Friday, March 21, 2014

වික්ටෝරියානු යුගයේ සිදු වූ අරුම පුදුම මරණ

මීයෙකු විසින් සිදු කළ ක්ෂණික මරණයක්

කාන්තාවන් මීයන් කෙරෙහි අසාමාන්‍ය බියක් දක්වන බව ප්‍රකට කරුණක් වන්නේ මෑතක සිට නොවේ.
එය කාන්තාව ලොව පහළ වූ දින දක්වා වූ ඈත අතීතයකට දිව යන්නකි. ක්‍රි.ව.1875 දී ලන්ඩනයේ වූ කම්හලක වැඩ මේසයක් මතට කොහේදෝ සිට පැමිණ නැග ගත් මීයෙකු නිසාවෙන් කම්හල් සේවිකාවන් අතර හටගත් දැවැන්ත කලබැගෑනියක් අවසන් වන ලද්දේ තරුණ (වීරෝදාර) පුද්ගලයෙකු මරණයට පත්වීමෙනි. එය මීයෙකු විසින් සිදු කළ මරණයක් වීමද විශේෂත්වයකි.

කලබගෑනිය සංසිඳුවීමේ අරමුණින් එය මැදට පැනගත් තරුණයාට මීයා සිය ග්‍රහණයට ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. එක් ජයග්‍රාහී මොහොතකදී ඔහු කාගේත් වීරයා බවට පත්විය. එහෙත් ඊළඟ නිමේෂයේදී සිදු වූයේ කිසිසේත් නොසිතුවකි. මිනිස් ග්‍රහණයෙන් මිදී ගත් මීයා තරුණයාගේ අතක් දිගේ දිව ගොස් කමීස කොලරය තුළින් මතුවිය. ඒ වනවිටත් සිදු වූ අනපේක්ෂිත සිද්ධියෙන් විස්මයට පත්ව සිටි තරුණයාගේ මුව විවරව තිබුණු අතර මීයාට ඒ තුළට ඇතුළු වීම පහසු කාර්යයක් විය. පුදුමයත්, නොසන්සුන්තාවත් හේතුවෙන් ඔහු මීයාව ගිල දැමූ අතර පසුදා පුවත්පතේ මුල් පිටුවේ පළව තිබුණේ මිනිසෙකුගේ සිරුර තුළට රිංගා ගත් මීයා විසින් ඔහුගේ ශරීර අභ්‍යන්තරය සපා දැමීම හේතුවෙන් විනාඩි කීපයක කාලය තුළදී ඔහු මියගිය බවයි.

තමාගේම නිර්මාණයකින් සිදු වූ මරණයක්

ක්‍රි.ව. 1880 වකවානුවේ මැද භාගයේ නිව්යෝර්ක් නුවර ජීවත් වූ ‘සෑම් වෝර්ඩෙල්ට’ දිනපතා අලුයමින් අවදිවීමට සිදුව තිබුණේ ඔහු නගරයේ වීදි පහන් දල්වන්නා ලෙස රැකියාව කළ අයෙකු වීම නිසයි. සෑම දිනකම සැඳෑ අඳුර වැටීමත් සමග දල්වනු ලැබූ පහන් මීළඟ දිනයේ අරුණ උදාවත් සමග නිවා දැමීම අකුරටම ඉටු කළ වෝර්ඩෙල් හට දිනපතා අලුයමින් අවදි වීම ෙදෙනික ජීවිතයේ අනිවාර්ය අංගයක් වී තිබිණ.

දිනපතා උදෑසන අවදි වීම සඳහා මුල් කාලයේදී ඝටිකා ඔරලෝසුවක් භාවිත කළද වියපත් වීමත් සමග මතු වූ කන් ඇසීමේ දුර්වලතාව හේතුවෙන් ඔරලෝසු නාදය ශ්‍රවණය කිරීම වෝර්ඩෙල්ට අපහසු කරුණක් වී තිබිණි.

මීට උපායක් ලෙස, ඔරලෝසුවේ උදෑසන පහ නාදවන කල දැවැන්ත ශබ්දයක් නිකුත් වනසේ ඊට විශාල ගලක් සම්බන්ධ කරනු ලැබූ ඇටවුමක් නිර්මාණය කළ වෝර්ඩෙල් ටික කාලයක් එය සාර්ථක ලෙස භාවිත කළේය. නමුත් දිනක් මධ්‍යම රාත්‍රිය පසුවනතුරු සිය මිතුරන් සමග නිවසේදී සාදයක් පැවැත් වූ වොර්ඩෙල් එය අවසානයේදී වෙරිමතින් යුතුව නින්දට වැටුණේ, තමා නිදන්නේ කවර ස්ථානයකද යන්න පිළිබඳව හෝ හරි හැටි නිනව්වක් නොමැතිවය. පසුදා අලුයම පහ නාද වූයේ සුපුරුදු පරිදි වෝර්ඩෙල්ගේ ගල් ඇටවුම ක්‍රියාත්මක කරවමිනි. නමුත් අවාසනාවක මහත එදින රාත්‍රියේදී වෝර්ඩෙල් නින්දට වැටී තිබුණේ හරියටම ඇටවුමේ ගල පතිත වන ස්ථානයට හිස තබාගෙනය. අධික වේගයකින් උස් පිහිටීමක සිට පතිත වූ පර්වතයෙන් ‍පොඩි වී ගිය හිස ඇත්තා වූ වෝර්ඩෙල් එතැනම මියගොස් තිබිණි.

මිනී පෙට්ටියක් සිදු කළ ඝාතනයක්

ලන්ඩනයේ කෙන්සල් ග්‍රීන් සුසාන භූමියේ දේහ කැටුව යන පිරිසේ් සාමාජිකයෙකු ලෙස සේවය කළ හෙන්රි ටේලර්ට මිය යාමට සිදු වූයේද අවසානයේදී මිනී පෙට්ටියකටම යට වීම නිසාය.
අවමංගල්‍යයක් අතරතුරදී දෙන රැගෙන ගමන් කරමින් සිටි ටේලර් හදිසියේම බිම ඇද වැටෙන ලද්දේ පය ගලක වැදීම නිසාය. සිදු වූයේ නොසිතුවකි. ටේලර් ඇද වැටීමත් සමග දෙන දරාගෙන සිටි සෙස්සන්ද කලබලයට පත් වීම හේතුවෙන් මිනී පෙට්ටිය ඔවුන්ගේ දෑත්වලින් ගිලිහී බිම වැටුණු අතර එලෙස එය වැටෙන ලද්දේ අසරණ හෙන්රිගේ හිස මතටය. මිනී පෙට්ටියේ බරින් මිරිකී ඔහු එතැනම මියගිය අතර සිදු වූ අකරතැබ්බයේ අභව්‍යභාවය හේතු කොටගෙන රැස්ව සිටි ශෝක පවත්වන්නන් අතර හටගත් විශ්මය මුසු වූ උපහාසය කෙතරම්දයත් අවමංගල්‍යය පැවැත්වුණු පුද්ගලයාගේ වැන්දඹුවට සිනහව නවත්වා ගැනීමට නොහැකි වූ බව කියැවේ.

තමන්ගේම කෙස් ආහාරයට ගෙන මිය යෑම

රෝගී වී දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තිස් හැවිරිදි කාන්තාවක් මරණ මංචකයේ පසු වුවද ඇගේ රෝගී තත්ත්වයට හේතුවක් දැක්වීමට වෛද්‍යවරුන් අ‍පොහොසත්ව තිබිණි. මේ නිසාවෙන් 1869 දී එංගලන්තයේ ලින්කන්ෂයර්හිදී මියගිය මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ දෙන ලෙසට වෛද්‍යවරුන් අවසර ඉල්ලා තිබිණි. ඉන් සොයා ගැනීමට ලැබුණේ පුදුම එලවනසුළු යමකි. මියගිය තැනැත්තියගේ ආමාශයේ තුළ වූ රාත්තල් දෙකක් බරැති තාරාවෙකුගේ පෙනුමින් යුතු කළු පැහැති ගුලිය මිනිස් කෙස්වලින් සෑදුනක් බව වටහා ගත් වෛද්‍යවරුන්ගේ පුදුමය අසීමාන්තික විය. පසුව මියගිය තැනැත්තියගේ පවු‍ලේ සාමාජිකයින් වෙතින් දැන ගැනීමට ලැබුණු පරිදි පසුගිය වසර දොළහක කාලය මුළුල්‍ලේම ඇය තමන්ගේම කෙස් ආහාරයට ගැනීමට පුරුදුව සිටි අයෙකි.

පිල්ලියක් යැයි වරදවා සිතා ඝාතනයට ලක්වීම

රුසියාවේ පිටිසරබද ගම්මානයක පැවැත්වුණු අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූවන්ට මුහුණදීමට සිදු වූයේ නොසිතූ විරූ බියජනක
සිදුවීමකටය. මිනී පෙට්ටියේ නිසොල්මන්ව වැතිරී සිටි මෘත සිරුර එක්වරම පණ ලබා මිනී පෙට්ටියෙන් ඉවතට බැස ආවේ රැස්ව සිටි සියල්ලන්ම අතිශය පුදුමයටත් භීතියටත් පත් කරවමිනි. රැස්ව සිටියවුන්, පූජකයාද ඇතුළුව සිය දෙපාවලට හැකි වීරිය ගෙන දේවස්ථානයෙන් ඉවතට දිව යන ලද්දේ මරණයෙන් නැගී සිටි පිල්ලියෙන් දිවි ගලවා ගැනීම පිණිසය. අනපේක්ෂිත සිදුවීමෙන් හටගත් පීඩනය පහව ගිය කල්හි දේවගැතිවරයාගේ තාර්කික බුද්ධියට වැටහී යන ලද්දේ මරණයෙන් නැගී සිටි තැනැත්තා, එතෙක් දිනක් සිහිසුන්ව (කෝමා) සිට හදිසියේ සිහිය ලැබුවෙක් බවයි. මේ බව අවබෝධ කොටගෙන එකී තැනැත්තා පත්විය හැකි ඉරණමෙන් ඔහු මුදාගැනීම සඳහා දේවගැතිවරයා පියවර ගන්නා කල පමා වූවා වැඩිය. මිනී පෙට්ටියෙන් නැගිට ආ පිල්ලිය යළිත් ස්ථීර වශයෙන්ම මළවුන් වෙතටම යැවීමට නූගත් ගැමියන් කඩිනම් වී තිබිණි.

බිමත් වලසෙකු විසින් සිදු කළ මරණයක්

ක්‍රි.ව. 1891 දී රුසියාවේ විල්තා නගරයේ විසූ පුද්ගලයෙකු සුරතල් සත්වයෙකු ලෙස වලසෙකු ඇති දැඩි කොට තිබේ. නමුත් ඊටත් වඩා පුදුමයක් වනුයේ දැවැන්ත එහෙත් මනා හීලෑ ගති
පැවැතුම්වලින් යුතු මෙම වලසා වොඩ්කා (රුසියාවේ මත්පැන් විශේෂයකි) පානයට ඇබ්බැහි වී සිටීමය. දිනක් ගමේ පිහිටි තැබෑරුමකට කඩා වැදුණු මෙම වලසා තානායම්කරුගේ දැඩි විරෝධය මැද මත්පැන් තොල ගා ඇති අතර ඉන් පියවි සිහිය පලාගිය වලසා අතින් තානායම්කරු වූ ‘අසිසාක් රාබනෝවිච්’ මරණයට පත්ව තිබේ. තානායම් හිමිකරු ඝාතනය කිරීමෙන් නොනැනවතුන මෙම බේබදු වලසා ඔහුගේ දියණිය හා පුතුන් දෙදෙනාද මරා දමා ඇති අතර පසුව ‍ලේ, හා මත්පැන් විලක වැතිරී නිදන වලසා ගම්මුන්ට හමුව තිබේ. වලසා විසින් මරා දැමූ පිරිසේ මළ සිරුරුද ඒ අසල තැන තැන වැටී තිබි ඇති අතර සිදුව ඇති දේ වටහා ගත් ගම්වැසියන් විසින් වලසා වෙඩි තබා මරා දමා තිබේ.

සිනාසී මරණය වැළඳ ගත්තෙක්

ක්‍රි.ව. 1893 දී ඇමරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්තයේ විසූ ගොවියෙකු වූ ‘වෙස්ලී පාර්සන්ස්’ මිය යන ලද්දේ සිනහව නවත්වාගත නොහැකිව හුස්ම සිරවීමෙනි. පුරා පැයක කාලයක් නොනවත්වා සිනාසුණු ඔහු ඉන් දෙපැයකට පසුව ඉන් හටගත් විඩාව හේතුවෙන්
මියගොස් තිබේ.

ඔට්ටුවකින් මරණය කැන්දා ගැනීම

ක්‍රි්‍ර.ව. 1878 දී ස්පාඤ්ඤයේ ‘නවාජේ’ ප්‍රදේශයේ විසූ ප්‍රංශ ජාතිකයින් දෙදෙනකු ඔට්ටුවක් තබන ලද්දේ තමන් දෙදෙනා අතුරින් වඩාත්ම ශක්තිවන්තයා තෝරා ගැනීම සඳහායි. ඔට්ටුවේ කොන්දේසි මෙබඳු විය. දිනක් මුළුමනින්ම නිරාහාරව ගත කිරීමෙන් පසුව එක් අයෙකු මධුවිත වීදුරු දාහත බැගින් පානය කර සැම්ප්ලෝනා නුවර සිට ඊට සැතපුම් හයක් ඔබ්බෙන් පිහිටි ගම්මානයකට ඇවිද යාම මෙම ඔට්ටුව විය. දැඩි උෂ්ණයෙන්

යුතු ග්‍රීස්ම සෘතුවේදී එබඳු ඔට්ටුවකින් ජය ගැනීම කිසිසේත්ම පහසු වූවක් නොවන බව දෙදෙනාම හොඳාකාරව දැන සිටින්නට ඇත. ‘මැන්චෙස්ටර් ඊවිනින් නිවුස්’ පුවත්පත විසින් ප්‍රකාශයට පත් කොට තිබූ පුවතට අනුව චාරිකාවේ මුල් භාගයේදීම දෙදෙනා අතරින් මැදිවියේ පසු වූ තැනැත්තා සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබුණු අතර තරුණයාද දිවි ගලවාගෙන තිබුණේ අනූනවයෙනි.



උපුටා ගැනීම:සමුදුර

No comments:

Post a Comment