මෙම අනුරුවින් පෙන්නුම් කළේ රජකු සිය ආරක්ෂකයින් සමග යාත්‍රාවක් මත සිටිනා නිර්මාණයකි. මෙය සම්පූර්ණයෙන් පිරිසිදු රනින් නිම කරන ලද්දක් විය. මෙම අනුරුවෙහි ඇති සුවිශේෂී බව වූයේ එය පමණක් නොවේ. 19 වැනි සියවසේදී ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය කණ්ඩායමක් මෙම රන් දේශය සොයාගිය ගමනේදී හමුවූ රත්රන් අනුරුවත් මෙම අනුරුවත් අතර කිසිදු වෙනසක් නොතිබිමය. මිනිසුනට මෙම කතාව එතරම් කාලයක් මතකයේ තිබුණේ නැත. නමුත් 1969 වසරේදී මෙම රත්රන් අනුරුව නැවත සොයාගැනීමත් සමග රත්රන් දේශය සොයාගන්නට මිනිසුන් තුළ තිබූ කැමැත්ත යළිත් අවදිවන්නට විය.
දිවි පරදුවට තබමින් රත්රන් සොයා යන්නට මිනිසා පටන්ගත්තේ 1530 දී පමණ වන්නට ඇත. ඒ ස්පාඤ්ඤ ජාතික ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ පේරු හි ඉන්කා අධිරාජ්‍යයේ ධන නිධාන සොයමින් පැනමා ඇළ ඔස්සේ කළ චාරිකාවය. ඉන්කාවරුනගේ ධන නිධාන පිළිබඳ විශේෂඥයකු මෙන්ම ඉක්වදෝරයේ අගනගරය වන කිටෝ හි නිර්මාතෘවරයා ද වන සෙබස්තියන් ඩි බෙලාල්කසාර් 1535 දී රතු ඉන්දියානුවකු මුණගැසුණේය. සිරුර පුරා රත්රන් කුඩු තවරා කඳුකරයේ වූ පූජනීය විලකින් දිය ස්නානය කළ ගොත්‍රික නායකයකු පිළිබඳ පුවතක් ඔහු එහිදී පැවැසුයේය. මෙම පුවත ඇසීමෙන් පසු බෙලාල්කසාර් මේ ගෝත්‍රික නායකයාට ‘එල්ඩොරාඩෝ’ ලෙස නමක් තැබුවේය. ‘රත්රන් මිනිසා’ යන්න එහි අරුත විය. වීර වික්‍රමයන් ප්‍රිය කරන්නන් අතර ඉන් පසුව මෙම නම ඉතා ජනප්‍රිය වන්නට පටන්ගත්තේය. ඇතැම් පුද්ගලයන් මෙය ‘රත්රන් මිනිසා’ ලෙස අර්ථ දක්වන්නටත්, ඇතැම් පුද්ගලයන් ‘රත්රන් දේශය’ වශයෙන් අර්ථ දක්වන්නටත් පටන්ගත්තේය. කෙසේමුත් එල්ඩොරාඩෝ යනු බොහෝ පුද්ගලයන්ගේ සිහින දේශයක් බවට අවසානයේ පත් වූ අතර, සිදුවූයේ මෙම දේශය සොයායන්නට කළ උත්සාහයන් හිදී ඔවුන්ට සිය වාසනාව, කීර්තිය, ධනය පමණක් නොව ජීවිතය ද අහිමිව යාමය.
එල්ඩොරාඩෝ සොය ගිය මුල්ම පුද්ගලයා වූයේ ගොන්සාලෝ ජිමෙන්ස් ඩි ක්වෙසාඩාය. ඔහු සිය චාරිකාව වර්ෂ 1536 දී ආරම්භ කළ අතර ඊට කොලොම්බියාවේ උතුරු වෙරළේ පිහිටි සැන්ටා මාර්තාවෙන් 900ක පමණ පිරිසක් ද එකතු විය.
ක්වෙසාඩාගේ චාරිකාව ව්‍යසනයන්ගෙන් පිරීගිය එකක් විය. ඔහුට සහ ඔහුගේ පිරිසට විවිධ සතුන්ගේ ගැහැටවලට මුහුණ දෙන්නට සිදුවූ අතර විවිධ ලෙඩරෝග සමග සටන් කරන්නට සිදුවිය. චිබෙහාස් ප්‍රදේශයට ළඟාවන්නට පෙර ගෝත්‍රික ප්‍රහාරවලටද ලක්වූහ. චිබෙහාස්වලදී ඔවුනට රත්රන් මිනිසා පිළිබඳ තවත් තොරතුරු අසන්නට ලැබිණි. එම කතාන්දරවලට අනුව රතු ඉන්දියානු මගපෙන්වන්නකු ද සමග ක්වෙසාඩා, ‘ගුටාවිටා’ විල කරා ළඟා වූයේය. ඉතා ගැඹුරු වූ එම විල සෑදී තිබුණේ අක්‍රිය යමහලක ආවාටයේය. එය මුහුදු මට්ටමේ සිට අඩි 9000ක පමණ උසකින් පිහිටා තිබිණි. පැල්පත් කිහිපයක් එහි තිබූ මුත්, ක්වෙසාඩා හෝ ඔහුගේ පිරිසෙන් ඒ වන විට ඉතිරිව සිටි 200 දෙනාට හෝ රත්රන් මිනිසෙක්වත් රත්රන් දේශයක්වත් දැකගන්නට ලැබුණේ නැත.
වර්ෂ 1591 දී බෙරියෝ සිය තෙවැනි ගවේෂණ චාරිකාව දියත් කළ අතර මෙවර ඔහුගේ ගමන්මග වැටී තිබුණේ ඔරිනාකේ ගංගාවේ පහළ දෙසටය. ඔහු ට්‍රිනිඩෑඩ් දූපත් කරා යාත්‍රා කොට එල් ඩොරාඩෝව පිළිබඳ අනාගතයේ කෙරෙන ගවේෂණයන් සඳහා ප්‍රයෝජන ගැනීම සඳහා එහි කඳවුරක් පිහිටුවූයේය. ඔහුට එහිදී වෝල්ටර් රැලේ හමුවිය. වෝල්ටර්
සිටියේ පළමු එලිසබෙත් රැජින වෙනුවෙන් නව ධන නිධාන සොයමිනි. බෙරිගෝ තමා දන්නා සියලු දේ වෝල්ටර් සමග පැවැසූ අතර රැලේ මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් නමින් පුවත් පතක පළ කළේය. ඔහු එම ලිපියෙන් රත්රන් දේශය පිළිබඳ තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කළේය. එහි ‘පරීමා’ නම් විලක් පිළිබඳව ද සඳහන් විය. නමුත් එහි අඩංගු තොරතුරු සියල්ලක්ම සත්‍ය වූයේ නැත. එලිසබෙත් රැජින වර්ෂ 1603 දී මිය ගියාය. රාජද්‍රෝහීත්වය හා විශ්වාස කඩකිරීම නිසා වෝල්ටර් රැලේට මරණ දඬුවම නියම කෙරිණි. කෙසේ මුත් දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රැලේ දෙවැනි ගවේෂණ චාරිකාවද ආරම්භ කළේය. නමුත් එයද අසාර්ථක වූ අතර නැවත සිය රටට පැමිණි වහාම, වර්ෂ 1618 දී ඔහුගේ හිස ගසා දැමිණි.
ඔහු මරණ දඬුවම ලැබුණද රත්රන් දේශය සොයායෑමට අනෙක් මිනිසුන්ට ඇති කැමැත්ත නතර කර දමන්නට එය හේතුවක් වූයේ නැත. 18 වැනි සියවස අවසන් වනතුරුම පරීමා විල සොයන්නට බොහෝ දෙනෙක් නිරන්තර උත්සාහයක යෙදිණි. රැලේ සිය ලිපියේ සඳහන්කොට තිබූ පරිදි රත්රන් දේශයේ රාජකීය ‘මනෝවා’ නගරය පිහිටියේ මෙම විලෙහි ඉවුරෙහිය. නමුත් කිසිවකුට හෝ එවැනි විලක් සොයා ගන්නට නොහැකි විය. එල් ඩොරාඩෝ සොයමින් ගිය අවසන් පෘතුගීසි ජාතිකයා වූයේ ඩියෙස් ඩි ලා ෆුවෙන්ටේය. ඔහු සිය චාරිකාව ආරම්භ කළේ ගිනිකොණදිග වෙනිසුවෙලාවේ කැරෝනි ගංගා ප්‍රදේශයෙනි. ඔහු සිය චාරිකාව කොටස් තුනකට වෙන් කළේය. චාරිකාව මෙහෙය වූයේ ගොන්සාලෝ සුවාරෙස් රොන්ඩොන් විසිනි. ඔවුන් සිතුවේ තමා පරීමා විල අසලට පැමිණි බවය. නමුත් රතු ඉන්දියානුවන්ගේ ක්ෂණික පහරදීමක් නිසා ස්පාඤ්ඤ ජාතිකයන්ට ආපසු හැරෙන්නට සිදුවිය. අවසානයේ ඔවුනට මෙම ගවේෂණය අතහැර දමා ගයනාවෙන් පිටවන්නට සිදුවිය. මෙවැනි විවිධ සිදුවීම්වලින් පසුව බොහෝ දෙනෙක් එල් ඩොරාඩෝ යනුවෙන් භූමි ප්‍රදේශයක් තිබුණේ දැයි සිතන්නට පටන් ගත්තේය. නමුත් මිනිසුන්ගේ තණ්හාව හා මිථ්‍යා විශ්වාසයන් පහසුවෙන් මරා දමන්නට හැකියාවක් නැත. 19 වැනි සියවසෙහි ආරම්භයත් සමග එල් ඩොරාඩෝ සොයා යන්නට නව ගවේෂක කණ්ඩායම් බිහිවන්නට පටන් ගත්තේය. මේ අතුරින් හම්බෝල්ඩ් යනු එක් අයෙකි. බොන්ප්ලාන්ඩ් තවත් පුද්ගලයෙකි. ඔවුහු ඉතා පුළුල් ලෙස එල් ඩොරාඩෝ සොයන්නට පටන් ගත් අතර එල් ඩොරාඩෝ සොයා යාම නිරර්ථක ව්‍යායාමයක් බැව් දෙදෙනාම අවසානයේදී නිගමනය කළහ. පරීමා යනුවෙන් විලක් නොමැති බැව්ද ඔවුහු පැවැසූහ. කෙසේමුත් හම්බෝල්ඩ් සිය වාර්තාවේ එක තැනෙක යමහලක ආවාටයක් තුළ තැනුණු විලක් පිළිබඳව සඳහන්කොට තිබිණි. මේ නිසා “ගුවාටාවිටා” විල පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නට පටන් ගත්තේය. හම්බෝල්ඩ්ට් හට මෙහි ඇතැයි පැවසුණු නිධානයක් පිළිබඳව විශ්වාසයක් නොතිබුණද අනෙක් අයට එසේ නොවිය. මේ නිසා වර්ෂ 1920 දී ‘කන්ට්‍රැක්ටර්ස් ලිමිටඩ්’ නම් බ්‍රිතාන්‍ය සමාගම ඇමරිකන් ඩොලර් 150,000ක් වටිනා උපකරණ ද රැගෙන කොලොම්බියාව කරා පැමිණියේය. ඔවුනගේ අරමුණ වූයේ ගුවාටාවිටා විලෙහි ජලය සිඳ නිධානය සොයාගැනීමය. ඔවුනට විලෙහි ජලය හිස්කරන්නට හැකි විය. නමුත් ඔවුනට සොයාගන්නට හැකි වූයේ කිසිදු වටිනාකමක් ඇති දෙයක් නොවේ. පතුළ මඩවලින් වැසී තිබුණු අතර රත්රන් ස්වල්පයක් තිබිණි. ඔවුන්ට වැය වූ ධනස්කත්ධයෙන් අල්පයක් හෝ පියවන්නට එය ප්‍රමාණවත් වූයේ නැත.
නිරංජන් චාමින්ද කරුණාතිලක
No comments:
Post a Comment