඇත්තේ රෝම කිහිපයක්. උගුල් දොරෙන් පිටතට විහිදෙන සංවේදී රෝම හතරක් තියෙනවා. කෘමියෙක් මෙම සංවේදී රෝමවල ස්පර්ශ වුණොත් උගුල් දොර සැණෙකින් පැස තුළට විවර වෙනවා. එවිට වේගයෙන් ජලය ආශය තුළට ඇතුළු වෙනවා. එතකොට ජලයේ සිටින කෘමියා ජලයත් සමඟ පැස තුළට ඇදී යනවා. පැය භාගයක පමණ කාලයකට පසු පැස තුළ පිරුණු ජලය හිස් කර පැසට යළි කි‍්‍රයාකාරී වීමේ හැකියාව ලැබෙනවා. කෘමීන්ගේ දිරවීම හා පෝෂණ කොටස් උරා ගැනීම සිදුවන්නේ මේ පැස තුළ දීමයි.

කෘමියකු ස්පර්ශ වීමේ දී කී‍්‍රයාකාරී වන සංවේදී කෙඳි ඇතුළත් ශාකවල ඇති මේ ඇටවුම් හැඳින්වෙන්නේ සකි‍්‍රය උගුල් ලෙසයි. බටර්වර්ත්, බ්ලැඩර්වර්ත්, සන්ඩිව් හෙවත් කඳුලැස්ස පවුලට අයත් වීනස් ෆ්ලයි ට‍්‍රැප් වැනි ශාකවලට ඇත්තේ මෙවැනි උගුල්. ඒවායේ සතුන් අල්ලා ගන්නා යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙනවා. එහෙත් බාඳුරා වැනි ශාකවල පැස අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. ඒවා කෘමීන් ආකර්ෂණය කර ගන්නේ ඒවායේ වර්ණ, සුවඳ, මල් පැණි ආදිය මගිනුයි. උගුලේ කට මත වැසූ කෘමීයා ඉබේම ලිස්සා ඒ තුළට වැටෙනවා. ඒවායේ එසැණ කි‍්‍රයාත්මක වීමක් නැහැ. පැසක් ඇති බොහෝ ශාක අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. සමහර ශාකවල පත‍්‍රවල කෘමීන් ඇලෙනසුලූ ගතියක් තියෙනවා. කෘමියකු මේ පත‍්‍රයක ඇලූණොත් පත‍්‍රය රෝල් වී කෘමියා වෙළා ගන්නවා. පත‍්‍රය තුළින් මතුවන රසායනික දියරයකින් කෘමියා දිය කර උගේ සාරය උරා ගන්නට ශාකයට පුළුවන්.
 
 
source:  malkakulu web

ඕස්ටේ‍්‍රලියාව හොයාගත් දේශගවේෂකයා : කපිතාන් ජේම්ස් කුක්



18 වන සියවසේ මැද භාගය වෙනකල්ම යුරෝපීය ගවේෂකයින් වැඩිපුර උනන්දුවක් දැක්වූයේ වෙළඳාමටයි. එසේ නැතිනම් රටරටවල වස්තුව කොල්ලකෑමටයි. ඒත් එක බි‍්‍රතාන්‍ය ජාතික නාවික කපිතාන්වරයෙක් මීට වඩා වෙනස් මඟක යමින් අලූත් විධියේ ගවේෂණ කටයුත්තකට අත ගැහුවා. ඒ තමයි විද්‍යාත්මක දේශ ගවේෂණය. ඔහු වඩාත් උනන්දු වුණේ විද්‍යා සොයා ගැනීම් හා පර්යේෂණවලටයි. 1768 සිට 1779 දක්වා දකුණු පැසිෆික් සාගර කලාපය තරණය කරමින් ගවේෂණ චාරිකා 3 කට සහභාගී වුණා. පළමු වතාවට විද්‍යාත්මක ක‍්‍රම වේදයන් භාවිත කරමිනුයි, කපිතින් කුක් මහ සාගරය තරණය කළේ. ඔහු යාත‍්‍රා කළේ තරු රටා අනුව මග සොයා ගෙනයි. ඔහුගේ මේ තාරකා නිරීක්ෂණ ක‍්‍රමවේදය පසු ව, අනාගත නාවිකයින්ට ලොකු උදව්වක් හා පහසුවක් වුණා. ඔහු ඔහුට දකින්න ලැබුණු හැමදෙයක්ම ඉතාමත් උනන්දුවෙන් හා ඉතාමත් නිවැරදි ව වාර්තා ගත කළා. හැකි පමණින් සත්ව හා ශාක විශේෂ ඔහු ආපහු එංගලන්තය බලා පැමිණෙද්දී රැුගෙන ආවා. කලින් හමුනොවූ, දකින්න නොලැබුණු සත්ව හා ශාක විශේෂ චිත‍්‍රයට නගනු ලැබුවා. නවීන ලෝකයට ඉමහත් මෙහෙයක් කළ දේශ ගවේෂකයා ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක්වී තියෙනවා. ඔහු මියගියේ 1779 පෙබරවාරි 14 වැනිදායි.

ලෝකයේ දේශ ගවේෂකයන් අතර ජේම්ස් කුක්ට ලැබෙන්නේ ඉතාමත් සුවිශේෂ තැනක්. ඔහු උපන්නේ 1728 වසරේ දී එංගලන්තයේ විට්නි ප‍්‍රාන්තයේ යෝක්ෂයර්හි මාර්ටන් නගරයේදීයි. ගොවියකුගේ පුතකු වූ 12 හැවිරිදි වියේ දී තොරොම්බල්කාරයකුගේ අත් උදවුකාරයකු විදියට වැඩ කරලා තියෙනවා. ඒත් ඔහුගේ වැඩි ආශාව තිබුණේ මුහුදටයි. ඒ නිසයි ඔහු පසුව නැව් අයිතිකරුවකුගේ සහයකයකු වුණේ. පුංචි සන්ධියෙදිම, ඔහු ස්වාමියා සමග මුහුදු ගමන් යන්න පටන් ගත්තා. ඔහු විවේක කාලයෙදිත් කළේ නැව් පැදවීමේ කලාවත් තාරකා විද්‍යාවත් ඉගෙන ගත් එකයි. ඒ කාලේ මුහුදු ගමන් යන හැටිත් මුහුදේ දී මග සොයා ගන්නා හැටිත් ඔහු හොඳින් ම තේරුම් ගත්තා. මේ විදියට කුඩා කොලූ ගැටයකු හැටියට මුහුදු ජීවිතයේ අත්දැකීම් ලැබූ කුක් 1775 වසරේ දී බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට එක් වුණා.

මේ කාලේ කැනඩාවේ පදිංචිව සිටි ඉංගී‍්‍රසින් හා ප‍්‍රංශකාරයන් අතර ගැටුමක් ඇති වුණා. දේශ සීමා අයිතිය පිළිබඳව ඇති වූ මේ ආරවුල යුද්ධයකට පෙරළුණා. කැනඩාවේ සැන්ට් ලෝරන්ස් ගංගාව ආශ‍්‍රය කර ගෙන ඇති වූ මේ යුද්ධයට සහය වීමට එංගලන්තයෙන් යැවූ ගවේෂණ නැව් කණ්ඩායමට කුක් ඇතුළත් වූ නැවත් ගියා. 1759 දී කැනඩාවේ විසූ ප‍්‍රංශ ජාතිකයන් සමඟ පැවති මෙම යුද්ධය හත් වසරක් පුරා පැවතුණා. මේ යුද්ධය අතරතුරේ දී ම ඉහළට නැඟීමේ ආශාවත්, නොපසුබට උත්සාහයත් නිසා වසර හතරකින් ම නැව් කපිතන්වරයකු බවට පත් වුණා. ඒ අනුව ඔහුට ‘මර්කරි’ නැවේ කපිතන් හැටියට කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා.

වීර චාරිකා ඇරඹීම

1760 වසරේ දී කුක් මුහුදේ යාත‍්‍රා කිරීම් ගැන අත්දැකීම්වලින් හා දැනුමෙන් ප‍්‍රවීණයෙක් බවට පත් වුණා. ඔහුගේ මේ දැනුම ඊළඟ එළඹුණු ලෝකයේ දීර්ඝතම ගවේෂණ චාරිකා තුනකටම ප‍්‍රයෝජනවත් වුණා. ලෝකයේ උතුරටත් දකුණටත් ගිය මේ අපූරු චාරිකා තුන නිසා ඔහු ගවේෂකයන් අතර විශිෂ්ටයා බවට පත් වුණා.

පළමුවැනි ගවේෂණ චාරිකාව

පළමුවන ගවේෂණය සඳහා ඔහු තෝරාගත් නැව තමයි ‘එන්ඩෙවර්’. 1768 අගෝස්තු 26 වැනි දා කපිතන් ජේම්ස් කුක් එංගලන්තයේ ප්ලිමත් වරායෙන් සුවිශේෂ ගමනක් ඒ නැවෙන් පිටත් වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 40ක්. ඔහු සමග ඒ සුවිශේෂ ගමනට විද්‍යාඥයන් පිරිසක්, චිත‍්‍රශිල්පීන් දෙදෙනකු ද ඒ ගමන සඳහා ම විශේෂයෙන් තෝරා ගත් නාවික පිරිසකුත් එක්ව සිටියා.

 
ජෙම්ස් කූක් ගේ "එන්ඩෙවර්" අනුකරණය කරමින් තැනූ නැව

මේ ගවේෂණයට අරමුණු දෙකක් තිබුණා. සිකුරු ග‍්‍රහයා සූර්යයා හරහා යන ගමන නිරීක්ෂණය කරන්නට ඉංගී‍්‍රසි තාරකා විද්‍යාඥයකුව ටහිටි දුපතට ගෙන යාම එක අරමුණක්. ඒ වන විට සිකුරු ග‍්‍රහයා සූර්යයා හරහා යන ගමන නිරීක්ෂණය කරන්්නට රුසියාව සයිබීරියාවේදීත් ස්කොට්වරුන් ඇබිසිනියාවේදීත්, ප‍්‍රංශ ජාතිකයන් ඉන්දියාවේ, නවසීලන්තයේ හා ඕස්ටේ‍්‍රලියාවේ දීත් මේ පිළිබඳ ව නිරීක්ෂණය කරන්න යොදා ගෙන තිබුණා. ලන්ඩනයේ රාජකීය සංගමය කුක්ට පවරා තිබුණේ සිකුරු සංක‍්‍රමණයට පෙර ටහිටි දූපතට ගොස් එහි ආරක්ෂක බලකොටුවක් ඉදි කොට නිරීක්ෂණයට කටයුතු සැලැස්වීමයි. සිකුරුගේ හිරු හරහා ගමන යෙදී තිබුණේ 1769 ජූනි 3 වැනිදාටයි. හෝන් තුඩුව වටා යමින් සාගර තරණයේ යෙදෙද්දී කුක්ගේ පිරිසේ දෙදෙනකු අධික ශීතල නිසා මියගිය ද නියමිත පරිදි යාත‍්‍රා කොට විශේෂ නිරීක්ෂණ බලකොටුවක් ඉදි කොට තාරකා විද්‍යාඥයා එහි රැඳවීමට කුක් සමත් වුණා. ඉන්පසු කුක් ඒ දූපත පිළිබඳ තමන් ම අධ්‍යයනයක නිරත වුණා.

තාරකා විද්‍යාඥයාගේ කටයුතු අවසන් වීමෙන් පසු කුක් ඊළඟට නවසීලන්තය බලා ගියා. 1769 ඔක්තෝබර 8 වැනිදා එහි කුඩා බොක්කක නැංගුරම් ලෑ ඔහු හා ඔහුගේ පිරිසට එහි ගොඩ බසින්නට එරට වැසියන් වු ම ඕරිවරුන් ඉඩ දුන්නේ නෑ. ඔහු ඔවුන්ගෙන් ගැලවුණේ වෙඩි කීපයක් තැබීමෙන්. ඔහු ඉන්පසු නවසීලන්ත දූපත් දෙක වටා යාත‍්‍රා කරමින් ඕස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර වෙරළ දිගේ යාත‍්‍රා කළා.


පැසිෆික් සාගර කලාපය ගවේෂණය කිරීමට කපිතාන් කුක් රැගෙන ගිය විද්‍යඥ කණ්ඩායමේ හිටියා උද්භිද විද්‍යාඥයෙක් සහ සිත්තරෙක්. කුක් රැගෙන ගිය උද්භිද විද්‍යාඥයා තමයි ජෝසප් බෑන්ක්ස්. සිත්තරා තමයි සිඞ්නි පාකින්සන්. ඕස්ටේ‍්‍රලියාවේ දී කපිතාන් කුක් සහ ජෝසප් බෑන්ක්ස් නව ශාක හා සත්ව විශේෂ ගණනාවක් සොයා ගත්තා. සශ‍්‍රීකව වැවුණු දෙල් ගස්වල පටන් පැන පැන යන කැන්ගරුවන් දක්වා වූ මේ සත්ව හා ශාක විශේෂයන් මීට කලින් යුරෝපීයයන් දැකලා තිබුණේ නැහැ. කුක් සහ ජෝසප් බෑන්ක්ස් ගිය එක් ස්ථානයක ශාක විශේෂ අති විශාල ගණනක් දකින්න ලැබුණා. ඉතිං කුක් එම ස්ථානය නම් කළා ‘බොට්නි බේ’ යන නමින්. එහි තේරුම ‘උද්භිද විද්‍යා බොක්ක‘ යන්නයි. අද ඒ ස්ථානය ඕස්ටේ‍්‍රලියාවේ ඉතා වැදගත් නගරයක් ලෙස සැළකෙනවා.

අද සිඞ්නි වරාය පිහිටා ඇත්තේ මේ අලංකාර ස්ථානයෙයි. මේ භූමියෙහි සරුසාර බව දුටු කුක් අනාගතයේ දී එහි තම රටවැසියනට පදිංචි විය හැකියැයි තීරණය කළා. අද ඕස්ටේ‍්‍රලියාව ඉංගී‍්‍රසින්ගේ ජනාවාසයක් වී ඇත්තේ ඒ අනුවයි. මේ වතාවේ ගමන නිමා කොට කුක් 1771 ජූලි 12 වැනි යළිත් එංගලන්තයට ආවා.

දෙවැනි ගවේෂණ චාරිකාව

ඊළඟ අවුරුද්දේ ම, එනම් 1772 දී ඔහුට සිය දෙවැනි ගවේෂණයෙහි යෙදෙන්නට සිදු වුණා. මේ ගවේෂණය සඳහා ‘රෙසොලියුෂන්’ හා ‘ඇඞ්වෙන්චර්’ යන නම් ඇති නැව් දෙකක් ම ඔහුට ලැබුණා. මේ ගමනට පළමු ගමනටත් වඩා විශාල විද්‍යාඥයන් පිරිසක් සහභාගි වුණා.

අපි‍්‍රකාවට දකුණින් තවත් මහාද්වීපයක් ඇද්දැයි සෙවීම මෙහි දී ඔහුට පැවරුණු කාරියයි. එසේ නව මහාද්වීපයක් ඇත්නම් එය හැකිතාක් ඉක්මනින් සොයා ගෙන, එහි ස්වදේශිකයන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධකම් පවත්වා ගන්නටත් ඔවුන් හා වෙළඳ ගනුදෙනු කරන්නටත් කටයුතු සැලසුම් කරන්නැයි දන්වා තිබුණා.

කුක් අපි‍්‍රකාව වටේ යමින් වඩාත් දකුණට යාත‍්‍රා කළා. ඔහුගේ ඉදිරි ගමනට විශාල හිම තට්ටුවක් නිසා බාධා පැමිණුණා. ඔහු ඒ හිම තට්ටුව වටේ සැතැපුම් 1,250ක් යාත‍්‍රා කළා. හිම තට්ටුවට ඔබ්බෙන් මිනිස් වාසය ඇති බිමක් නොමැති බව තහවුරු කර ගත් කුක් එතැනින් නවසීලන්තය දෙසට යාත‍්‍රා කළා. ඔහුගේ නාවිකයන්ට විවේක ගන්නටත් අලූත් ආහාර හා පලතුරු ලබා ගන්නත් ඉඩ සැලසුණා.

ඒත් කුක්ගේ දකුණුදිග මහාද්වීපය සෙවීමේ අරමුණ නතර වුණේ නෑ. ඔහු නැවතත් යාත‍්‍රා කිරීමට අණ දුන්නා. ඉන්පසු කලින් ඔහු විසින් සොයා ගෙන නම් කර තිබූ ‘ෆ්‍රෙන්ඞ්ස් දූපත්’වලට ගියා. එතැනින් යළිත් දකුණ බලා ගිය ඔහුට යළිත් දක්ෂිණ ධ්රුව හිම තට්ටුව හමු වුණා. ඉන් ඔබ්බට යාම නවතා ඔහුට ආපසු මග සොයා ගෙන එන්නට සිදු වුණා. එතැනින් පාස්කු දූවට ගිය කුක් කැනැක්වරුන් විසූ නව කැඩෝනියාව සොයා ගත්තා. ඉන්පසු හෝන් තුඩුව හරහා යළිත් එංගලන්තය බලා ආපසු ගියා. කුක්ගේ දෙවැනි ගවේෂණ චාරිකාව අවසන් වුණේ එහෙමයි.

තුන්වැනි ගවේෂණ චාරිකාව

මේ ගමන්වල විඩාව නිවා ගන්න තරම්වත් කුක් නතර වුණේ නෑ. වැඩිකල් නොයාම තුන්වැනි ගවේෂණයටත් පිටත් වීමට ඔහු තීරණය කළා. 1776 දී ඇරඹුණු එවර ඔහුගේ ගමනට එක් වුණේ ‘රිසොලියුෂන්’ නැවට අමතරව එක් වුණේ ‘ඩිස්කවරි’ කියන නැවයි. එවර ඔහුගේ ගවේෂණයේ ඉලක්කය වූයේ උතුරු පැසිපික් සාගරයයි. ඇමෙරිකාව හරහා හෝ ඇමෙරිකාව වටා ගොස් උතුරට යා හැකි නැව් මාර්ගයක් සොයා ගැනීම ඒ ගමනේ අරමුණ වුණා. ඔහු සුපුරුදු ගමන් මාර්ගය වූ කේප් තුඩුව හරහා නවසීලන්තයට ගියා. මුලින් ම ඔහු ටයිටි දූපතට ගියා. ඉන්පසුවයි, උතුරු පැසිපික් සාගරය ගවේෂණයට පටන් ගත්තේ. මේ ගමනේ දී තමයි, කුක්ට හවායි කියන දූපත් සමූහය හමුවුණේ. ඒ දූපත් කලින් ස්පාඤ්ඤ ජාතිකයන් විසින් සොයා ගෙනයි, තිබුණේ. එහි ගොඩබට කුක් ඇතුළු පිරිසට කෙතරම් උණුසුම් පිළිගැනීමක් ලැබුණා ද කීවොත් ආපසු එන ගමනේ දීත් එහි නැවතී යන බවට පොරොන්දුවෙමින් තමයි, ඔවුන් එතැන් සිට යළි ගමන් ඇරඹුවේ.

ඇමෙරිකා වෙරළ දිගේ බොහෝ දුරක් උතුරට යාත‍්‍රා කළ කුක් බේරිං සමුද්‍ර සන්ධිය තෙක් ගොස් එය පසු කිරීමට සමත් වුණා. එහෙත් උතුරෙනුත් ඔහුගේ ඉදිරි ගමනට බාධාවක් ඇති වුණා. ඒත් හිම තට්ටුවක්. දකුණේ වගේ ම උතුරේත් මිනිස් වාසයක් නොමැති තවත් හිම තට්ටුවක් ඇති බව තේරුම් ගත් ඔහු ආපසු එන්නට හැරුණා.

මෙහෙම ආපහු එන ගමනේ දී අපූරු දෙයක් සිදු වුණා. කුක් තීරණය කළා, යළිත් හවායි දූපත්වලට ගොඩ බසින්නට. ඔහුගේ නැව්වල අලූත්වැඩියා හා නඩත්තු කටයුතුවලට අවශ්‍ය වූ නිසා. ඔහු එහි ගොඩ බසින විට වෙරළේ විශාල පිරිසක් එක් රැස්ව සිටියා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් බිම දිගා වී මොනවාදෝ කියමින් නමස්කාර කර ඔහුව පිළිගත්තා.

ඒ දූපතේ පැවති පුරාවෘත්තයකට අනුව ඔවුන් ඇදහූ රානෝ නම් දෙවියා යෝධ යාත‍්‍රාවක නැඟී අනාගතයේ යම් දවසක ඈත මුහුදෙන් මතුවී එන බවක් කියවුණා. ඒ දූපතේ ප‍්‍රධාන පූජකයා පිරිසට කියා දුන්නේ කුක් එම දෙවියා බවයි. ඒ නිසයි, කුක්ට අදහන්න බැරි පිළිගැනීමක් ලැබුණේ. කුක් ඇඳගෙන හිටියේ දම්පාට දිගු කබායක්. ඔහුගේ හිස මත වූ තොප්පියේ පිහාටු ගසා අලංකාර කර තිබුණා. කුක් එතෙක් තමන් බලාපොරොත්තු වූ දෙවියා ලෙස පිළිගත් ඔවුන් පුද පඬුරු මහත් රාශියක් ඔහුට පිළිගැන්නුවා. ඔහුට ගෞරව පිණිස එරට ජනයා විශාල වශයෙන් රැස්වුණු උත්සවයකට ද සහභාගි වීමටත් සිදුවුණා. ප‍්‍රධාන පූජකයා ආගමික වතාවත් කර යාච්ඤාවක් කළා. ඒ කිසිවක් කුක්ට තේරුණේ නෑ. ඒත් ඔවුන් ඔහුට ගරු කළ හැටියට කිසිම හානියක් නොකරන බව ඔහු තේරුම් ගෙන තිබුණා.

සති තුනක් එහි රැඳුණු කුක් සහ පිරිස යළිත් ගමන් ඇරඹුවා. ඔවුන්ට ප‍්‍රචණ්ඩ කුණාටු සහිත රාති‍්‍ර දෙකකට මුහුණ දීමට සිදුවුණා. නැව්වලට අලාභ හානි සිදු වූ නිසා තවදුරටත් ගමන යා නොහැකි බව තේරුම් ගත් කුක් නැව් ආපසු හරවා ගෙන යළිත් හවායි දූපත්වලට ගියා. ඒත් එවර ‘දෙවියා’ පිළිගන්න විශාල පිරිස් වෙරළේ රැස්ව සිටියේ නැහැ. ඒත් රජු හා පූජකවරුන් ඔහුට සුපුරුදු ලෙස ගෞරව දැක්වූවා. ඒත් එහි වැසියන් කීපදෙනෙක් කුක්ගේ ‘ඩිස්කවරි’ නැවට අයිති බෝට්ටුවක් සොරකම් කිරීම නිසා කුක්ගේ පිරිසත් වැසියනුත් අතර ආරවුලක් ඇති වුණා. ආරවුල සමථයකට පත් කරන්නට කුක් පිරිසක් සමග සමග ගොඩ බිමට ගියා. එහිදි එහි වැසියකු පසුපසින් කළ පහර දීමකින් කුක් බලාපොරොත්තු නොවූ මොහොතක මියගියා. ඉන්පසු හවායි වැසියන් වට වී ඔවුන්ගේ ‘ඒ දෙවියා’ කැබලිවලට ඉරා දැම්මා. පසුව මිතුරු පූජකයෙක් ඔහුගේ සිරුරේ කැබලි රැගෙන කුක්ගේ නැවට ඇවිත් අවසාන වතාවත් කර කුක්ගේ සිරුර මුහුදේ රැලි අතරට එක් කළා. ගවේෂණයට අයත් සෙසු පිරිස රජු හමුවී සමාදාන වුණා. කුක්ගේ මරණයෙන් රජු මහත්සේ කම්පාවට පත් වී සිටියා. කුක්ගේ දෙවැනියා සෙසු පිරිස සමග රජුගෙන් සමුගෙන ආපසු යන්නට නැව් නැංගා. ඒ පිරිස ආසියානු වෙරළ දිගේ යාත‍්‍රා කොට එංගලන්තයට ආවා.

කපිතාන් කුක්ගේ ගමන් මග සොයා ගත් ක‍්‍රමය ප‍්‍රාථමික එකක් වුනත් ඒ කාලයේ හැටියට ඔහු එය ඉතා සාර්ථකව භාවිත කළා. ඔහු දේශාංශක මැන ගත්තේ හෝරාමානය හා සෙක්ස්ටන් හෙවත් ෂෂ්ටකය නම් උපකරණය යොදා ගෙනයි. ගමන් මග සොයා ගත්තේ තරුවල පිහිටීම උපයෝගී කර ගෙනයි.

කපිතාන් කුක් එතෙක් කිසිම නාවිකයකු නොකළ දෙයක් කිරීමටත් සමත් වුණා. තමන් සමග නැවේ ගමන් කළ නැවියන්ගේ මුඛ වණවීම, සම ඉරිතැලීම වැනි ලක්ෂණ පහළ වනු දුටු විගස තමන් ගොඩ බට දූපත්වල දී අලූත් පලතුරු ලබා දීමෙන් එම ඌනතා ලක්ෂණ මග හැරවීමට ඔහු සමත් වුණා. නැවියන් පෙළුණේ විටමින් C ඌනතාවෙන් බව ඔහු නිශ්චිත ව දැන ගත්තා ද යන්න හෙළි වි නැතත් ඔවුන්ට වැළඳුණේ ශීතාද රෝගය බවත් එය ඇති වන්නේ විටමින් ඒ නොලැබීමෙන් බවත් අද අපි දනිමු.

source malkakulu web

ඇස් දෙක නිරෝගීව තියාගනිමු



මිලියන ගණනක් වූ ජනතාව ,
"macular degeneration" සහ "cataracts
කියන අක්ෂි රෝගයන්ගෙන් පෙලෙනවා. එවැනි අක්ෂි රෝගී තත්වයන්ගෙන් වැලකී සිටීමට සහ ඇස් වල සෞඛ්‍යය තත්වය වැඩි දියුණු කරගැනීමට නම් මෙම ආහාරයන් 5 ඔබ විසින් අනුභව කල යුතු වෙනවා. මෙම ලිපිය කියවා එම ආහාරයන් වල ඇති වැදගත් කම අවභෝධ කොට ගෙන ඔබේ එදිනෙදා ආහාරය සදහා එම ආහාරයන් එකතු කරගන්න

1. කැරට්

මෙම ආහාර ලයිස්තුවේ පලමුවන ස්ථානය කැරට් වලට ලබා දුන්නේ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ඇස් දෙකක් ලබා ගැනීම සදහා අනුභව කලයුතු ආහාරයන් අතර පෙරමුණේම සිටින ආහාරය කැරට් නිසාවෙන්මයි. කැරට් වල අන්තර්ගත වෙන (බීටා - කැරටින්) හේතුවෙන් ඉහත සදහන් කරනු ලැබූ ප්‍රධානම අක්ෂි රෝගයන් දෙක වැලදීමට ඇති අවධානම අවම කරගැනීමට හැකියාව තිඛෙනවා.

2. පලා වර්ග

බොකුටු ගෝවා, නිවිති සහ සලාද කොලද ඇතුලත්ව අනෙකුත් සියලුම පලාවර්ග වල
antioxidant" zeaxanthin
සහ
lutein
යහමින් පවතිනවා. තවද පලාවර්ගයන් මගින් විශේෂයෙන්ම දෘෂ්ඨිවිතානයට හානිකර වෙන නිල් වර්ණය උරාගැනීමක්ද සිදු කරනවා. ඒවගේම ලග සහ දුර පෙනීමද වැඩි දියුණු කිරීමේ සුවිශේෂී බලයක් පලාවර්ග වලට තිඛෙනවා.


3. ඉරිගු

 
විශේෂයෙන්ම කහ ඉරිගු වල
zeaxanthin
සහ
lutein
බහුලවම පවතින නිසා කෝප්ප භාගයක් පමන කහ ඉරිගු පිස ආහාරයට ගැනීමෙන් ඇස් දෙක නිරෝගීව තබා ගැනීම සදහා දයිනිකව අවශ්‍ය කරන සියලුම පෝෂක පදාර්ථයන් ශරීරයට ලැඛෙනවා. තවද පුරුද්දක් වශයෙන් ඉරිගු ආහාරයට ගැනීමට පුරුදු වීමෙන් ඇස් වල පෙනීම දුර්වල කරමින් බැදෙන පටලයන් ඇති වීමට තිඛෙන අවධානම අඩු කරගැනීමට හැකි අතර ඇස් වල ඇති වී තිඛෙන කහ ගතිය නැති කරගැනීමටද හැකියාව තිඛෙනවා.


4. තක්කාලි


lycopene
ද ඇතුලත්ව තක්කාලි වල අන්තර්ගත වෙන කැරටොනයිඩ් මගින් ආලෝක ප්‍රේරිතයන්ගෙන් ඇස් වලට සිදු වෙන හානියන් වලක්වා ගැනීමට හැකියාව තිඛෙන අතර , තක්කාලි වල අඩංගු වෙන (විටමින් සී) මගින් ඇසෙහි පෙනීමද වැඩිදියුණු කරනු ලබනවා.


5. බතල

ඔබේ ඇස් නිරෝගීව තබා ගැනීම සදහා අවසාන වශයෙන් ඔබ අනුභව කලයුතු එම සුපිරි ආහාරය නම් බතලයි. ඇස් දෙක නිරෝගීව තැබීම සදහා බතල වලට හැකියාව ලැබී තිඛෙන්නේ එහි අන්තර්ගත වෙන (බීටා-කැරටින්) හේතුවෙනි.


ඉහත සදහන් කරනු ලැබූ සියලුම ආහාරයන් ඔබගේ ඇස් දෙක සදහා වඩාත් හිතකර වෙන්නේ ඒවා වල යහමින් (ප්‍රතිඔක්සිකාරකයන්) සහ ඛනිජ ලවන අන්තර්ගත වී ඇති නිසා බව ඔබ සමහර විට දන්නවා ඇති. ඔබ ඔබේ ඇස් දෙක ගැන ඇත්තටම සිතනවානම් මෙම ආහාරයන් එදිනෙදා ආහාරයට එකතු කරගත යුතු බව හොදින් මතක තබා ගන්න.

apps-lanka.blogspot.com

ශුද්ධ වූ දේශයක් වෙනුවෙන් ආගමේ නාමයෙන් කළ ශුද්ධ යුද්ධ : The Crusades


යුද්ධය කියන්නේ අපට නුහුරු දෙයක් නොවේ. නොයෙක් නොයෙක් හේතූන් නිසා යුද්ධ ඇති වෙනවා. ආගම වෙනුවෙන් එහෙම නැතිනම් දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවූ යුද්ධයක් තියෙනවා. ඒ තමයි, කුරුස යුද්ධය එහෙම නැතිනම් කෲසේඞ් කියන්නේ.


ජෙරුසලම නගරය වසර ගණනාවක් තිස්සේ යුරෝපය පුරා විසූ කිතුනු බැතිමතුන්ගේ පූජා භූමියක්. 11 වන ශතවර්ෂයේදී ජෙරුසලමේ පාලනය මුස්ලිම් බැතිමතුන් වන ටර්ක්වරුන්ගේ අතට පත් වුණා. යුරෝපයෙන් පැමිණෙන කිතුනු බැතිමතුන්ට ඔවුන් වරින් වර පහර දෙන්න පටන් ගත්තා. මේ නිසා 1095 වසරේදී 2 වැනි අර්බන් පාප්තුමා ටර්ක් මුස්ලිම්වරුන්ට එරෙහිව ශුද්ධ යුද්ධයක් කැඳෙවුවා. එහි අරමුණ වූයේ කිතුනු බැතිමතුන් සඳහා ජෙරුසලම මුස්ලිම් ටර්ක්වරුන්ගෙන් මුදවා ගැනීමයි. මෙම යුද්ධය තමයි පළමු කුරුස යුද්ධය, එහෙම නැතිනම් ශුද්ධ යුද්ධය ලෙස හැඳින්වෙන්නේ. මීළඟ සියවස් දෙක කුළ මේ ආකාරයේ ශුද්ධ යුද්ධ මාලාවක් සිදු වුණා. කි‍්‍රස්තියානුවන් යුද්ධ කර ජෙරුසලම හා ඩැමැස්කස් යන නගර අල්ලා ගත්තා. ඊළඟට මුස්ලිම් ටර්ක්වරු සටන් කර නැවත ඒ නගර අල්ලා ගත්තා. මේ විදියට කුරුස යුද්ධ ගණනාවක් ඇති වුණා. අන්තිමේදී අවසන් වතාවට කුරුස යුද්ධයට ගිය හමුදාවලට ශුද්ධ වූ දේශයට පසු බහින්න වුණා. ශුද්ධ වූ දේශය කියලා එදා හැඳින්වූයේ පලස්තීනයයි. අද මේ ප‍්‍රදේශයේ තමයි ඊශ‍්‍රායලය කියල හැඳින්වෙන්නේ. ප‍්‍රධාන වශයෙන් කුරුස යුද්ධ 4 ක් සිදුවී තියෙනවා.


කුරුස යුද්ධ 4

පළමු වන කුරුස යුද්ධය (1096-99) - මුල් ම කුරුස යුද්ධයේ දී කිතුනු සටන්කාමීන් යුරෝපය හරහා දිගු ගමනක් ගෙවා පැමිණ ඇන්ටියොක් හා ජෙරුසලම අල්ලා ගත්තා. ඒ සමග ම අවට ප‍්‍රදේශ සියල්ල ඔවුන් සතු කර ගත්තා.

දෙ වන කුරුස යුද්ධය (1147-49) - මුල් ම කුරුස යුද්ධයෙන් ලද පරාජයෙන් පසු මුස්ලිම්වරුන් යළි එක්සත් වී ඒ වන විට පෙරදිග පදිංචිව සිටි කිතුනුවන්ට පහර දුන්නා. ඔවුන් ඩැමැස්කස් නගරය අල්ලා ගත්තා. නව ප‍්‍රංශ හා ජර්මන් කුරුස යුදකරුවන් සම්පූර්ණයෙන් ම වනසා දැම්මා.

තෙ වන කුරුස යුද්ධය (1189-92) - කි‍්‍ර.ව. 1187 දී මහා සලාදීන් අධිරාජයා ජෙරුසලම ආක‍්‍රමණය කළා. මෙහි දී එංගලන්තයෙන්, ප‍්‍රංශයෙන් හා ශුද්ධ රෝම අධිරාජ්‍යයෙන් පැමිණි කුරුස යුදකරුවන් ප‍්‍රතිප‍්‍රහාර දුන්නත් ඔවුන් ආපසු අල්ලා ගත හැකි වූයේ අක‍්‍රා නගරය පමණයි.

හතර වන කුරුස යුද්ධය (1202-1204) - පාප්තුමාගේ ඉල්ලීම මත යළි සටනට බසින්නට තීරණය කළ කුරුස යුදකරුවන් කොන්ස්තන්තිනෝපල්වලට නැව්වලින් ආවා. ඒ නගරය කොල්ලකා ෆ්ලෑන්ඩර්ස්හී බෝල්ඞ්වින් එහි අධිරාජයා ලෙස පත් කළා. ඔවුන් ශුද්ධ දේශය තෙක් ගියේ නැහැ.

ළමුන්ගේ කුරුස යුද්ධය
1212 වසරේදී දහස් ගණනක් ළමයින් රයින්ලෑන්ඞ් සිට මධ්‍යධරණී මුහුද දක්වා පා ගමනක යෙදුණා. ඇණ කොටා ගනිමින් සටන් නොකළත් ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කිරීම නිසා ළමුන්ගේ කුරුස යුද්ධය කියා මෙය හැඳින්වෙනවා. ළමයින් හුඟ දෙනෙක් මෙම පා ගමනේදී කෑම නැතිවත් ලෙඩ රෝගවලට ගොදුරුවීමෙනුත් මියගියා. සමහරුන්ව මුස්ලිම් ටර්ක්වරුන්ට හසුවුණා. එම ළමයින් වහල්කමට විකුණනු ලැබුවා.

කුරුස යුදකරුවන්ට හැම වර්ගයක ම ජනයා ඇතුළත් වුණා. ඒ අය අතර මුල් ම කුරුස යුද්ධයට එක් වූ දුප්පත් වන්දනාකරුවන් ද සිටියා. පීටර් තාපසයා යනුවෙන් හැඳින්වුණු කි‍්‍රස්තියානු ආගමික දේශකයාගේ මෙහෙයීම මත ඒ අය මේ යුද්ධයට එක් වූයේ ආගම් භක්තිය පෙරදැරි කර ගෙන අතට අසුවුණු හැම අවියක් ම අර ගෙනයි. එහෙම නැතිව නියම විදියට සන්නද්ධ වෙලා නෙවෙයි. ඒ සමග සටනට හොඳින් සැරසුණු අසුන් පිට පැමිණි නයිට්වරුන් ද ඔවුන් සමග සටන් වැදුණා. ඒ අය හොඳින් සන්නද්ධවෙලයි හිටියේ. ඒ අය සමග දහස් ගණනක පාබල හමුදාවක් ද සිටියා. සෙල්යුක් තුර්කිවරුන්ට එරෙහිව සාර්ථකව සටන් වැදුණේ හොඳින් සන්නද්ධ වූ සොල්දාදුවන් විතරයි.

බටහිර යුරෝපයේ සිට සිරියාව හා පලස්තීනය තෙක් ගමන් මාර්ගය අති දුෂ්කර එකක් වුණා. ශුද්ධ දේශයට ගිය මේ ගමනට එක් වූ සංචාරකයන්ගෙන් වැඩි දෙනෙකුට ශුද්ධ දේශයට ළඟා වන්නට හැකි වුණේ නැහැ. අතරමඟ දී ලෙඩරෝගවලින් හා සාගින්නෙන් මියයාමට ඔවුන්ට සිදුවුණා. මුහුදෙන් ගිය අය වැනීසිය, ජිනෝවා වැනි නගරවලට පැමිණ නැව් නැග්ගා. ඒත් මුහුදු මාර්ගයත් එතරම්ම ආරක්ෂා සහිත වුණේ නැහැ. ශුද්ධ රෝම අධිරාජයා වූ පළමු වන ෆ්‍රෙඞ්රික් රජතුමාට මුහුදේ ගිලී මිය යන්නට සිදු වුණා. ඒ තුන්වන කුරුස යුද්ධය මෙහෙයවද්දීයි.

හමුදාවලට නිසි ලෙස අණ දී මෙහෙයවීම පටන් ගත්තේ 12 වන සියවසේ දියි. ඒ හමුදා මෙහෙයෙව්වේ ආගමික ජීවිතයකට කැපවීමට දිව්රා සිටි කි‍්‍රස්තියානි පූජකවරුන්. ඒ අය වෙනත් පූජකයන් මෙන් නොව අවි දරා ගෙන මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කළා. මේ පූජක පිරිස අතර ශාන්ත ජෝන් හා ටෙම්ප්ලර් නයිට්වරුන් මෙන් ම ජර්මන් නයිට්වරුන් ද කැපී පෙනුණා.

ශාන්ත ජෝන් නයිට්වරුන් තමයි, කුරුස යුද්ධවල දී තුවාලකරුවන්ට හා අතරමගදී රෝගී වන වන්දනාකරුවන්ට ප‍්‍රතිකාර කළේ. කල්යාමේ දී මේ අය මෝල්ටාවේ පදිංචිව ආගම වෙනුවෙන් කළ සටන දිගට ම ගෙන ගියා.

ටෙම්ප්ලර්වරුන් මුලින් ම කළේ ශුද්ධ දේශයට වන්දනාවේ ගිය කිතුනු බැතිමතුන්ට රැකවරණ සැලසීමයි. මේ පිරිස 1118 දී ශුද්ධ දේශයේ එනම් ජෙරුසලමෙ මහ දේවස්ථානය අසල රඳවනු ලැබුවා. ඔවුන් පසුව ටෙම්ප්ලර් නමින් ආගමික නිකායක් බවට පත් වුණා.

මේ කුරුස යුදකරුවන් නිසා බටහිරත් පෙරදිගත් අතර වැඩි සම්බන්ධයක් ඇති වුණා. මෙය ඉස්ලාමීය විද්‍යාවන් හා තාක්ෂණයන් බටහිරට ගෙන යාමට පිටිවහලක් වුණා. බටහිර වෛද්‍ය විද්‍යාව හා වාස්තු විද්‍යාව වැඩි දියුණු වූයේ මේ හේතුවෙන්. ස්පාඤ්ඤයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන්ගේ සහයත් මේ සඳහා එක්තරා දුරකට පිහිට වුණා.

ඉස්ලාමික වෙදකම ඉතා දියුණු තත්වයක තිබුණා. විශේෂයෙන් ම අරාබි වෛද්‍යවරයකු වූ අවිසෙන්නාගේ හෝ ඉබන්සිනාගේ ලේඛන මේ අතින් කැපී පෙනුණා. ඖෂධ වශයෙන් ශාක සාර භාවිතයත්, ආසාදනයන් සඳහා කළුවැල්, අගිල් වැනි ඔසු භාවිතයත්, පපුවේ හා උගුරේ ආබාධවලට බාම්වර්ග භාවිතයත් බටහිර වෙදකමට එක් වූයේ ඒ අනුවයි.

ධාන්‍ය පිටි කිරීම සඳහා සුළං මෝල් භාවිතය පෙරදිග මධ්‍යධරණී ප‍්‍රදේශයේ තමයි වැඩිපුර ම තිබුණේ. මේ අදහස යුරෝපයට ගෙන ගියේ කුරුස යුදකරුවන් විසින් බවයි කියවන්නේ. මුල් ම යුරෝපීය සුළං මෝල පිහිටුවන ලද්දේ 1180 දී ප‍්‍රංශයේ දීයි.


සලාදීන් සහ පළමු වන රිචඞ් රජු

 
සලාදීන් අධිරාජයා

සලාදීන් අධිරාජයා තමයි 1138 සහ 1193 දක්වා කාලයේ සිරියාවත් උතුරු අප‍්‍රිකාවේ කොටස් කිහිපයකුත් පාලනය කළේ. 1187 වසරේදී කිතුනු හමුදා ජෙරුසලමෙන් පලවා හරින්න ඔහු සමත් වුණා. ඊට පස්සේ පලස්තීනය (දැන් හැඳින්වෙන්නේ ඊශ‍්‍රායලය කියලයි) වසර ගණනාවක් පාලනය කළා.

 
එංගලන්තයේ පළමු වන රිචඞ් රජු

එංගලන්තයේ පළමු වන රිචඞ් රජු තමයි කිතුනු හමුදාවලට නායකත්වය දුන්නේ. පළමු වන රිචඞ් රජ්ජුරුවෝ සිංහයෙක් වගේ නිර්භීතයි. ඒ නිසා ඔහුව හැඳින්නුවේ ‘ලයන්හාට්’ කියලයි. පළමු රිචඞ් රජ්ජුරුවෝ ඔහුගේ පාලන කාලයෙන් (1187-1199) වැඩි හරියක් ගත කළේ එංගලන්තයෙන් පිට විදේශ රටවලයි. තෙවැනි කුරුස යුද්ධයේදී විශාල ජයග‍්‍රහණයක් ලැබුණත් ජෙරුසලම අල්ලා ගැනීමට හැකිවූයේ නැහැ. කුරුස යුද්ධයෙන් පස්සේ ඔහුව සිරගත කරනු ලැබුවා. ඔහු වෙනුවෙන් කප්පම් ගැනීම් ද සිදු වුණා. රිචඞ් ද ලයන්හාට් රජ්ජුරුවෝ ඔහුගේ අවසන් කාලය ගත කළේ ප‍්‍රංශයේය.


source malkakulu web

Wednesday, May 14, 2014

මිනෝවානු සහ මයිසේනියානු ශිෂ්ටාචාර


යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනෝවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි. එහෙත් කි‍්‍ර.පූ. 1450 දී මයිසේනියානුවන්ගේ ආක‍්‍රමණයක් සමඟ මිනෝවානු ශිෂ්ටාචාරය අවසන් විය. මයිසේනියානුයන්ගේ මුල් බිම වූයේ දකුණු රුසියාවයි. නමුත් ඔවුහු යුරෝපය හා බෝල්කන් ප‍්‍රදේශය හරහා ගී‍්‍රසියට පැමිණ එහි පදිංචි වූහ. මේ මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාවයි.


මිනෝවානුවෝ
යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනොවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි.


මිනෝවානුවන්ගේ වෙළඳ කටයුතු
කේ‍්‍රට් දූපතේ විසූ මිනෝවානු වැසියන් මනා ලෙස සංවිධානය වූ පිරිසකි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් එකක් විය. මිනෝවානුවෝ ගොවිතැනට දක්ෂයෝ වූහ. ඔවුහු තිරිඟු, බාර්ලි, මිදි සහ ඔලිව් වගා කළහ. මිනෝවානු වෙළෙන්දෝ කුඩා නැව්වලින් මධ්‍යධරණී මුහුද හරහා යාත‍්‍රා කරමින් වයින්, ධාන්‍ය, ඔලිව් තෙල් ආදී වටිනා නිෂ්පාදන වෙනත් බඩුවලට හුවමාරු කළහ. මෙම භාණ්ඩ අතුරින් ප‍්‍රධාන වූයේ දුම්මල, ඇත්දත් සහ අනර්ඝ ලෝහ වර්ගයි.

මිනෝවානු මහා මාලිගා
සෑම විශාල මිනෝවානු නගරයක ම දස දහස් ගණනකට හොඳින් ඉඩකඩ තිබූ ඉතා අලංකාර තේජවන්ත මාළිගා ඉදිකෙරිණි. මෙම මාළිගා නිවහන වූයේ රජ පවුල්වල අයට පමණක් ම නොවේ. මෙම මාළිගා වෙළඳ භාණ්ඩ හුවමාරු ස්ථාන බවට ද පත් විණි. පිටරට පැටවීමට මෙම මාළිගාවල භාණ්ඩ ගබඩා කර තිබිණි. දේවාල සහ වැඩපොළවල්ද මෙම මාළිගාවල අංග විය. එමෙන් ම නගර බලධාරීන් පදිංචි ව සිටියේ ද මේ මාළිගාවල ඔවුන්ට වෙන්වූ කාමරවලයි. කි‍්‍ර.පූ. 1450 වන විට මෙම අනර්ග මාළිගා බොහොමයක් විනාශ වී ගියේය. ගිනිකඳු පිපිරීම් හා භූමිකම්පා ඊට හේතු වන්නට ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති. ඒ හැරුණුවිට මාලිගා විනාශ වීමට ප‍්‍රධානතම හේතුව වන්නට ඇත්තේ මයිසේනියානුවන් කේ‍්‍රට් දූපතට පැමිණ කළ ආක‍්‍රමණයයි.




නෝසස් මාළිගාව
මිනෝවානු මාළිගා අතර විශාල ම මාළිගාව ලෙස සැලකෙන්නේ නෝසස් මාළිගයයි. ආගමීක චාරිත‍්‍ර වාරිත‍්‍ර සිදුකරනු ලැබුවේ මෙම නෝසස් මාළිගයේ මැද මිදුලේය. නෝසස් මාළිගය කාමර 1,300 කින් සමන්විත විය. රාජකීය පවුල්වලට වෙන්වූ කාමරවල බිත්ති බිතු සිතුවම්වලින් අලංකාර කර තිබිණි. මිනෝවානු වැසියන්ගේ ජීවන රටාවන් මෙම චිත‍්‍රවලින් පිළිබිඹු විණි. නටබුන් වී ගිය නෝසස් මාළිගය සොයා ගැනුණේ 1894 වසරේ දී ය. ඒ ශ‍්‍රීමත් ආතර් එවන්ස් විසිනි.



දක්ෂ කුඹල් කර්මාන්තකරුවෝ
මිනෝවානුවෝ දක්ෂ කුඹල් කර්මාන්තකරුවන් ද වූහ. ඔවුහු පුද්ගලයෙකුගේ ප‍්‍රමාණයට උස විශාල මැටි බරණි නිර්මාණය කළහ. මේවා භාවිතා කළේ තෙල්, ධාන්‍ය සහ වයින් ගබඩා කිරීමටය. මේ බරණි හැඳින්වෙන්නේ ‘පිතෝයි’ යනුවෙනි. නටඹුන් වී ගිය නෝසස් මාළිගයේ සිදු කළ කැණීම්වලදී මෙම බරණි හමුවිණි.



වෘෂභ හිසක් ඇති ‘මින්ටෝර්’
මින්ටොර් යනුවෙන් හැඳින්වෙන්නේ වෘෂභ හිසක් ඇති ග‍්‍රීක ප‍්‍රවාදවල සඳහන් මෘග මානවයෙකි. මේ මෘග මානවයා ජීවත් වූ බව පැවසෙන්නේ කේ‍්‍රට් දූපතේ පිහිටි නෝසස් මාළිගය යට ඉදිකර තිබූ වංකගිරියකය එසේත් නැතිනම් වටාරමකය. වංකගිරියක් හෝ වටාරමක් යනුවෙන් හැඳින්වෙන්නේ සංකීර්ණ හා අවුල් වූ මාර්ග ජාලයකි. මෙම නපුරු මෘගයා මරා දැමුවේ තෙසියස් නම් ඇතන්ස් කුමරා බව ප‍්‍රවාදවල සඳහන් වේ. ප‍්‍රවාදයක් වුණත් මෙම කතාවේ සත්‍යයක් ඇත. මිනෝවානු සංස්කෘතියේ වැදගත් මෙන්ම ශුද්ධ වූ සතෙකු ලෙස ගවයා සැලකේ. ආගමීක සැණකෙළිවලදී රජ්ජුරුවෝ ගව හිසක් සහිත වෙස් මුහුණක් පැලඳගෙන සිටි බවට සාක්ෂි ලැබී තිබේ.

මයිසේනියානුවෝ
කි‍්‍ර.පූ. 1600 සිට 1100 දක්වා ග‍්‍රීසියේ ප‍්‍රධාන භූමියේ ආධිපත්‍යය පැතිරවූයේ මයිසේනියානුවනුය. ඔවුන් ජීවත් වුණේ වෙන් වෙන් වූ කුඩා රාජ්‍යවලය. ඔවුන්ගේ භාෂාව හා ආගමීක විශ්වාසයන් එකම විය. ඔවුන් මයිසේනියානුවන් ලෙස නම් කර ඇත්තේ ඔවුන්ගේ ‘මයිසේනියා’ නම් මහා නගරය නිසාය. මයිසේනියානු සංස්කෘතියේ සුලමුල සොයා ගැනීමට හැකිවූයේ මෙහි දීය.



කන්දේ හැදූ මාළිගා: ඇක්‍රොපොලිස්
මයිසේනියානුවන් ඔවුන්ගේ මාළිගා ඉදිකරනු ලැබුවේ කඳු ගැට මුදුන්වලය. ඒවා වටා යෝධ ශක්තිමත් ගල් ප‍්‍රාකාර ඉදිකෙරිණි. මේ ආකාරයෙන් නිර්මාණය කළ නගර හැඳින්වෙන්නේ ඇක්‍රොපොලිස් යනුවෙනි. ගී‍්‍රක බසින් එහි තේරුම ‘උසින් පිහිටි නගරය’ යන්නයි. උසින් පිහිටීමත් ශක්තිමත් ප‍්‍රාකාරත් නිසා ආක‍්‍රමණවලින් බේරීමට පහසුවක් විණි.


මයිසේනියානුව ජන ජීවිතය
මයිසේනියානු සංස්කෘතිය පදනම් වී තිබුණේ ගොවිතැන හා වෙළඳාම පාදක කර ගනිමිනි. රෝඞ්ස් හා සයිප‍්‍රස් දූපත්වල ද මයිසේනියානු ජනපද බිහිවිණි. ඔවුහු නිර්භීත රණශූරයින් වූහ. මයිසේනියානු රජුන්ගේ හා රණවිරුවන්ගේ සොහොන් ගෙවල්වලින් හමුවූ සන්නාහ සහ ආයුධ මීට හොඳ නිදසුනක් බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

1876 දී කළ අපූරු සොයා ගැනීම්
1876 වසරේදී ජර්මානු පුරා විද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් නටඹුන් වූ මයිසේනියා නගරයට ඔබ්බෙන් නගරය වටා ඉදි කළ මහා ප‍්‍රාකාරය අසළ පිහිටි වළල්ලක ආකාරයෙන් වූ ගල් කුලූනු මැද කළ කැණීම්වලදී අපූරු දෙයක් සොයා ගැනිණ. ඔහුට හමුවුණේ පතල් විවරයකි. එය සොහොන් ගෙයක් වූ අතර එහි මයිසෝනියානු රාජකීය පවුලේ 16 දෙනෙකුගේ සිරුරු මිහිදන් කර තිබිණි. මෙම සිරුරු 16 න් පස් දෙනෙකු මුහුණු ආවරණය කර තිබුණේ රත්තරනින් තැනූ අවමංගල වෙස් මුහුණුවලිනි. මිල කළ නොහැකි ඉතා වටිනා රත්තරන් ආභරණ හා භාණ්ඩ තැන්පත් කළ තිබුණි. ඊට අමතරව අසිපත්, කුසලාන, ඔටුනු සහ මාල ද ඒවායේ හිමිකරුවන් සමඟ මිහිදන් කර තිබිණි.


සිංහ දොරටුව
සිංහ දොරටුව ලෙස හැඳින්වෙන්නේ ‘මයිසේනියා’ නගරයේ පිවිසීමේ දොරටුවයි. ගල්වලින් නිර්මාණය කළ මෙම දොරටුවේ ඉහළින් සිංහයින් දෙදෙනෙක් කැටයම් කර තිබේ. එයින් සංකේතවත් කළේ මයිසේනියානු රාජ පවුල්වලයි. මෙම දොරටුව ඉදි කර ඇත්තේ කි‍්‍ර.පූ. 1250 දීය.


රත්තරන් අවමංගල වෙස් මුහුණ
මේ රනින් කළ අවමංගල්‍ය වෙස් මුහුණ සොයා ගැනුනේ පුරාවිද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් විසිනි. මෙම වෙස් මුහුණ මයිසේනියා නගරයේ ශ්‍රේෂ්ඨ රජෙකු වූ ද ට්‍රෝයි පුර සංග‍්‍රාමයේදී නායකත්වය ගෙන කටයුතු කළ ආගමෙනොන් රජුගේ මුහුණ ආවරණය කිරීමට යොදා ගෙන ඇති බව ඔහු පවසයි. මෙම වෙස් මුහුණ හමුවීම සිහිනයක් සැබෑ වීමක් බව පුරාවිද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් පවසයි. එහෙත් වර්තමාන විද්වත්හු මේ ගැන වාද විවාද කරති. ඔවුන් පවසනුයේ ෂිලයිමාන්ට හමුවූ සොහොන් ගැබ ආගමෙනොන් රජුගේ කාලයේ ඉදි කළ එකක් නොව එය ඊට වසර 300 කට පෙර ඉදිකරනු ලැබූවක් බවයි.


ට්‍රෝයි පුරය වැනසූ යෝධ ලී අශ්වයා
ට්‍රෝජන් යුද්ධය ඇරඹුණේ ආගමෙනොන් රජු මයිසේනියානු හමුදා සමඟ ට්‍රෝයි පුරවරය ආක‍්‍රමණය කළේ ඔහුගේ නෑනණ්ඩිය වූ සුරූපී හෙලන් කුමරිය ට්‍රෝජන් කුමරකු වූ පැරිස් සමඟ ටෝයි පුරයට පැනගිය නිසා ඇයව යළි ලබා ගැනීමටය. ආගමෙනොන් ඇතුළු අනෙකුත් ග‍්‍රීක වීරයින්ට ට්‍රෝයි පුරවරය වටා වූ ශක්තිමත් මහා ප‍්‍රාකාරය අබිබවා යාමට නොහැකි විණි. අවසානයේ ප‍්‍රඥාවන්ත ඔඩිසියස් යෝධ ලී අසකු සාදා ගී‍්‍රක හමුදාවේ දක්ෂතම රණ ශූරයින් ඒ අසු තුළ සඟවා ට්‍රෝයි පුරයට ගෙන යන්න සැලැස්වීමෙන් පසු ට්‍රෝයි පුරය ආක‍්‍රමණය කළ බව මහා කවි හෝමර්ගේ ‘ඉලියඞ්’ නම් වීර කාව්‍යයේ සඳහන් වේ.

මිනෝවානුවෝ
කි‍්‍ර.පූ. 6000 - පළමු ගොවීහූ කේ‍්‍රට් දූපතේ ස්ථිර ජනපද පිහිටුවා ගත්හ.
කි‍්‍ර.පූ. 3000-1000 - කේ‍්‍රට් දූපතේ හා ග‍්‍රීක වැසියෝ ලෝකඩ නිපදවීමට හුරුවූහ.
කි‍්‍ර.පූ. 2000 - කේ‍්‍රට් දූපතේ පළමු රජ මාළිගා ඉදි කෙරිණි.
කි‍්‍ර.පූ. 1700 - භූමි කම්පාවලින් රජ මාළිගා විනාශ විණි. පසුව ඒවා යළි ඉදිකෙරිණි.
කි‍්‍ර.පූ. 1600 - පළමු මයිසේනියානුවන් කේ‍්‍රට් දූපතට පැමිණීම.
කි‍්‍ර.පූ. 1450 - ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් නෝසස් ඇතුළු සියලූම රජමාළිගා විනාශ විය.
කි‍්‍ර.පූ. 1100 - මිනොවානු ශිෂ්ටාචාරයේ අවසානය.

මයිසේනියානුවෝ
කි‍්‍ර.පූ. 1600-1100 - මයිසේනියානුවෝ ගී‍්‍රසියේ ආධිපත්‍යය පැතිරවූහ.
කි‍්‍ර.පූ. 1450 - මයිසේනියානුවෝ කේ‍්‍රට් දූපතේ පාලකයෝ වූහ.
කි‍්‍ර.පූ. 1250 - ට්‍රෝයි පුරයේ බිඳ වැටීම සිදුවීම.
කි‍්‍ර.පූ. 1200 - මයිසේනියානු සංස්කෘතිය කෙමෙන් පරිහානියට ලක්වීම. ඊට ප‍්‍රධාන හේතු වූයේ වගා පාලූවීම සහ දුර්වල ආර්ථිකයයි.
කි‍්‍ර.පූ. 1100-800 - ගී‍්‍රක අඳුරු යුගයේ ආරම්භය.

source malkakulu web

ඇන්ටිලොප් කුරංගයින්ගේ කතාව




ඇන්ටිලොප් යන නමින් සත්ත්ව විද්‍යානුකූල ව නිශ්චිත එක් සත්ත්ව විශේෂයක් දැක්විය නො හැකියි. සමාන ගති ලක්ෂණ ඇති විවිධ පවුල්වලට අයත් සත්ත්ව විශේෂ බොහොමයකට ලොව පුරා ‘ඇන්ටිලොප්’ කියා කියනවා. නියම වශයෙන් ම ඇන්ටිලොප් කියා කිව හැක්කේ උතුරු ඇමෙරිකාවේ ජීවත්වන ‘ප්‍රෝන්හෝන්’ (pronghorn) හා ‘ප්‍රෝන්බක්’ (pronbuck) යන නම්වලින් හැඳින්වෙන (සත්ත්ව. නා. ඇන්ටිලෝකැප්රා ඇමෙරිකානා Antilocapra americana) කුරංගයාටයි. ඌ අයත් වන්නේ ඇන්ටිලෝකැප්රිඬේ (Antilocapridae) පවුලට. අනෙක් ඇන්ටිලොප් සත්තු බොවිඬේ (Bovidae) පවුලට අයත් වෙයි.

කුරංගයින් කියන්නේ අපි කවුරුත් හොඳින් හඳුනන පාදවල කුර තියෙන සතුන්ටයි. ගව, එළු, බැටළු, ආදී කුර සහිත කිරි බී වැඩෙන සතුන් තමයි කුරංගයින් කියලා කියන්නේ. ඔවුන්ගෙන් බොහොමයක් අයත් වන්නේ ද බොවිඬේ පවුලටයි. මේ පවුල් දෙකට ම අයත් ඇන්ටිලොප් සතුන් ඔවුන්ගේ අලංකාර පෙනුම, ලාලිත්‍යය හා වේගයෙන් දිවීමේ හැකියාව නිසා විශේෂයෙන් කැපී පෙනෙයි.

බොහෝ සතුන්ට ඉහළට විහිදුණු, පසුපසට ඇඹරී ගිය අං තියෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ සම රන්වන්, රතු මුසු දුඹුරු, අළු පැහැ ගන්නවා. හොම්බ හා පස්සා පැත්ත සුදු හෝ ළා පැහැයක් ගන්නවා. සමහර සතුන්ගේ සිරුරෙහි අලංකාර ඉරි වැටී තියෙනවා. ප‍්‍රධාන වශයෙන් අපි‍්‍රකාවේ වෙසෙන මේ ඇන්ටිලොප් සතුන් ඉඳහිට ආසියාවේ ද දැක්ක හැකියි. විවිධ සත්ත්ව පවුල්වලට අයත් වුවත් ඔවුන් කෙරෙන් විද්‍යාමාන වන පොදු ලක්ෂණ කීපයක් නිසා ඇන්ටිලොප් කියා භාවිත කරනු ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ ඇන්ටිලොප් සතුන්ට දුර පිමි පනිමින් ඉතා වේගයෙන් දිවීමේ හැකියාව තියෙනවා. එසේ ම ඔවුන් පෙනුමෙන් ඉතාමත් අලංකාරයි.

ඇන්ටිලොප් සතුන් වැඩි දෙනකු හමු වන්නේ විවෘත තණ බිම්වල දීයි. ඔවුන්ගේ තණ උලෑ කෑමත්, විශාල තණබිම්වල දුව පැන ඇවිදිමින් විශාල රංචු වශයෙන් හැසිරෙන ආකාරයත් මන බඳනාසුලූයි. ඇතැම් ඇන්ටිලොප් වර්ග පඳුරු සහිත බිම්වල හා වනාන්තරවල තනි ව ම සිටිනු ද දැකිය හැකියි.

ඇන්ටිලොප් සතුන් ප‍්‍රමාණයෙන් පවා විවිධයි. ඒ ඒ වර්ග හොඳින් වැඩුණු පසු උරහිස තෙක් උස සෙ.මී. 25 සිට සෙ.මී. 180ක් තරම් වෙනස් වෙයි. එසේ වැඩි ම උසක් ඇත්තේ රජ ඇන්ටිලොප් (Royal Antelope)ටයි. සියලූ ම පිරිමි සතුන්ට මෙන් ම ගැහැනු සතුන් ටික දෙනකුට අං තියෙනවා. නියම ඇන්ටිලොප් ලෙසින් හැඳින්වෙන ප්‍රොන්හෝන් මධ්‍යම ප‍්‍රමාණයේ සතෙක්. උගේ සිරුර රතු මුසු දුඹුරු පැහැතියි. යටි කය සුදු පැහැතියි. බෙල්ලේ සුදු පටි දෙකක් වැටී තියෙනවා. තද දුඹුරු පැහැති කෙටි කෙසරු තියෙනවා. පස්සා පැත්තේ වටකුරුවට පැල්ලමක් සේ වැටී ඇති සුදු ලොම් අවශ්‍ය විටෙක පුම්බා දීප්තිමත් සුදු පැහැයක් නිකුත් කිරීමට ඌට පුළුවන්. එය අනෙක් සතුන්ට අනතුරු හැඟවීමට කරන සංඥාවක්. බොංගෝ නම් වර්ගය රතු මුසු රඹ පැහැතියි. පිටෙහි සුදු ඉරි 12ක් වැටී තියෙනවා.

 
රොයල් අන්ටිලෝප්

ඇන්ටිලොප් සතුන්ට හොඳින් වැඩුණු මොළයක් තියෙනවා. ඇසීමේ හා ගඳ සුවඳ දැනීමේ තියුණු හැකියාවක් තියෙනවා. මේ සමග ඔවුන් සතු අසාමාන්‍ය කි‍්‍රයාශීලීත්වය හා ජවය, අනතුරක සේයාවක් සැණෙන් හඳුනා ගෙන ඉක්මනින් ඉන් පැන දිවීමට හැකියාව ඔවුනට ලැබී තියෙනවා.

ඇන්ටිලොප් කුරංගයින් අතර සිටින යෝධයා - එලන්ඞ්
බොහෝ ඇන්ටිලොප් සතුන් එළුවන් හෝ බැටළුවන් හෝ තරම් වන අතර ඉන් ලොකු ම සත්ත්වයා වන්නේ උර හිස තෙක් සෙ.මී. 175ක් (අඟල් 69ක්) පමණ උසැති කි.ග‍්‍රෑ. 800ක් (රාත්තල් 1,764ක්) බරැති යෝධ එලන්ඞ් නම් අපි‍්‍රකාවේ වෙසෙන විශේෂයයි.

 
යෝධ එලන්ඩ්

කුඩාම ඇන්ටිලොප් කුරංගයා - ඩේන්ටි රෝයල්
කුඩා ම සත්ත්වයා වන්නේ ද අපි‍්‍රකාවේ වෙසෙන, උර හිස තෙක් සෙ.මී. 25ක් (අඟල් 10ක්) පමණ උසැති, කි.ග‍්‍රෑ. 2.7 ක් (රාත්තල් 6ක්) පමණ බරැති ඩේන්ටි රෝයල් නම් වර්ගයයි. උන්ගේ අං ද හැඩයෙන් හා ප‍්‍රමාණයෙන් ද විවිධයි. රෝයල් ඇන්ටිලොප්ගේ අං අඟලකට (සෙ.මී 2.5කට) වඩා දිග නැත. යෝධ සේබල් ඇන්ටිලොප්ගේ පසුපසට වකුටු වී ගිය අං දිගින් සෙ.මී. 160ක් (අඟල් 63ක්) පමණ වෙයි. බොවිඬේ පවුලට අයත් ඇන්ටිලොප් සතුන්ගේ අං හැළෙන්නේ නැත. එහෙත් ප්‍රෝන්හෝන්ගේ අං වසරක් පාසා හැළී අලූත් අඟක් වැඩෙයි.

 
කුඩාම අන්ටිලෝපයා : ඩේන්ටි රෝයල්

ඇන්ටිලොප් සත්තු ශාක භක්ෂකයෝයි. තණකොළ හා වෙනත් විවිධ පැළෑටි ආහාරයට ගන්නා ඔවුනගේ දිව දිගුයි; ලොකුයි; පහසුවෙන් හැසිරවිය හැකියි. ඔවුන් වමාරා කන සතුන් වන අතර මාංශ භක්ෂකයන් හා සසඳන කල ලොකු ආමාශ හා වඩාත් දිගු අන්ත‍්‍ර සහිතයි. බොහෝ විට ඔවුන් මුලින් කඩිසර ව උලා කා ගිල දමන ආහාර පසු ව නිවිහැනහිල්ලේ විකමින් සිටිනු දැක්ක හැකියි. දිවීම ගැන සලකන විට ප්‍රෝන්හෝන්ට පැ.කි.මී 70 ක (පැ.සැ. 45 ක) පමණ වේගයෙන් දිවිය හැකියි. උගේ එක් පිම්මක් දිගින් මී. 6ක් (අඩි 20ක්) පමණ වෙයි. තොම්සන් ගැසලි වර්ගයට පැ.කි.මී 80ක (පැ.සැ. 50ක) පමණ වේගයෙන් දිවිය හැකියි. ලොකු ම පිමිකාරයා වන ඉම්පාලා මී. 2.4ක් (අඩි 8ක්) පමණ උසින් යුත් මී. 10ක් (අඩි 33ක්) පමණ දිග පිම්මකට හිමිකම් කියයි.

ඇන්ටිලොප්ලා මුවන්, ඔටුවන්, ජිරාෆ් හා ඌරන් ආදී සකුර සතුන් අයත් වන ආටියෝඩක්ටිලා ගෝත‍්‍රයේ සතුන්ට ඇන්ටිලොප් නෑකම් කියයි. ආටියෝඩක්ටිලා කියන්නේ කුර ඇති සතුන්ටයි. ඇන්ටිලොප්ගේ මහපටැඟිල්ල හා ලොකු ඇඟිලි පරිණාමයේ මුල් යුගයේ දී ම අහෝසි වී ගොස් ඇත. උන් සිට ගෙන සිටින්නේ මැදැඟිලි දෙකෙනි. ඒවා ලොකු නිය පොතු දෙකක් එනම් බෙදුණු කුර දෙකක් බවට පත් වී ඇත. දෙපස ඇඟිලි දෙක කුඩා ව අකි‍්‍රය ව ඇත.

පොසිල වාර්තාවලට අනු ව බොවිඬේ පවුලට අයත් ඇන්ටිලොප් සතුන් වසර මිලියන 65 ක් තරම් ඈත කාලයේ දී යුරේසියාවේ හා අපි‍්‍රකාවේ තණ බිම් පැවති ප‍්‍රදේශවල විසූ බව හෙළි වි තියෙනවා. විශාල වශයෙන් ඇන්ටිලොප් වර්ග අතීතයේ මෙන් ම දැනුදු සිටින්නේ අපි‍්‍රකාවේ තැනිතලා හා සවානා බිම්වලයි. පිරිමි ගැහැනු සතුන් එක් වන කාලයට පිරිමි සතා තමන් හා එක් ව යන ගැහැනු සතකු තෝරා ගෙන අවට ගස් පඳුරුවල තම ගන්ධ ග‍්‍රන්ථීන් ඒවා මත අතුල්ලා තම සීමාවන් ලකුණු කරයි. සමහර ඇන්ටිලොප් වර්ගයක් එක ගැහැනු සතකු හා වෙසෙන අතර සමහර වර්ගයක් ගැහැනු සතුන් කීප දෙනකු ඇතුළත් පට්ටියක් තෝරා ගනියි. බොහෝ සත්ත්ව විශේෂවල ගන්ධ ග‍්‍රන්ථීන් ඇත්තේ ඇස් ඉදිරියෙන්. සමහරුනගේ ඒවා ඇත්තේ අං පසුපස හෝ හකු මත හෝ නො එසේ නම් වලිගයේ, පසුපස හෝ පාදවලයි. මොවුන් ගේ ගැබ් කාලය මාස 4 සිට 8 දක්වා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වරකට එක පැටියකු බැගින් බිහි කරයි. එහෙත් ප්‍රොන්හෝන් හා අං හතරේ ඇන්ටිලොප් වර්ග බොහෝ විට එකවර පැටවුන් දෙදෙනකු ප‍්‍රසූත කරනවා.

හොඳින් වැඩුණු ඇන්ටිලොප් සතකු දඩයම් කිරීම කොටියන්, සිංහයන්, ව්‍යාඝ‍්‍රයන් ඇතුළු විලෝපිකයන්ට ලෙහෙසි පහසු නො වේ. ඒ නිසා ඔවුන් සාමාන්‍යයෙන් ගොදුරු කර ගන්නේ වයස්ගත සතුන් හා පැටවුනුයි. ඇන්ටිලොප් සතුන්ට වඳ වී යාමේ තර්ජනය එල්ල වී තියෙන්නේ එවැනි විලෝපිකයන්ගෙන් නො ව මිනිස් දඩයක්කාරයන් ගෙනි. මෙසේ තර්ජනයට ලක් වී ඇති සතුන් අතරින් එලන්ඞ්, රොවාන්, මහා කුඩූ, වෝටර් බක්, නිල්ගයි (ඉන්දියාවේ නිල් ගවයා), කඳුකර න්‍යාලා හා බොංගෝ කැපී පෙනෙයි. අරාබි ඔරික්ස්, යෝධ සේබ්ල්, බ්ලෙස්බොක්, බොන්ටෙබොක් යන වර්ග වඳ වී යන්නට ආසන්නය. අනෙක් සතුන්ට අභය භූමි නිසා රැකවරණ සැලසී තියෙනවා.

source  malkakulu web