Tuesday, April 29, 2014

බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්!


දැන් බල්ලන්ගේ ජීවිතයත් මිනිස් ජීවිතයට ආසන්නයි! බල්ලන්ට විශේෂ කෑම. බල්ලන්ට බාබර් සාප්පු. බල්ලන්ට හෝටල. දැන් බල්ලන්ට අලූතින්ම ලැබිලා තියෙන්නේ ටීවී. ඒක විශේෂයෙන් බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්! එහි රූප රාමුවලින් පෙනෙන්නේ බල්ලන්ට පේන වර්ණ විතරයි. ඇහෙන්නේ බල්ලන්ගේ කනට මිහිරි ශබ්ද තරංග ආයාමවලින් නිකුත් වෙන සංගීතය විතරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සැන් දියේගෝ ප‍්‍රාන්තයේ මුලින් ම ඇරඹෙන මේ බලූ ටීවී එක පස්සේ අනෙක් ප‍්‍රාන්තවලටත් පැතිර යාවි. බලූ සුරතලූන්ට ආදරේ ඇති අයට වාරික මුදලක් ගෙවා කේබල් ඔස්සේ මේ විශේෂ බලූ චැනලය ලබා ගත්තෑකි. පටන් ගැනීමේ දී මෙහි පැය අටක වැඩසටහන් මාලාවක් විකාශය කෙරෙනවා. ඔබ වැඩට ගිය පසු ඔබේ සුරතලාට පාළු නම් ඔබ එන තෙක් ටීවී බල බලා ඉන්න පුළුවන්.

 
ඔබේ සුරතල් සුනඛයා සතුටින් තබන ‘ඩෝග් ටීවි’ බලන ප‍්‍රංශ බුල්ඩෝග් බල්ලෙක්.

බලූ ටීවී එක නිසා කැමරාකරණයේත් ලොකු වෙනසක් කෙරෙනවා. මෙහි දී වැඩසටහන් රූප ගත කිරීමට කැමරාව තබන්නේ සාමාන්‍ය බල්ලන්ගේ ඇස් මට්ටමටයි. කැමරාශිල්පියාට රූප ගත කිරීම් කරන්න වෙන්නේ එක්කෝ දණගහගෙන නැත්නම් කුඩා පුටුවක වාඩි වෙලයි.

”මං බල්ලන් වෙනුවෙන් තැනූ චිත‍්‍රපටය කැමරා ගත කිරීමට තෝරා ගත්තේ පහත් කෝණයක්. ඒ බල්ලකුට පෙනෙන හැටියට ඒ ඇස් මට්ටමට නිපදවුවා ම තමා බල්ලාගේ සිත හොඳින් ම එයට ග‍්‍රහණය කර ගත් හැක්කේ.” ඩොග් ටීවී ආයතනයේ ප‍්‍රධාන විධායක ගිලාඞ් නිවුමන් කියනවා.

මේ ටීවී චැනලය සඳහා වැඩසටහන් නිපදවද්දී වර්ණත්, ශබ්දයත්, විශේෂයෙන් සංගීතයත්, බල්ලන්ගේ ඇසත් කනත් ඉලක්ක කර ගෙන වෙනස් කරන්න වුණා. මේ චැනලයේ වෙළඳ දැන්වීම් නැහැ. වර්ග කිරීම්, නැවත විකාශ නෑ.

”දැනටමත් සැන් දියේගෝවල මිලියනයක් දෙනා ඩෝග් ටීවී ලබා ගැනීමට ඇනවුම් කරලා. ඒ නිසා ඒ සමාගම මාස කීපයක් ඇතුළත අනික් ප‍්‍රාන්තවලටත් මෙය ලබා දෙන්න සූදානම්.” නිවුමන් කියනවා.

මේ සඳහා වැය වන්නේ මසකට වාරිකය ඩොලර් 4.99ක් පමණයි. ඇමරිකාවේ මිලියන හතළිස් ලක්ෂයක් දෙනා ගෙදරදොර බල්ලන් ඇති කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස සියයට 97කට ටෙලිවිෂන් යන්ත‍්‍ර තියෙනවා. ඒ නිසා බලූ ටීවී එකට ඒ ගැන විශාල බලාපොරොත්තුවක් තියා ගත්තෑකි.

මෙහි ඉන්නා අවුරුද්දක් වයසැති මේ ‘බ්ලූ’ නම් බලූ සුරතලා දැන් විශේෂ බලූ ටෙලිවිෂන් එක බලන්න පටන් අරන් මාසයක් විතර ඇති. ප‍්‍රංශ බුල්ඩෝග් වර්ගයේ සුනඛයකු වූ ඌ දැනටමත් ඊට ඇති විශේෂ කැමැත්ත උගේ අයිතිකාරිය වූ සැන් දියේගෝ හී මේරි කැටනියාට අඟවලා ඉවරයි.

”මට හැම තිස්සෙ ම මගේ බලූ පැටියා තනියමයි දාලා යන්නෙ වැඩට යන කොට. ඒ ගැන මට පොඩි දුකක් තිබුණා. දැන් ඒක නෑ, මේ චැනලය නිසා. දරුවන් නැති මට එයා මගේ දරුවෙක් වාගෙයි. මම මේ චැනලය ගැන සතුටු වෙනවා.” කැටානියා කියනවා.

අවුරුදු ගානක් තිස්සේ සුරතල් සතුන් තනිකරල දාල යන අය ඒ යන කොට ඒ සුරතලූන්ගේ තනියට ටෙලිවිෂන් එක හරි රේඩියෝ එක හරි දාල යන එක සිරිතක් කර ගෙන සිටි බවයි, මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ ආචාර්ය නික් ඩොඞ්මන්ගේ අදහස.

ඔහු කියන්නේ පර්යේෂණ අනුව පෙනී ගිය දෙයක් නම් මේ ටෙලිවිෂන තිරයෙන් බල්ලන්ට පෙනෙන්නේ ආලෝකය නිවෙන පත්තු වෙන නිකම් රූප රාමුවක් විතරයි කියන එකයි.

ඒත් ඩිජිටල් ටීවී, අධිරූපණ කැමරා ආදිය යොදා ගෙන, නව තාක්ෂණයට අනුව කරන වැඩසටහන් බල්ලන්ට රූප ග‍්‍රහණය කර ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තියෙන බවත්, ඔහු සඳහන් කරනවා.

ඒ අතර නිවුමන් කියන්නේ, ”අනෙක් අතට බලූ සුරතලූන්ට කාමරයේ ඕනෑම තැනක සිට නැරඹිය හැකි විශාල රූපවාහිනී තිරත් දැන් තියෙනවා.” කියලයි.


 
ටෙලිවිෂනය හරහා බල්ලන්ට දිනපතා අලූත් අත්දැකීම් ලබන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන බල්ලන්ට බලා තේරුම් ගත හැකි විදියට රූප රචනා කොට වැඩසටහන් තැනීමටත් ඔවුන් සූදානම්.

ඇත්තටම බල්ලන්ට ඔවුන් බලන දේ තේරෙනවද? ඩොඞ්මන් කියන්නේ ඒ ගැන තවමත් පර්යේෂණ සිදු කෙරෙන බවයි. ඒත් බල්ලන්ට අතින් බල්ලන් නම් ටීවී එකෙන් අඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් ම තමන්ගේ වරිගයා දැක්කහම ප‍්‍රතිචාර දක්වනවා.

ස්ථිරවම ශබ්ද නම් ඔවුන් හඳුනා ගන්නවා. බුරන ශබ්ද, සයිරන් නළා හඬ එහෙම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා බලූ ටීවී එකේදි ශබ්දය නම් පරිස්සමෙන් හසුරුවන්න වෙනවා.

 
බල්ලාගේ හොඳම මිතුරාට සිදු වුණා, දණ ගහගෙන රූප ගත කරන්න, බල්ලන්ට ඔවුන් දකින විදියට ම වැඩසටහන් පෙන්වන්න.

අධි සංඛ්‍යාතවල ශබ්ද බල්ලන්ගේ කන්වලට දරන්න බැහැ. ඒවා ඉවත් කරලයි තියෙන්නෙ. සංගීතය බල්ලන්ගේ කනට මිහිරි වෙන විදියටමයි සකස් කෙරෙන්නෙ. සාමාන්‍ය ටිවීවල මොර දෙන ශබ්ද, වෙඩි ශබ්ද, පිපිරීම් ශබ්ද, රොක්, ජෑස් වගේ සංගීතයන් මේ බලූ ටීවී එකේ නැහැ.

”බල්ලන්ට නිල් හා කහ පැහැයන් පෙනෙනවා. ඒත් රතු හෝ කොළ පැහැයන් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ බලූ ටීවී එකේ වර්ණත් සාමාන්‍ය ටීවී එකකට වඩා වෙනස්” නිවුමන් කියනවා.

බල්ලන්ව කම්මැලි නැතිව, ප‍්‍රබෝධවත්ව තැබීම තමයි, ‘ඩෝග් ටීවී’වල අරමුණ. මේක සාර්ථක වුණාට පස්සේ ‘කැට් ටීවී’ එකකුත් ගේන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.


 
බල්ලන්ගේ නිදා ගැනීමේ රටාවන් අධ්‍යයනය කර ඒවාට බාධාවක් නොවන අයුරින් උත්තේජනය වෙන, සන්සුන් වෙන, ආකාරයෙන් වැඩසටහන් සම්පාදනය කරල තියෙනවා.

 
බල්ලන්ට පෙනෙන වර්ණවලින් විතරයි, ඩෝග් ටීවී තිරය පිරිල තියෙන්නෙ.







 
taken from malkekulu

මල් පැණි බොන මීමැස්සෙක් වගේ මදුරුවෙක්!

බීස්ක්විටෝස් beesquitoes කියා හැඳින්වෙන කෘමීන් විශේෂයක් ගැන එංගලන්තෙන් වාර්තා වෙනවා. මේ අමුතු කෘමීන් විශේෂය පෙනුමෙන් මීමැස්සකුට හෝ බඹරකුට සමානයි. ඒ වගේ ම මදුරුවාට වගේ දිග ශුණ්ඩාවක් තියෙනවා. බැලූ බැල්මට ම එයින් දෂ්ට කරයි කියලයි හිතෙන්නෙ. ඒත් බය වෙන්න එපා!

 
මොකක්ද ගුමු ගුමුව! උයන්පල්ලන් බියපත් කළ අමුතු දුලබ සතා.


මේ මීමැස්සකු වගේ පෙනුනට මේ කෘමියාගේ පස්සා පැත්තේ දෂ්ට කරන්න උල් තුඩක් නෑ. මේ ඉදිරිපස ඇති ශුණ්ඩාව තියෙන්නෙ මල් පැණි උරා බොන්නයි. ඉතාම අහිංසක සතෙක්. මිනිසුන්ට දෂ්ට කරන්නෙ නෑ.

එහෙනම් ඇයි මේ විදියට පෙනුමක් අර ගෙන ඉන්නෙ? ඒ ආත්මාරක්ෂාවටයි. ඒ කියන්නේ තමන් ගොදුරු කර ගන්න එන සතුරන්ගෙන් බේරෙන්න. ඔවුන් මේ විදියට මේ කෘමියා දැක්කාම ඒ බඹරකු හරි මීමැස්සකු හරි කියලා අත් ඇරදාලා යනවා. කොහොමද පුංචි වුනත් මොළේ!

මේ සතා සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ බොම්බිලියස් මේජර් Bombylius major කියලයි.

සිය ගණනක් මේ සතුන් හමුවෙලා තියෙනවා, එක්සත් රාජධානියේ නැගෙනහිර ඇන්ග්ලියාවේ බටහිර මිඞ්ලන්ඞ්ස්වල ගෙවුයන්වලදි.

 
ඒ ගැන පළ වූ කාටූනයක්. මීමැස්සන් කියන්නේ, ”උන් එන්නෙ මිනිස්සුන්ට විදින්න නෙමෙයි, අපේ බඩට ගහන්නයි”

මේ කෘමි විශේෂය එක්සත් රාජධානියට ආවේණික වුනත් පසුගිය වසරවල උතුරු ඇමරිකාවේත් යුරෝපය පුරාමත් දක්නට ලැබුණා. වගුරු බිම් අසල පෙදෙස් හැර සෙසු පෙදෙස්වල රොන් උරා බොමින් යනු බොහෝ දෙනා දැකල තියෙනවා.

කෙසේ වෙතත් මෙවර උණුසුම් කාලගුණය එළඹෙත් ම මේ සතුන් ලන්ඩනයේ ගෙවුයන්වල ඉතා විශාල වශයෙන් දක්නට ලැබීම නිසයි, උයන්පල්ලන් බය වෙලා තියෙන්නෙ.

මේ බොම්බිලිස් මේජර් මැස්සකු අඟලක් තරම් දිගට වැඩෙනවා. මුහුණෙහි ඇති දිග ශුණ්ඩාව හරියට සමනලයන්ගේ වගෙයි. හයිසින්ත් හා පි‍්‍රම්රෝස් මල්වල පැණි උරා බොන්න පහසුවෙන්නයි, මේ විදියෙ එකක් තියෙන්නෙ.

මේ මැස්සා බිත්තර දමන්නෙත් ගුල් හාරා මී වද බඳින මීමැසි විශේෂවල කැදලිවලයි. ඒ බිත්තර පුපුරා කීටයන් ආ විට ඔවුන්ටත් ඒ කැදලි අයිති මීමැස්සන්ගෙන් ආහාරයට මල් පැණි ලැබෙන නිසයි. ඒ අතින් මේ සතා කපුටු කූඩුවල බිත්තර දමන කොහා වගේ පරපුටුවෙක්. සමහර විට මේ වෙස්වළා ගැනීම අනුන්ගේ කැදලිවල බිත්තර දමලා උන් ලවා සිය පැටවුන් ඇතිදැඩි කරවා ගන්න කරන උපක‍්‍රමයක් වෙන්නත් පුළුවන්.

ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ කීට විද්‍යාඥයකු වූ ස්ටුවර්ට් හයින් කියන්නේ, ”අපට දුරකතන ඇමතුම් රාශියක් ආවා, නපුරු පෙනුමක් ඇති, මීමැස්සෙක්, බඹරෙක්, වගේ අමුතු මදුරුවෙක් ගෙවතුවල දකින්නට ලැබෙනව කියල. මේ විදියෙ සතෙක් දැක්කාම ඕනෑ කෙනෙකුට බය හිතෙනව දෂ්ට කරයි කියලා. මීට කලින් මේ සතුන් වැඩිපුර හිටියෙ ගම්බදයි. මල් පිපෙන කාලේ හින්ද දැන් නගරවල ගෙවතුවලටත් ඇවිත්” බවයි.

43 හැවිරිදි ඈන් ඕගී තමන්ගෙ ගෙවත්තේ මල් පැළයක වහල ඉන්නවා දැකලයි, මේ පින්තූර අරන් තියෙන්නෙ. ඇය කියන්නේ, ”ඇත්තෙන්ම හරිම පුදුමයි, බැලූ බැල්මට හිතෙන්නේ මීමැස්සකුයි, පුංචි පැණි කුරුල්ලකු මිශ‍්‍ර වෙලා හැදුණු දෙමුහුන් සතෙක් කියල හිතෙනව” කියලයි.




අඩ සිය වසකට පෙර අමරණීය නමක් තනා ඒ නිසා ම අකල් මරණයක් වැළඳ ගත් සොඳුරු මිනිසා!



අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප‍්‍රශ්න සියල්ලට ම උත්තරය එක ම නමකි. ඒ ආනන්ද සමරකෝන් ය (Ananda Samarakoon). අප අතර අමරණීය නමක් තබා හරියට ම මීට අඩ සිය වසරකට ඉහත අපෙන් වියෝ වූ ඒ දේශමාමක රචකයා සිහිපත් කරනු පිණිසයි, මේ සටහන ලියන්නේ.

ඔහු මිය ගියේ 1962 අපේ‍්‍රල් 5 වැනිදායි.

අද අප ජාතික ගීය වශයෙන් භාවිත කරන ගීය ඔහු විසින් පබඳන ලද්දේ 1940 දීයි. ඒ ඔහු ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ගුරුවරයකුව සිටියදීයි. එය එහි ඉගෙන ගත් දරුවන් තුළ රට ගැන ජාතික හැඟීමක් ඇති කරනු පිණිස ලියූවක් මිස ජාතික ගීයක් උදෙසා ලියූවක් නොවෙයි.

1948 පෙබරවාරි 4 වැනිදා බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබන විට අපට ජාතික ගීයක් තිබුණේ නැත. ඒ නිසා ජාතික ගීයක් තැනීම අවශ්‍ය යැයි යෝජනා වුණා. ඒ සඳහා කොමිටියක් ද පත් කෙරුණා. අවසානයේ දී කොමිටියේ සාමාජිකයකුගේ ම ගීයක් තෝරා ගනු ලැබුවා. එය අසාධාරණයක් ලෙස දුටු එවකට සිටි මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා නැවත සොයා බැලීමක් කරන්නට තීරණය කළා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා’ ගීතය තෝරා ගැනුණා. ඇමති මණ්ඩලය එය ජාතික ගීය කළ යුතු බවට අනුමැතිය දුන්නේ 1951 නොවැම්බර් 22 වැනිදායි.

කවුද මේ ආනන්ද සමරකෝන් ? ඔහු උපන්නේ 1911 ජනවාරි 13 වැනිදා එගොඩහගේ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් ලෙසයි. සමරකෝන් කුඩා කල පටන් ම දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්‍යයකු වුණා. ගණිතය ඔහු අකමැති ම විෂයය වූ අතර දවසක් ගණිත පන්තියේ දී පොතේ වෙනත් යමක් ලියද්දී ගුරුවරයාගේ අතට ම අසු වුණා.

”මොකක්ද මේ?” ගුරුවරයා ඇසුවා.

”ගීයක්” ගෝලයා නොපැකිළ පිළිතුරු දුන්නා.

ගුරුවරයා ගැස්සුණා. ”හඃ! අනිත් ළමයින්ටත් ඇහෙන්න ගයනවා බලන්න.” ගුරුවරයා ඔහුට දඬුවමක් හැටියට නියම කළා.

ඔහු එවේලේ ම හිතෙන් තනුවක් යොදා මිහිරි ලෙස ගායනා කළා. පන්තියම ප‍්‍රමෝදයට පත් වුණා. ගුරුවරයාගේ කේන්තිය ද පහව ගියා. එයින් ගුරුවරයාද විමතියටත් සතුටටත් පත් වුවත් ඔහු ඒ බව පෙන්නුවේ නැත. සමරකෝන්ගේ හපන්කම ඔහු හිතෙන් අගය කර නිහඬ වුණා.

ජෝර්ජ් විල්ප‍්‍රඞ් උපන්නේ පාදුක්ක ප‍්‍රදේශයේ වටරැක අසල ලියන්වල නම් කුඩා ගම්මානයේ සැමුවෙල් සමරකෝන් හා දොමිංගා පීරිස් යන කි‍්‍රස්තියානි පවුලකටයි. කුඩා කල ඔහුගේ නම එගොඩහගේ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් නමින් බෞතීස්ම කෙරුණා.

ඔහු පාසල් ගියේ වෑවල ආණ්ඩුවේ පාඨශාලාවටයි. පසුව ඔහු කෝට්ටේ කි‍්‍රස්තියානි කොලීජියට ඇතුළත් කරනු ලැබුවා. ඔහුගේ මව ගුරුවරියක වූ අතර ඇය ඉගැන්වූයේ නාවල රජයේ පාසලේයි. ඔහු ඉගෙන ගත් පාසලත් මව ඉගැන් වූ පාසලත් පිහිටියේ දියවන්නා ඔය දෙපසයි. කි‍්‍රස්තියානි කොලීජියේ ඉගෙන ගනිද්දී ඔහු සිය මවගේ පාසලේ ළමයින් වෙනුවෙන් ගීතයක් රචනා කළා. ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ පාඨශාලාන්තර තරගයක් සඳහායි. තරගය පැවැත් වූයේ කෝට්ටේ කි‍්‍රස්තියානි කොලීජියේදීයි. එහිදී නාවල සිසුන්ගේ එම ගීතය පළමු තැනට පත් වූ බව ප‍්‍රකාශ කරද්දී සමරකෝන් ඉමහත් සතුටට පත් වුණා.

ඔහු 1929 දී පාසල් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගයෙන් උසස් සාමාර්ථයක් ලැබුවා. 1934 දී ඔහුට කි‍්‍රස්තියානි කොලීජියේ ම චිත‍්‍ර හා සංගීත ගුරුවරයා ලෙස පත් වීමක් ලැබුණා.


රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ඔහුගේ නාට්‍ය හා සංගීත කණ්ඩායමත් සමඟ මෙහි පැමිණියේ මේ කාලයේ දීයි. රාමායනය ඇසුරින් කළ මුද්‍රා නාට්‍ය කොටස් කීපයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබුණා. තාගෝර්තුමාගේ මේ සංචාරයෙන් අපේ සංස්කෘතියේ පෙරළියක් ඇති වුණා. ඒ අනුව ගායනයට හා නැටුමට කැමති තරුණ පිරිස් බෙංගාලයේ පිහිටි තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට යන්නට තීරණය කළ අතර ජෝර්ජ් විල්ප‍්‍රඞ් ද එයින් එක් තරුණයකු වුණා.

1936 දී සමරකෝන් ශාන්ති නිකේතනයට ගියේ චිත‍්‍ර කලාව ඉගෙන ගන්නටයි. ඔහු එහිදී නන්ද ලාල් බෝස්ගෙන් චිත‍්‍ර කලාවත්, අතිරේක ව ශාන්ති දේවී ගෝෂ්ගෙන් සංගීතය හා නැටුම් ද ඉගෙන ගත්තා. එහෙත් මුදල් අගහිඟකම නිසා ඔහුට ඒ පාඨමාලා සම්පූර්ණ කරගත හැකි වූයේ නෑ. 1937 දී ඔහු ආපසු ලංකාවට ආවා. එවර ඔහු ලංකාවට ආවේ ‘ජෝර්ජ් විල්ප‍්‍රඞ්’ නම අත හැර ආනන්ද සමරකෝන් යන නමිනුයි. 1940 දී ඔහු ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක් වුණා.

ආනන්ද සමරකෝන්ගේ ජීවිතයේ හොඳම කාලය එළඹුණේ මේ කාලයේයි. ඔහු ගායකයකු, සංගීතඥයකු හා ගීත රචකයකු වශයෙන් නමක් දිනා ගත්තේත් මේ කාලයේ දීයි. 1939 දී HMV තැටියකට මුල් ම ගීතය ගැයූ ඔහුගේ ගීවලට එදා ග‍්‍රැමෆෝන් යුගයේ ලොකු ඉල්ලූමක් ඇති වුණා.

එතෙක් පැවති බරපතල මිශ‍්‍ර සිංහල කඨෝර වදනින් ලියවුණු ගීත වෙනුවට සරල සිංහල වදන් යොදා පිටිසර ගැමි පරිසරය චිත‍්‍රණය කරන රචනාවලින් හා හින්දුස්ථාන හා කර්ණාටක තනු අනුකරණය කළ තාල වෙනුවට සරල ස්වරමාලාවන්ගෙන් යුත් ඔහුගේ ගීත සිංහල ගීතය නව මඟකට යොමු කළා. (ඔහුගෙන් සිංහල ගීත සාහිත්‍යයට වූ සේවය ගැන ඉදිරියේ දී වෙන ම කතා කරමු.)



ආනන්ද සමරකෝන් තමා අද අප රස විඳින ගීත සාහිත්‍යයේ පුරෝගාමියා වූණේ. එසේ ම ඔහු නව යුග ගී සාම්ප‍්‍රදායක් ද බිහි කළා. ඔහු සමග මුල් යුග ගී ගැයූ ලීලාවතී අකාලයේ මිය යාම නිසා ඔහු ඊළඟට සහාය ගායිකාව ලෙස යොදා ගත්තේ ස්වර්ණා ද සිල්වායි. ඇය පසුකලෙක ප‍්‍රසිද්ධ සංගීතඥයකු හා බටනලාවාදකයකු වූ ඩන්ස්ටන් ද සිල්වාගේ සොහොයුරියක්. සමරකෝන් මුලින් ම ‘නමෝ නමෝ මාතා’ ගීතය ගායනා කළේ ඇය සමගයි. ‘සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ’ හා ‘පොසොන් පොහෝ දින පුන් සඳ පායා’ ඇය සමඟ ඔහු ගැයූ තවත් ගීත දෙකක්.

සිය එකම පුතු පස් හැවිරිදි වියේ දී මිය ගියෙන් ඇති වූ ශෝකය දරා ගත නොහැකි වූ නිසා 1948 දී ඉන්දියාවට ගිය ඔහු හද සනසා ගන්නට චිත‍්‍ර ඇඳීමෙන් උත්සහ කළා. දකුණු ආසියාවේ රටවල චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වුවා.

ඔහු ආපසු ලංකාවට ආවේ 1951 දීයි. ගීත රචනයෙන් හා ගායනයෙන් ජීවත් වූ ඔහුට ගුවන් විදුලියේ පාසල් සේවයෙන් වැඩසටහනක් පැවරුණා. ඒ කාලයේ චිත‍්‍රපට ගීත ලියන්නටත් ගයන්නටත් අවස්ථාව ලැබුණා. 1955 තිරයට ආ ‘සැඩසුළං’ චිත‍්‍රපටයේ ලතා මංගේෂ්කාර් ගයන ‘ශී‍්‍ර ලංකා මා පි‍්‍රයාදර ජය භූමී’ ගීතයේ රචනය හා තනුව ආනන්ද සමරකෝන්ගේයි. ඒ ගීයේ වදන් ලතාට පුහුණු කළේ ඔහුයි.

ඔහු 1957 දී ‘අමරණීය ලංකා’ නමින් ගීත හා නැටුම් ඇතුළත් ප‍්‍රසංගයක් ද නිර්මාණය කළා. මේ කාලයේ දී ඔහුගේ ආර්ථිකය නරක අතට හැරුණේය. ඔහුට ජීවත් වීමට ආධාරයක් හැටියට එකල ‘ජනතා’ පත‍්‍රයේ කාටූන් චිත‍්‍ර තීරුවක් දිනපතා අඳින්නට එහි ප‍්‍රධාන කර්තෘ පදවිය හෙබ වූ ඩෙන්සිල් පීරිස් ලබා දුන්නා. ඔහු ජීවිතයේ අවසාන වසර කීපය ගත කළේ කාටූන් ශිල්පියකු වශයෙනුයි.

එදා අපේ රටේ ජාතික ගීය ලෙස තෝරා ගැනුනේ ඔහු ගාල්ලේ මහින්ද විදුහලේ දරුවන්ට පුහුණු කරන්නට ලියූ ගීයක්. ඒ ගීය තෝරා ගැනීම වෙනුවෙන් ඔහුට රජයෙන් ලැබුණු ප‍්‍රදානය ගැන ද මේ අවස්ථාවේ සඳහන් නොකර බැහැ. එය ඔහු විසින් මුද්‍රණය කරන්නට දී තිබූ පොතකට මේ ගීය ඇතුළත් කිරීම නිසා එහි මුද්‍රණකරු හා ප‍්‍රකාශක ඔහු සමඟ නඩු කියා උසාවිය මගින් ඒ මුදලෙන් අඩක් උදුරා ගත්තා. මෙයට අමතරව ඔහුගේ ගීයේ ආරම්භක වදන් දෝෂ සහිත ගණවලින් යුක්ත බැවින් රටට අගුණ යයි ගෙනා තර්කයක් නිසා ඔහුට හොරෙන් එවකට පැවති රජය විසින් එය ‘ශී‍්‍ර ලංකා මාතා’ යනුවෙන් වෙනස් කරනු ලැබීය. මෙය ඔහුගේ බලවත් සිත් තැවුලට හේතු විය. (සමරකෝන් හා අපේ ජාතික ගීය ගැන වෙන ම සටහනක් ඉදිරියේ දී ලියැවෙනවා.)

අපේ ජාතික ගීය ආනන්ද සමරකෝන් නම අමරණීය කරන්නට සමත් වුණත් ඔහුගේ අකල් මරණය වළක්වන්නට එය සමත් වුණේ නෑ. ඒ නිසා ලද සිත් තැවුලෙන් සිටි ඔහු 1962 අපේ‍්‍රල් 5 වැනිදා නිදි පෙති පමණ ඉක්මවා ගැනීමන් මරණයට පත් වුණා.

එදා සිට අද වනතෙක් පණ්ඩිතයන් ජාතික ගීයේ විවිධ දොස් දැක්කත් අපට සුදුසු වෙනත් ආදේශකයක් සොයා ගැනීමට ඒ කිසිවකුත් සමත් වුණේ නෑ. ඒ නිසා නිදහස් ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ලෙස ඔහුගේ නම තවමත් අමරණීයව පවතිනවා.


- පර්සි ජයමාන්න

source malkekulu website 

තහනම් නගරයට ඇතුළු වූ බි‍්‍රතාන්‍ය ජාතික දේශ ගවේෂක


කතාන්දර අහන්න අපි කවුරුත් ආසයි. ඒ කතාන්දර ඇත්තක් නම්? ඇත්තටම සිදුවූ වීර වික‍්‍රමයක් නම් ඒවායේ අගය තවත් වැඩි වෙනවා. අතීතයට එක්වූ අපූරු වික‍්‍රමයන් රැසක් තියෙනවා. ඒ වික‍්‍රම හරිම විස්මිතයි, ත‍්‍රාසජනකයි. එවැනි කතාන්තර විටින් විට අපි ඉදිරිපත් කිරීමට සූදානම්.

මේ වීර වික‍්‍රමයට පාදක වෙන්නේ බි‍්‍රතාන්‍ය ජාතික සෙබළෙකු හා දේශ ගවේෂකයෙකු වූ ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් බි‍්‍රතාන්‍ය රජය කළ ඉල්ලීමකට අනුව ටිබෙට්වරුන්ගේ හා ලාමාවරුන්ගේ විරෝධතාවන් හා බාධක හමුවේ නොසැලී ටිබෙට් දේශයේ ‘තහනම් නගරයට’ ඇතුළු වූ අයුරුයි. විදේශිකයින් ‘තහනම් නගරය’ ලෙස එදා හැඳින්වූවේ අද ටිබෙට් අගනුවර වන ලාසා නුවරටයි.

ලූතිනන් කර්නල් ෆ‍්‍රැන්සින් යංහස්බන්ඞ්
ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් සුප‍්‍රකට බි‍්‍රතාන්‍ය ජාතික හමුදා ලූතිනන් කර්නල්වරයෙක් හා දේශ ගවේෂකයෙකු හා දේශ ගවේෂකයෙකු ලෙස ඔහු ලැබූ ප‍්‍රසිද්ධිය නිසා ටිබෙට් දේශය ගවේෂණය කිරීමේ කණ්ඩායමේ නායකත්වය පැවරුණේ ඔහුටයි. ඉන්දියාවේ සිට ගෝබි කාන්තාරය තරණය කරමින් ටිබෙටයට මුලින්ම ආ සුදු ජාතිකයා වන්නේ මොහුයි. මෙම ගමනේදී ඔහු හිමාලයට ගියේ බිහිසුණු මුස්ටාග් දුර්ගය පසු කරමිනුයි. හිමෙන් වැසුණු සුදෝ සුදු හිමාල අඩවියට පය තැබූ පළමු සුදු ජාතිකයා වන්නේ ද ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ්ය.

දලයි ලාමා සමඟ මිත‍්‍රත්වයක් ?
1902 දී රුසියානුවන්ට ටිබෙට් දේශයේ කටයුතු ගැන උනන්දුවක් ඇතිවුණා. ඒ උනන්දුව යහපත් අරමුණින් ඇතිවූ එකක් නොවන බව තේරුම් ගත් බි‍්‍රතාන්‍ය රජයට  ඕනෑ වුණා ටිබෙට් දේශයේ පාලකවරයා සහ ආධ්‍යාත්මික නායක දලයි ලාමා සමඟ මිත‍්‍රත්ව ගිවිසුමක් ඇති කර ගන්නට රුසියානුවන්ට කලින්. මේ හේතුව නිසයි මධ්‍යම ආසියාවේ ‘තහනම් සානුව’ යනුවෙන් නම් කළ ප‍්‍රදේශය ගවේෂණය කිරීමට සූදානම් කෙරුණේ. එවකට තහනම් සානුව ලෙස නම් කෙරුණේ ටිබෙට් දේශයයි.

ජලපාලා දුර්ගය තරණය කිරීම
ෆ‍්‍රැන්සිස් සහ ඔහුගේ ගවේෂණ කණ්ඩායම ඔවුන්ගේ වීර චාරිකාව ඇරඹුවේ ඉන්දියාවෙන්. ඔවුන්ට හමුවූ මුල්ම බාධකය වුණේ  ‘ජලපාලා දුර්ගය’ පසු කිරීමයි. මෙම දුර්ගය හරහා හමා ගිය ප‍්‍රචණ්ඩ හා සීතල සුළංවලට ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ්ගේ කණ්ඩායමේ සෙබළුන් කිහිප දෙනෙක් ගසාගෙන ගියා. සමහරු සීතලේම මියැදුණා. මීට පෙර මෙම දුර්ගය තරණය කරමින් ටිබෙට් දේශය බලා ගමන් කර තිබුණේ ටිබෙට් ලාමාවරු පමණයි. ලාමාවරුන් යංහස්බන්ඞ් සහ ඔහුගේ සෙබළ කණ්ඩායමට අනතුරු අඟවමින් කියා සිටියේ කඳුකරයේ රාක්ෂයින් ඔවුන්ව ගොදුරු කර ගනීවි කියලයි. ඊට හේතු වුණේ විදේශිකයින්ගේ පැමිණීමට එම පළාත්වල ස්වදේශීකයින් තදබල ලෙස විරෝධය පෑමයි. ස්වදේශිකයින් ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් සහ ඔහුගේ ගවේෂණ කණ්ඩායම හැඳින්වූයේ ‘පරදේශක්කාර යක්ෂයින්’ කියලයි.


‘සාගින්නේ යක්ෂයා’
ඒත් රාක්ෂයින්ට වඩා බරපතල උවදුරකට මුහුණදීමට ගවේෂකයන්ට සිදුවුණා. ඒක තමයි ආහාර හිඟය. ස්වදේශිකයින්ගේ ආහාර නොලැබීම නිසා ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් අණ කළා ඔවුන් සතුව තිබූ කෑම බීම අරපරිස්සමෙන් පාවිච්චි කරන්න. එහෙත් පියවරෙන් පියවර ඉදිරියට යද්දී කෑමබීම කෙමෙන් කෙමෙන් අඩු වීමට පටන් ගැනුණා. සෙබළුන්ට හිම මත සාගින්නේ මැරී වැටෙන්න සිදුවුණා. සැතැපුම් 7ක් ඇතුළත අඩි 7000ක් උසට විහිදුණු කඳු සහිත දුර්ග මාර්ගයකත් ඔවුන්ට යන්න සිදු වුණා.

ධාන්‍ය ගබඩා කොල්ලය
කලින් කළ සංචාරවලදී යංහස්බන්ඞ් දැන සිටියා, ලාමාවරුන්ගේ ආශ‍්‍රමවල ධාන්‍ය ගබඩා ඇති බව. ඔහු කල්පනා කළා තමාගේත් තම සෙබළුන්ගේත් පණ බේරා ගැනීමට නම් ලාමාවරුන්ගේ ආශ‍්‍රමයක් ආක‍්‍රමණය කළ යුතු බව. ඔහු අණ දුන්නා කඳුකරයේ හුදෙකලාව පිහිටි එක් ආශ‍්‍රමයකට පහර දෙන්න. සාගින්නේ සිටි ඔහුගේ සෙබළු බයිනෙත්තු තුවක්කුත් රැගෙන ආශ‍්‍රමය කොල්ල කන්න වුණා. අවි දරා සිටියත් ඔවුන්ට එකදු වෙඩි උණ්ඩයක්වත් පිට කිරීමට සිදුවුණේ නැහැ. ආශ‍්‍රමයේ සිටි ලාමාවරුන් බයේ පැන දුවන්න වුණා. ගවේෂණයේ අවසානය දක්වාම ප‍්‍රමාණවත් තරමේ ධාන්‍ය එක්රැස් කර ගන්න ගවේෂණ කණ්ඩායමට හැකිවුණා.

‘ගුරු’ දුර්ගය තරණය කිරීම
ගවේෂණයේ මීළඟ අසීරු කාර්යය වුණේ ‘ගුරු’ නමින් හැඳින්වෙන දුර්ගය පසු කිරීමයි. දුර්ගය තරණය කරමින් ඉදිරියට ගිය සෙබළුන්ට පෙනුණා, ටිබෙට් වැසියන් ඔවුන්ගේ ගමන අවහිර වෙන අයුරින් විශාල ගල් පවුරක් ඉදිකර ඇති අයුරු. ගවේෂකයින් කණ්ඩායමට ඒ පවුර ටිබෙට් සෙබළුන් ඉන්දියානු හා බි‍්‍රතාන්‍ය හමුදාවලින් සමන්විත වූ ගවේෂණ කණ්ඩායමට පහර දීමට සූදා නමින් බලා ගෙන හිටියා. ප‍්‍රහාරය සඳහා ඔවුන් සූදානමින් සිටියේ වරක් වෙඩි තැබූ පසු යළි උණ්ඩ දැමිය යුතු පැරණි තාලේ තුවක්කුවලිනුයි. ලාසා තහනම් නගරයෙන් ඔවුන්ට ලැබී තිබුණු නියෝගය වූයේ දිවිපුදා හෝ සටන් කර විදේශීය හමුදාවට නගරයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙසටයි.

ටිබෙට්වරු පහරදෙති
යංහස්බන්ඞ් හා පිරිස සතුරු බාධක මැඬලමින් ගල් පවුර ළඟට කෙමෙන් කෙමෙන් කිට්ටු වන්න වුණා. අසු පිටට නැඟ තම සෙබළුන් මෙහෙයවූ යංහස්බන්ඞ් සිතුවේ තමන්ගේ භට පිරිස සංඛ්‍යාවෙන් අඩු වුනත් අවි බලය පෙන්නා විනයක් හා නිසි නායකත්වයක් නැති ටිබෙට් හමුදාව සාමකාමීව යටත් කර ගැනීමටයි. එහෙත් ගල් පවුරට කිට්ටු වෙත්ම ටිබෙට් වැසියන් එල්ල කළ වෙඩි පහරින් එක් ඉන්දියානු සෙබළෙකු තුවාල ලැබුවා. ඒ සමඟම මුළු කඳුකරයට දෝංකාර නංවමින් අනෙක් ටිබෙට් ජාතිකයිනුත් වෙඩි තබන්න පටන් ගත්තා. ඔවුන් වෙඩි තැබුවේ එකවරයි. ඉන්පසු තුවක්කුවලට නැවත උණ්ඩ දමන්නවත් පමා නොවී කඩු අතින් ගෙන මරාගෙන මැරෙන්න යනවාක් මෙන් සතුරු හමුදාව වෙත කඩා පැන්නා.


ටිබෙට්වරු පලා යති
අවාසනාවකට වාගේ ටිබෙට්වරුන් යංහස්බන්ඞ්ගේ හමුදාව අත තිබූ ස්වයංක‍්‍රීය ගිනි අවි ඊට පෙර දැක තිබුණේ නැහැ. ඔවුන් සිතුවේ යංහස්බන්ඞ්ගේ හමුදාව සතුව තිබූ තුවක්කුත් ඔවුන්ගේ ඒවා මෙන් නැවත වෙඩි තැබීම සඳහා නැවත පිරවිය යුතු ඒවා කියලයි. ඒ නිසයි, ඔවුන්ගේ තුවක්කු නැවත පිරවීමට නොනැවතී ඒ විදේශීය භට හමුදාව වෙත කඩු අතැති ටිබෙට් වැසියන් කඩා පැන්නේ. ඒත් යංහස්බන්ඞ්ගේ හමුදාව සතුව තිබුණේ ස්වයංකී‍්‍රය රයිපල විශේෂයක්. ඒ නිසා යංහස්බන්ඞ් අණ දුන් විගස ඔහුගේ ඉන්දියානු හා බි‍්‍රතාන්‍ය සෙබළුන් වහාම ටිබෙට්වරුන්ට වෙඩි තියන්න වුණා. වෙඩි උණ්ඩ වරුසාවක් ටිබෙට්වරුන් වෙත එල්ල වුණා. එයින් ටිබෙට්වරුන් මවිතයටත් බියටත් පත් වුණු ආපහු හැරී පලා ගියා.


ගවේෂණය යළි ඇරඹෙයි
තුවාල වූ ටිබෙට් ජාතිකයින්ට ප‍්‍රතිකාර කරන ලෙස යංහස්බන්ඞ් ඔහුගේ හමුදා වෛද්‍යවරුන්ට උපදෙස් දුන්නා. ඉන්පසු යළිත් වතාවක් ‘ලෝකයේ පියස්ස’ යනුවෙන් එවකට හැඳින්වූ උස් කඳුකරය තරණය කරමින් ඔහුගේ ගවේෂණය ආරම්භ කළා. ගුරු දුර්ගය පසු කළ පසු ඔවුන්ගේ ගමනට ඊළඟට හරස් වූයේ ‘ජින්සේ’ නම් යෝධ ප‍්‍රාකාරයයි.

ටිබෙට් ජාතිකයින්ට මැදිවෙමින් ...
ජින්සේ ප‍්‍රාකාරය අබියසදී ගමන තාවකාලිකව නතර කරන්නට යංහස්බන්ඞ් සහ පිරිසට සිදු වුණා. ඒ වන විට ටිබෙට්වරුන් ඔවුන්ව වට කර ගෙන සිටියා. මාසයක පමණ කාලයක් මෙසේ කඳවුරු බැඳගෙන සිටින්න ගවේෂණ කණ්ඩායමට සිදුවුණා. යංහස්බන්ඞ්ට ඉන්දියාවෙන් එද්දී බි‍්‍රතාන්‍ය හමුදාවේ උසස් නිලධාරීන් අණ කර තිබුණේ ජින්සේ පවුරෙන් ඔබ්බට නොයන ලෙසයි. ඒකට හේතුව තවත් ඉදිරියට ගමන් කළොත් යුරෝපීයයන් තවදුරටත් ටිබෙට් වැසියන්ගේ අප‍්‍රසාදයට ලක් වේවි යන බිය නිසයි. තවදුරටත් ඉදිරියට නොගොස් මෙහි සිට කෙසේ හෝ දලයි ලාමා තුමන් සමඟ මිත‍්‍රත්ව ගිවිසුමක් ඇති කර ගැනීමයි යංහස්බන්ඞ්ට උපදෙස් දුන් බලධාරීන්ගේ බලාපොරොත්තුව වුණේ.

‘ජින්සේ පවුරට’ පහරදීම
ඒත් ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ්ට නම් ඒ සඳහා තවත් බලා සිටිය නොහැකි වුණා. ඔහු දැන් ටිබෙට් දේශයේ තහනම් නගරයට ඉතාමත් ආසන්නයටම ඇවිත්. ඔහු තීරණය කළා, බි‍්‍රතාන්‍ය රජයේ සහ හමුදාවේ උසස් නිලධාරීන්ගේ අණ නොතකා ටිබෙට් සෙබළුන්ගේ පහරදීම් මැඬලමින් ජින්සේ පවුර තරණය කර ලාසා නුවරට යන්නට. ඔහු ඔහුගේ සෙබළුන්ට අණ දුන්නා, පවුරට පහර දෙන්න. ඉන් පසු ඔහුත් ඔහුගේ සෙබළුනුත් ලාසා නුවර දෙසට පිය නගන්න වුණා.


‘තහනම් නගරය’ හෙවත් ලාසා
1903 වසරේ අගෝස්තු 4 වැනිදා ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් මහත් ආඩම්බරයෙන් ඔහුගේ පිරිසත් සමඟ රන් අලේපිත පියැසි සහිත මාළිගාවලින් හා පටු මං තීරුවලින් සමන්විත වූ ලාසා අගනුවර පටු වීථි දිගේ ඉදිරියට ගමන් කරන්න වුණා. ටිබෙට් අගනුවරට එහෙම නැතිනම් තහනම් නගරයට මුලින්ම පැමිණි යුරෝපීය ජාතිකයා වීමේ ගෞරවය ඔහු හිමිකර ගත්තා.

ලාමාවරු සමඟ මිත‍්‍රත්ව ගිවිසුම
‘පිටදේශක්කාර යක්ෂයින්ගේ’ පැමිණීමත් සමඟම ආරක්ෂාව සඳහා දලයි ලාමා තුමා පලා ගියා. ඒත් අනෙක් ප‍්‍රධාන ලාමාවරුන් ඇතුළු මණ්ඩලයක් සමඟ සුහදව සාකච්ඡා කිරීමට යංහස්බන්ඞ් සමත් වුණා. අන්තිමේ දී ටිබෙට් දේශයට පිවිසෙන වෙළඳ මාර්ග බි‍්‍රතාන්‍යයන් වෙනුවෙන් විවෘත කරන්නට ඔවුන් එකඟ වුණා. පලා ගිය දලයි ලාමා තුමාගේ මුද්‍රාව යොදා ගෙන එංගලන්තය සහ ලාමාවරුන් අතරේ මිත‍්‍රත්ව ගිවිසුමක් ද අත්සන් කරනු ලැබුවා.


ඉන්දියාව බලා ආපසු ගමන
ටිබෙට් දේශයේ මාස 15 ක කාලයක් ගත කිරීමෙන් පස්සේ යංහස්බන්ඞ් සහ ඔහුගේ සෙබළුන් යළි ඉන්දියාව බලා පැමිණීමේ දුෂ්කර ගමන ඇරඹුවා. ආපහු ඉන්දියාවට ආ විගස ඔහුට  බලධරයන්ගේ චෝදනාවලට ලක් වීමට සිදු වුණා. ඒ උසස් නිලධාරීන්ගේ නියෝග නොතකා ලාසා නුවර තුළට ගමන් කිරීමේ වරදටයි. ඒත් මිත‍්‍රත්ව ගිවිසුම අත්සන් කිරීම ගැන නම් ඔවුන් හුඟක් සතුටු වුණා. ඒ නිසා ඔහුට දඬුවම් කිරීමක් සිදු වුණේ නැහැ.

වීරයාට නයිට් පදවියක්
ටිබෙට්වරුන්ගේ ඇසින් කෙසේ වුවත් ලෝකයාගේ ඇසින් බලනවා නම් ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් කියන්නේ වීරයෙක්. ලෝකයේ පියැස්ස ලෙස සලකනු ලැබූ එතෙක් යුරෝපීයයකු නොගිය දුෂ්කර ගමනක් ගිය ධෛර්යසම්පන්න පුද්ගලයෙක්. ඒ නිසා එංගලන්තයේ 7 වන එඞ්වර්ඞ් රජු ඔහුගේ ධෛර්ය සම්පන්න භාවය හා වීරත්වය ඇගයීමකට ලක් කරමින් නයිට් පදවියක් ද පිරිනැමුවා. 


taken from malkekulu web

Monday, April 28, 2014

අවුරුදු 4ක පුංචි හපනෙක් ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට!

මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.



ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට (Mensa) අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.


46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.


පොත් 3කින් සමන්විත වූ ඔක්ස්ෆර්ඩ් රීඩින් පොත් කට්ටලය වයස අවුරුදු 2 දී ඇය පැයක් තුල දී කියවා නිම කල බවත් සාමන්‍යයෙන් එය කියවිය හැක්කේ වයස අවුරුදු 7 ක් පමණ වන දරුවන්ට බවත් යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



උපුටා ගැනීම : Gossip9

අපරාධ තොරතුරු විශ්ලේෂණය කරන ති‍්‍රමාන රූප ගත හැකි කැමරාවක්!



ස්වීඩනයේ තාක්ෂණික විශේෂඥ සමාගමක් නිපදවා තියෙනවා, ලයිකා ජියෝසිස්ටම්ස් ස්කෑන් ස්ටේශන් සී 10 කියල උපකරණයක්, පහසුවෙන් 3D තාක්ෂණය යොදා ගෙන කි‍්‍රයා කළ හැකි. මේ ස්කෑනරය යොදා ගෙන ඕනෑම දර්ශනයක අංග සම්පූර්ණ ති‍්‍රමාන රූපයක් හිතන්න බැරි තරම් වේගයකින්, ඉතා නිවැරදිව විස්තර සහිත කැමරාවට නඟන්න පුළුවන්.

එසේ ගන්නා ති‍්‍රමාන රූපයක්, අපරාධ විද්‍යා කටයුත්තකට අවශ්‍ය නම් ඒ අවට තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා රහස් පරීක්ෂකයන්ට හෝ නීතිවේදීන්ට හෝ විනිසුරුවන්ට හෝ ඕනෑම ආකාරයකින් විග‍්‍රහ කිරීම සඳහා යොදා හැකියි. අපරාධයක් සිදු වූ තැනක නම් නඩුවක සාක්කි ඉතා නිවැරදිව මේ දර්ශනය අනුව පැහැදිලිව තේරුම් ගත හැකියි. මෘදුකාංගයක් මගින් රූපය තුළ මිනුම් ආදියත් සැණෙකින් ලබා ගත හැකියි. නඩුවක දී ජූරියටත් මේ දර්ශනය සිදු වූ තැනට නොගිහින් ඒ අවස්ථාව ගැන පහසුවෙන් අවබෝද කර ගත හැකියි.


මේ අවුරුද්දේ එංගලන්තයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල වෙනුවෙන් දැනටමත් මෙම ස්කෑනර බි‍්‍රතාන්‍ය පොලිස් දෙපාර්තමේන්තුව මිල දී ගෙන තියෙනවා. ඒ හදිසි අනතුරක දී මේ ස්කෑනරය මගින් ඒ දර්ශනය එසැණ කැමරාවට නඟා මිනිත්තු කීපයකින් අනතුර වූ තැන ඇති බාධක ඉවත් කොට ගමනාගමනයට ඉඩ සැලසිය හැකියි. ඒ ති‍්‍රමාන රූපය පසුව නීතිමය කටයුතුවලට භාවිත කළ හැකිය.

ඕනෑම මිනුම් කටයුත්තකටත් මේ උපකරණ භාවිත කරන්න පුළුවන්.ඒ කි‍්‍රයා කරන හැටි වීඩියෝවෙන් 

බලන්න.



ලෝකයේ දුර්ලභ ම තාරා විශේෂය මැඩගස්කරයේ විලකින්!



ලෝකයේ ඉතා දුර්ලභ තාරාවන් විශේෂයක් බෝ කරන්න කුරුලූ විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. මේ තාරා වර්ගය කලකට පෙර වඳ වී ගියේ යැයි සිතූ කුරුලූ විශේෂයක්. මැඩගස්කරයේ උතුරු ප‍්‍රදේශයේ විලක සිට හමු වූ දුඹුරු පැහැති මේ කුරුලූ විශේෂයෙන් 22 දෙදනෙකු විතරයි, මේ වන තෙක් ඒ වනගත විලෙහි සිටියේ.


දැන් ඒ වෙනුවට අලූත් පැටව් 18ක් බිත්තර රක්කවා සුරක්ෂිතව බිහි කරන්න විද්‍යාඥයන් සමත් වී තියෙනවා. දැන් මුළු පොචාඞ් (Pochard) තාරාවන්ගේ ගහණය 40ක් වෙලා තියෙනවා.

ලෝකයේ අති දුලබ තාරා විශේෂයක් වන මැඩගස්කර පෝචාඞ් පැටවුන්.

කුරුලූ සංරක්ෂකයන් කියන්නේ පරිසර දූෂණය හා පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි නිසා මේ කුරුලූ පැටවුන් ආරක්ෂා කර ගැනීම විශාල අභියෝගයක් වන බවයි.

වසර දෙකකට පෙර හදිසි ගවේෂණයක දී වනාන්තරයෙන් සොයා ගන්නා ලද මේ බිත්තර රක්කවා ඇත්තේ ඒ සඳහා විශේෂයෙන් තැනූ ස්ථානයකදියි. අප‍්‍රිකානු වෙරළෙන් ඔබ්බෙහි පිහිටි මඩකස්කරයේ ඇති ඇන්සොහිහි නම් ඒ ස්ථානය ඩරල් වනජීවී සංරක්ෂණ භාරයට අයත් පර්යේෂණාගාරයක්. එහි දී තමයි මේ පැටවුන් බිහි කර ගෙන ඇත්තේ.



ඩරල් වනජීවී සංරක්ෂණ භාරයේ සංරක්ෂණ ජීවි විද්‍යාඥ ආචාර්ය ග්ලින් යන්ග් මේ සංරක්ෂණ වැඩ සටහනේ එක් සාමාජිකයෙක්. ”මේ පෝචාඞ් තරාවන් වඳ වී යාමෙන් බේරා ගන්න කරන සටනේ ලොකු ජයග‍්‍රාහී පියවරක් ලෙසයි, මා මෙය දකින්නේ.” ඔහු ඒ ගැන පවසනවා.


”වසර හතකට පෙර කවුරුත් සිතා සිටියේ මේ තාරාවන් වඳ වී ගොස් ඇතැයි කියායි. ඒත් හදිසියේ ම ඉතා කුඩා කුරුලූ ගහණයක් හමු වුණා. ඒ එක්ක ම බිත්තර හමු වුණා. දැන් අපට විශ්වාසය තබන්න පුළුවන් මොවුන් වඳ වී යාමේ තර්ජන ලැයිස්තුවෙන් ඉවත් කරන්න.” ඔහු වැඩිදුරටත් කියනවා. 


source : malkekulu web

ඔබේ සිරුරේ රෝග සොයා නසන රොබෝ වෛද්‍යවරයෙක්!

රුධිර වාහිනීවල පිහිනන කුඩා චිපයක්! 
සිරුරේ පිටතින් සිට බලය සැපයෙන්නේ විද්යුත් චුම්බක තරංග මගින්!

1966 ආ ඔටෝ ක්ලෙමන්ට් හා ජෙරමි බික්ස්බි යන දෙදෙනාගේ කතාවක් ඇසුරෙන් හැරී ක්ලීනර් රචනා කළ, ‘විස්මිත සංචාරය’ Fantastic Voyage විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයේ ආ සිද්ධිය මේ නිසා සැබෑවක් බවට පත් වී තිබෙනවා.

ඒ අනුව අනාගතයේ දී ඔබේ වෛද්‍යවරයා ”මේකට සැත්කමක් කරන්න ඕනෑ නෑ. මේ පෙත්ත බොන්න, ඒක අවශ්‍ය සැත්කම ඔබේ සිරුර තුළ කරාවි.” කියා එක කුඩා පෙත්තක් ඔබට දේවි. ඒ පෙත්ත අවශ්‍ය සොයා බැලීම් කර සම්පූර්ණ සැත්කම සිරුර තුළ දීම කරාවි.

මෙය ඇමරිකාවේ ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ විස්මිත නිපැයුමක්! මේ ඉසියුම් උපකරණයට සිරුර තුළ යමින් කළ යුතු කාර්යයට අවශ්‍ය බලය සැපයෙන්නේ වෛද්‍යවරුන් විසින් කි‍්‍රයා කරවන රැුහැන් රහිත විද්යුත් චුම්බක තරංග මගිනුයි. වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයේ තාක්ෂණික විප්ලවයක් ලෙස හැඳින්විය හැකි මේ නව නිපැයුමේ මුලාකෘතිය පළමුවරට තැනූ වේලේ යොදා ගත්තේ ලොකු බැටරි පද්ධතියක් වන අතර දැන් මේ නව උපකරණය ප‍්‍රමාණයෙන් හාල් ඇටයක් තරම් කුඩා එකකි.


සිරුරේ පිටත සිට සම්පේ‍්‍රෂකයක් මගින් විද්යුත් චුම්බක තරංග ඔස්සේ සපයන බලයෙන් මිමී 3ක් පළලැති උපකරණය සිරුර තුළ දුවනවා

1966 ‘ෆැන්ටෑස්ටික් වොයේජ්’ චිත‍්‍රපටයේ රැක්වෙල් වෙල්ච් නම් මේ සුරූපී නිළියගේ සිරුර තුළට ප‍්‍රමාණයෙන් ඉතා කුඩා කළ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් යවනවා.

මෙම උපකරණයට ඖෂධ ලබා දෙන්නත්, සැත්කමක් කරන්නත් හැකියාව තියෙනවා. මෙයට කලින් රෝගය හඳුනා ගන්නත් ප‍්‍රතිකාර කරන්නත් එන්ඩොස්කොපි නම් උපකරණය අවශ්‍ය වුණා.

දැන් මේ භාවිත කරන ආකෘතිය පළලින් මිමී. 3යි දිගින් මිමී. 4ක් විතරයි.

පසුගිය සතියේ පැවති අන්තර්ජාතික ඝන-තත්ව පරිපථ සම්මේලනයේ දී (International Solid-State Circuits Conference) මහාචාර්ය ඇඩා පූන් නිදර්ශනාත්මකව පැහැදිලි කර දුන්නා මේ ඉසියුම් රැුහැන් රහිත ස්වයංකී‍්‍රයව යා හැකි වෛද්‍ය මෙවලම පාලිත චලිතයක් ඇතිව රුධිර නාළිකා හරහා යැවිය හැකි බව. ””මේ වගේ උපකරණවලින් වෛද්‍ය තාක්ෂණයෙහි විප්ලවයක් සිදු වේවි. රෝග නිර්ණය කිරීමටත් සැත්කම් ආදිය කිරීමටත් මෙයට හැකියාව තියෙනවා.” යැයි ඇය පවසනවා.

පූන්ගේ මේ නවතම නිමැවුමට පුළුවන් රුධිරය හරහා ගිහින් ඖෂධ දෙන්නත්, එහිදී දකින රෝග තත්වය විශ්ලේෂණය කරන්නත්, රුධිර කැටි ගැසීම් වැනි දේ ඉවත් කරන්නත්, රුධිර නාළ ඇතුළේ බැඳෙන මේද වැනි දේ ඉවත් කරන්නත් පුළුවන්.

සිරුර තුළ වෛද්‍ය උපකරණ තැන්පත් කිරීමේ අදහස අලූත් දෙයක් නොවෙයි. අද ලොව පුරා එවැනි දේ භාවිත වෙනවා. ඒත් ඒවායේ ඇති ලොකුම අපහසුව බැටරි විශාලවීමයි. ඒ වගේ ම ඒවා කලින් කලට තැන්පත් කරන්නට සිදු වීමයි. මේ නව ක‍්‍රමයෙන් විශාල වශයෙන් සිදු වූයේ ඒ බැටරි වදය තුරන් කොට ඉසියුම් වන අයුරින් උපකරණය කුඩා කිරීමයි.

රුධිර නාළ ඔස්සේ යාම සඳහා අවම බලයක් පමණයි, මෙයින් ලබා දෙන්නේ.

මේ චිපය ඉතා කුඩා එකක්. සිරුරේ නාළිකා තුළින් පහසුවෙන් ගමන් කළ හැකියි.

ඇන්ජලා පූන් ඇතුළු කණ්ඩායම සිතන්නේ මෙය සැත්කම් ලෝකයේ පෙරළියක් ඇති කරාවි කියලයි.

‘අපට හැකි වුණා, ඉතා හොඳින් ඉලෙක්ට්‍රොනික හා යාන්ති‍්‍රක උපාංග ඉසියුම් ලෙස කුඩා කරන්න, බල සැපයුම සිරුරෙන් පිටත සිට කරන්නට සැලසුම් කළ නිසා.’ මෙහි සම නිර්මාතෘ වූ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු විද්‍යා මහාචාර්ය තෙරේසා මින්ග් කියනවා. ‘මෙයින් අපට හැකියාවක් ලැබෙනවා, කම්බි මළ කෑමක් හෝ කැඞීමක් නැතිව විද්යුත් උපකරණයක් සිරුර තුළ තැන්පත් කරන්නට, ඒ වගේ ම බැටරි පාවිච්චිය මුළුමනින් ම අත් හැරෙනවා.’ ඇය තවදුරටත් කියනවා.

ඇන්ජලා පූන් ඇතුළු කණ්ඩායම තැනූ උපාංගය සම්පූර්ණයෙන් ම වෙනස් එකක්. එයට ඇත්තේ සිරුරෙන් පිටත සිට සංඥා යැවිය හැකි ගුවන්විදුලි සම්පේ‍්‍රෂකයක්, සිරුර තුළ බැඳීමකින් තොරව කි‍්‍රයා කළ හැකි උපකරණයක් හා ඒ තුළට කවා ඇති සංඥා හසුකර ගත හැකි දඟර කම්බි ඇන්ටෙනාවක් විතරයි.

සම්පේ‍්‍රෂකය හා ඇන්ටෙනාව චුම්බකව සම්බන්ධ වෙනවා, උපකරණයට බලය ලබා ගන්නට. මේ අනුව රැහැන් රහිතව බලය සැපයෙනවා. උපකරණය සිරුර තුළ ගමන් කරන්නේ ඒ අනුවයි.

Source: DaliyMail

වතුර බින්දුවක් තුළ දැවැන්ත යුද්ධයක්!



වතුර බින්දුවක් තුළ දැවැන්ත යුද්ධයක් ඇති බව ඔබ දන්නෙහිද? අන්වීක්ෂයෙන් ගත් මේ වීඩියෝවෙන් ඒ ක්ෂුද්‍ර ජීවීන් අතර සටන දැන් ඔන්න ඔබටත් දකින්න පුළුවන්.

කවුරුන්ද හිතුවේ නිසල ජලය තුළ මේ වගේ භායනක දේ සිදු වෙනවා ය කියලා?

ඕස්ටේ‍්‍රලියාවේ බහුමාධ්‍ය කලා උපාධිධරයකු වූ ක්ලෙමන්ස් වර්ත් මේ ජල බිඳුවක් තුළ වන මෙම අසාමාන්‍ය, බිහිසුණු සිදු වීම කැමරාවට නඟලා තියෙනවා.

මෙහි ඉන්නා සතුන් හරියට ඔබේ භයානක හීනවලින් පෙනෙන සතුන් වගෙයි. ඒත් මේ ක්ෂුද්‍ර ජීවීන් එන්නේ කෙළින් ම ගෙදර පයිප්ප කරාමයෙනුයි.

ජල බිඳුවක් තුළ හමුවන බිහිසුණු පෙනුමැති ක්ෂුද්‍ර ජීවියෙක්.

මේ නපුරු පෙනුමැති ක්ෂුද්‍රජීවියා මිලියන ගණනක් විශාලනය කළොත් ඔබ බලන්නවත් අකමැති වේවි.



වර්ත් මෙම රූප කැමරාවට නගා ඇත්තේ කැනොන් කැමරාවක් උපාංගයක් මගින් මයික්‍රොස්කෝපයකට සම්බන්ධ කිරීමෙන්.

වර්ත් ප‍්‍රායෝගික විද්‍යා පිළිබඳ සැල්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ උගත් අයෙක්. ඔහු මේ වීඩියෝව හඳුන්වන්නේ ‘මයික්‍රො අධිරාජ්‍යය’ කියලයි. ‘මෙහි ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා ජීවින් අතර ක්ෂුද්‍රජීවී මට්ටමේ යුද්ධයක් සිදු වෙනවා. හදවත මොහොතකට නවතින තරම්. මෙය සැබෑ මයික්‍රොසිනමාත්මක අත්දැකීමක්’ ඔහු එහෙමයි, එය හඳුන්වන්නේ.

‘කුඩා දේ ගැන උනන්දුවක් දක්වන අයෙක් හැටියට මට හිතුනා, ක්ෂුද්‍ර ලෝකයේ ඇතුළතට ම යන්න. ඒ නිසා මම මයික‍්‍රස්කෝපයක උපනෙත තුළින් ඒ දිහා බැලූවා.’ ඔහු පවසනවා.

‘ඇත්තෙන් ම එහි විස්තර විස්මයජනකයි. මේ කුඩා ලෝකය කොයිතරම් සංකීර්ණද? මේ පුංචි වතුර බින්දුවක් තුළ මේ තරම් දෙයක් සිදුවෙනවාදැයි සිතා ගන්නත් බැහැ.’

මේ ක්ෂුද්‍ර ජීවීන් කැමරාවට නඟන්න ඔහු යොදා ගත් ක‍්‍රමවේදය හඳුන්වන්නේ ‘අඳුරු ක්ෂේත‍්‍ර මයික‍්‍රස්කොපි ක‍්‍රමය’ කියලයි. මෙහි දී පසුතලය තද කළු පැහැයෙන් තමයි දිස්වෙන්නේ.


වර්ත් කියන්නේ මේ වීඩියෝව ‘සැබෑ මයික්‍රොසිනමාත්මක අත්දැකීමක්’ කියලයි.

මෙහි දී ක්ෂුද්‍ර ජීවීන් කැමරාවට හසු කර ගැනීමට ඔහු විශේෂ ක‍්‍රමවේදයක් භාවිත කළා. එය හැඳින්වෙන්නේ ‘අඳුරු ක්ෂේත‍්‍ර මයික‍්‍රස්කොපි ක‍්‍රමය ‘dark field microscopy’ කියලයි. එය කි‍්‍රයා කරන්නේ කැමරාවක් මයික‍්‍රස්කෝපයක් සමග උපාංගයක් මගින් යා කිරීමෙනුයි. මෙහි දී ඔහු යොදා ගත්තේ කැනන් 5ඞීමාක්ටූ Canon 5dmarkII කැමරාවක්.

ඉන් ලද ප‍්‍රතිඵල විස්මිතයි! ලොම් සහිත ක්ෂුද්‍ර ජීවීන් එකිනෙකා හා පැටලී මිනිත්තු 15ක් තිස්සේ සටන් කරන අයුරු අදහන්නත් බැරි තරම්!

මෙහි ඇති එක් මයික්‍රෝබයක් වන වොල්වොක්ස් වසර මිලියන 200ක් තරම් පැරණි එකක්. කොච්චර නම් කලක් බලා ඉඳලා තියෙනවද මේ විදියට අවධානයට ලක් වෙන්න.

ති‍්‍රමාන (3D) චොකලට් පි‍්‍රන්රටයක්

තමන්ට කැමති ආකාරයෙන් ති‍්‍රමාන හැඩතල සහිත ව කැවිලි තනා ගෙන කෑමට ගන්න ඔබටත් පුළුවන්. ඒ වුණාට ප‍්‍රශ්නය තියෙන්නේ එහි මිලයි. එක යන්ත‍්‍රයක් ඩොලර් 2,500ක්, එනම් දළ වශයෙන් රුපියල් ලක්ෂ තුනක්, විතර වෙනවා.

ඔබ කැමති රටාවක් යොදා ගෙන කැවිලි හැඩ කරන චොකලට් යන්ත‍්‍රය ඔබේ පරිගණකයේ උපදෙස් මත කි‍්‍රයා කරමින් තීන්ත වෙනුවට විදින්නේ චොකලට්. ඔබට තියෙන්නේ එහි රසය බුක්ති විඳින එක විතරයි. කේක් වටේට චොකලට් රටා දමන්න කියාපු යන්තරේ!

මේක නම් කරල තියෙන්නෙ චොක් එජ් Choc Edge කියලයි. මෙහි නිර්මාතෘ ඇමරිකාවේ එක්ස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලියෑන් හෝ.

චොකලට් එජ් යන්ත‍්‍රයෙන් ති‍්‍රමාන රසයක් දෙන චොකලට් රටා දමන අයුරු


මේක තවමත් සිල්ලරට වෙළඳ පොළෙන් ගන්න සැලසුමක් නෑ. කලින් අඩක් මුදල් ගෙවා වෙන් කර ගන්න ඕනෑ. ඒත් මේ යන්ත‍්‍රය මිල දී ගන්න දැනටමත් බි‍්‍රතාන්‍යයේ තෝන්ටන් චොකලට් නිෂ්පාදක සමාගමත් ඇමරිකාවේ සමාගම් ගණනාවකුත් කැමත්ත පළ කරලා තියෙනවා.

රස ගැන අසන කොට කටට කෙළ උනන, මිල ගැන ඇසෙන කොට ඇසට කඳුළු උනන, මේ යන්ත‍්‍රය පුද්ගලික මිල දී ගැනීමේ කෙසේ වෙතත් ඒ යන්ත‍්‍ර මගින් අනාගතයේ දී ඔබට ඔබ කැමති රටා වෙබ් අඩවි හරහා ඉදිරිපත් කොට තමන් කැමති ආකාරයට සේවා සපයන්නන්ගෙන් ආහාර පිළියෙල කරවා ගත හැකි වේවි.

ආචාර්ය ලියැන් හෝ මෙහි මුලාකෘතිය ඉදිරිපත් කළේ ගිය අවරුද්දෙයි. දැන් එය වැඩි දියුණු කරලයි මෙසේ වෙළඳ පොළට ඉදිරිපත් කරන්නේ.



ඔහු බීබීසියට කීවේ, ”අපි මේ යන්ත‍්‍රය වඩාත් සරල කරලා පාවිච්චියට පහසු විදියටයි දැන් හදලා තියෙන්නෙ.” කියායි.

”ඔබට කරන්න තියෙන්නේ චොකලට් උණු කරල මෙහි ඇති සිරින්ජය පුරවලා පි‍්‍රන්ටරයට ඇතුළු කරන්න විතරයි.” ඔහු තවදුරටත් කියනවා.

චොකලට්වලින් ඕනෑම අදහසක් රසවත්ව කියන්න පුළුවන්.

ති‍්‍රමාන මුද්‍රණ තාක්ෂණයෙන් කෙරෙන්නේ ස්තර කීපයකින් රටා මැවීමයි. මේ තාක්ෂණය දැනටමත් ප්ලාස්ටික් හා ලෝහ ආශ‍්‍රිත කර්මාන්ත කටයුතුවලට යොදා ගන්නවා. චොකලට්වලට යොදා ගත්තේ මේ පළමු වතාවටයි.
මේ පර්යේෂණයේ දී ඔවුන්ට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. චොකලට් එක්ක වැඩ කරන එක ලේසි නෑ. ඒකට නියමිත රත් කිරීමේ හා සිසිල් කිරීමේ කි‍්‍රයාවලියක් චක‍්‍රානුකූලව අවශ්‍ය වෙනවා. ඒ සඳහා ති‍්‍රමාන මුද්‍රණ කි‍්‍රයාවලියට විශේෂ වූ පාලන පද්ධතියක් නිර්මාණය කරන්න ඔවුනට සිදු වුණා.


”මේ ක‍්‍රමයේ ඇති සුවිශේෂත්වය වන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය විදියට රුචි පරිදි මේවා සැලසුම් කිරිමට හැකි වීමයි. දරුවකුගේ සෙල්ලම් බඩුවක හැඩ රුවකට මිතුරකුගේ මුහුණ යොදන්න පුළුවන්. තමන් පි‍්‍රය කරන ඕනෑම රූපයක් ති‍්‍රමාන ව යොදා ගත හැකියි. මෙයින් කළ හැකි දේ අසීමිතයි.” ආචාර්ය හෝ කියනවා.

චොක් එජ් නිර්මාතෘ ආචාර්ය ලියැන් හෝ

”මේ ක‍්‍රමය ඉදිරියේ දී පාරිභෝගිකයන්ගේ රුචිය හා අවශ්‍යතා අනුව ඕනෑම දෙයකට යොදා ගත්තෑකි. ආරම්භයක් හැටියට අප තෝරා ගත්තේ චොකලට්. මේවායේ කිසි දෙයක් අහක යන්නේ නෑ. වැරදුණු ඒවාත් කෑමට ගත්තෑකි.”

ඉංජිනේරු හා භෞතික විද්‍යා පර්යේෂණ කවුන්සලයේ EPSRC ප‍්‍රධාන විධායක මහාචාර්ය ඬේව් ඩෙල්පි කියන්නේ, ”මෙය තාක්ෂණ දෙකක් එක් කරන නිර්මාණශීලි භාවිතයක්. ඉතා හොඳ උදාහරණයක්, නිර්මාණශීලි පර්යේෂණ, නව අදහස් හා නව නිෂ්පාදන බිහි කිරීමට උපයෝගී කර ගන්නේ කෙසේ ද යන්නට” කියායි.

” ඉංජිනේරු ශිල්පයේ නව ප‍්‍රවණතා භාවිත කරමින් ඩිජිටල් තාක්ෂණයේ හැකියාවන් වානිජමය අවශ්‍යතා සඳහා යොදා ගැනීමට කළ උත්සාහයක්. අපට පෙනෙනවා මේ ඔස්සේ නව වෙළඳ පොළ හා නව රැකියා අවස්ථා උදා වෙන බව. විශේෂයෙන් ම රසකැවිලි ක්ෂේත‍්‍රයේ.” ඔහු තවදුරටත් කියනවා.



source : malkakulu web


භූමිකම්පා හා සුනාමි අනතුරු ඉක්මනින් හා නිවැරදිව ලබා ගැනීමට...

භූමිකම්පා, සුනාමි, ජල ගැලීම් වැනි ස්වභාවික විපත් වලදී ඒ පිළිබඳව ඉක්මනින් හා නිවැරදිව අනතුරු හැඟවීම් ලබා ගැනීමට gdacs.org නමැති වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් ඔබට පුළුවන්. 
මෙම gdacs.org වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපිය කොමිසමයි. මෙහි ලියාපදිංචි වීම මගින් ලොව ඕනෑම තැනක සිදුවන ස්භාවික ආපදාවක් ඉක්මනින්ම SMS පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් ඔවුන් නොමිලේම දැනුම් දෙනවා.




මේ සදහා ලියාපදිංචි වන අයුරු පහත දැක්වේ.

පියවර 1
http://register.gdacs.org/Detail.aspx
මෙම ලින්ක් එකට ගොස් ඔබගේ ඊමේල් ලිපිනය හා පාස්වර්ඩ් එකක් ලබාදී Next කරන්න.

පියවර 2
ඊලග පිටුවේදී ඔබගේ නම සහ රට ලබා දෙන්න. අනිකුත් විස්තර පිරවීම අත්‍යවශ්‍ය නැත. දැන් Next කරන්න.


පියවර 3
මෙහි ඇති Service Type යන්නෙන් SMS යන්න තෝරා ඔබගේ ජංගම දුරකථන අංකය නිවැරදිව, ඔවුන් දන්වා ඇති ආකාරයට ලබාදෙන්න. ඉන්පසු Add Address යන්න ක්ලික් කරන්න. එවිට ඔබ නිවැරදිව අංකය ඇතුලත් කර ඇත්තම් Your current service addresses යන විස්තරය යටතේ ඔබගේ දුරකථන අංකය පෙන්වනු ඇත. මේ ආකාරයට ඔබට ඔබගේ නිවැසියන්ගේ ජංගම දුරකථන අංකද ඇතුලත් කර ගත හැක. ඔබට අවශ්‍ය දුරකථන අංක ඇතුලත් කරගැනීමෙන් පසු Next ක්ලික් කොට ඊලග පිටුවට යන්න.

පියවර 4
දැන් Add a new alerting service to my account යන්න යටතේ Service Type යන්නෙන් SMS තෝරා Disaster Type යන්නෙන් ඔබට අවශ්‍ය කුමන අන්දමේ අනතුරු හැගවීමක් ද යන්න තෝරා Add Service ක්ලික් කරන්න. ඔබට Disaster Type එකක් හෝ කිහිපයක් වුවද මේ ආකාරයට ඇතුලත් කර ගත හැක. ඉන්පසු Next කරන්න.


පියවර 5
මෙහිදී ඔබ ඇතුලත් කෙරු විස්තර සියල්ලම පෙන්වන අතර ඒවා නිවැරදි බව තහවුරු කර Accept Conditions for use යන්න tick කොට Save කරන්න.


ඉන්පසු එහි සදහන් අන්දමට ක්‍රියා කර ඔබගේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකය තහවුරු කරගෙන ඔබටත් මෙම ස්වභාවික විපත් පිළිබද අනතුරු හැඟවීම් නොමිලේම ලබාගත හැක.




තවත් වෙබ් අඩවියක්...

 
 
උපුටා ගැනීම : malkakulu වෙබ් අඩවිය.

පියාඹන කාර් එකක්!


 ඉගිල්ලෙන කාර් ළඟ එනවා. පියාසර කරන මෝටර් රථ තවදුරටත් විද්‍යා ප‍්‍රබන්ධවලට අයිති දෙයක් නෙවෙයි. එකක් නොවෙයි, දෙකක්! පියාඹන කාර් දෙකක් ම පසුගිය දා හඳුන්වා දෙනු ලැබුවා.


එකක් 2013 අපේ‍්‍රල් 2 වැනිදා ප‍්‍රදර්ශන චාරිකාවක යෙදුණා. ඒ තමා ඇමරිකාවේ මැසචුසෙට්ස්හී ටෙරාෆූජියා සමාගම නිපදවූ පියාඹන මොටෝ රිය, ‘ට‍්‍රාන්සිෂන්’. ලබන අවුරුද්දේ ඔවුන් මෙම කාර් වෙළඳ පොළට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

මේ කාර් ආවා ම පාවිච්චි කරන්න අලූතින් නීති හදන්නත් වේවි.

ඇමරිකානු ටෙරාෆූජියා සමාගම මේ නව අහස් මොටෝරිය අහසට නංවා වැඩි වේලාවක් ගියේ නෑ, ඕලන්දයේ සමාගමක් ද අහසින් යා හැකි රියක් ලොවට ඉදිරිපත් කළා. එය හැඳින් වූයේ පැල් -ඪ කියායි. එහි නිෂ්පාදක සමාගම කියන්නේ පවත්නා අන්තර් ජාතික නීතිවලට අනුව ඔවුන්ගේ යානයට ගොඩ බිම මෙන්ම අහසේත් යා හැකියි, කියලයි.

මෙම රථයට ආසන දෙකක් තියෙනවා. රෝද හතරක් තියෙනවා. කාර් එකක් හැටියට මහ මඟ යන විට හකුළා තැබිය හැකි අත්තටු (පියාපත්) තියෙනවා. පසුගිය මාසයේ දී අත්හදා බැලීම සඳහා ගිය ගමනක දී මිනිත්තු 8ක් තුළ අඩි 1400ක් ඉහළින් පියාසර කළා. සාමාන්‍යයෙන් ජෙට් යානයක් යන්නේ අඩි 35,000ක් ඉහළ අහසේයි.

අත්හදා බලන්න යන ගමනක්. මාර්තු 23 වැනිදා ‘අහස් රිය’ මුල් ම අහස් ගමනේ යෙදුණු අයුරු.

දැනටමත් ගැනුම්කරුවන් 100ක් පමණ දෙනා ඩොලර් 10,000ක් බැගින් මුදල් තැන්පත් කර තියෙනවා, මේ ට‍්‍රාන්සිෂන් රථයක් මුලින් ම වෙළෙඳ පොළට ආවා ම ලබා ගන්න බලාපොරොත්තුව ඇතුව. මේ ගණන විශාල වශයෙන් වැඩි වෙයි කියලා හිතනවා එන සතියේ නිව්යෝක් නගරයේ පැවැත්වෙන මෝටර් රථ ප‍්‍රදර්ශනයෙන් පස්සෙ.

ඒත් දැන්ම අපට අපේ නගරවල මේ කාර් දැක ගන්න හිතන්න එපා! මේ රථයක් නිපදවන්න යන වියදම ඩොලර් 279,000ක් කියලයි කියන්නේ. වාහන තදබදයකට අහුවුණොත් නම් එක පාරට ම පාරෙන් අහසට නැගලා යන්න බැහැ. හේතුව මේක අහසට නංවන්න ධාවන පථයක් ඕනැ වෙන නිසා.






ඇමරිකානුවන් කාලයක් තිස්සේ මේ පියාඹන කාර් ගන සිහින මැව්වා. 1930 ගණන්වල සිට එවැනි රියක් තනන්න තැත් කළා. ඒ බව සිහිපත් කරන නිව්යෝක්හී මෝටර් කාර්මික විශේෂඥයකු වූ රොබට් මාන් කියන්නේ ටෙරාෆූජියා ආයතනය දැන් ඒ සිහිනය සැබෑ කර ගන්න ආසන්නයි, කියලයි. රජය දැන් අවසර දීලා තියෙනවා නියමිත බරින් අඩු ටයර් හා කවුළු වීදුරු මේ රියට යොදා ගන්න, පියෑඹීම පහසු කරවන්න.

නගරයේ වීථියක දී, ආසන දෙකක් ඇති අහස් රියේ පියාපත් හකුළා ගෙන යන අයුරු

මෙවැනි විශේෂ රථ සඳහා විශේෂ මාර්ග නීති අවශ්‍ය වේවි. රජයන් ඒවා ගෙනෙනතුරු ඉන්න වේවි.

ඇමරිකන් රජය දැනටමත් ට‍්‍රාන්සිෂන් යානයට තාවකාලික අවසරයක් දීල තියෙනවා, ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පාලක උපකරණ නොමැතිව තනන්නට, වැඩිපුර රාත්තල් හයක විතර බරක් යානයට එකතු වෙන හින්දා. මේ යානය සඳහා අනුමත කර තියෙනවා, සාමාන්‍ය ගුවන් යානාවලට වඩා සහනදායී පියවර කීපයක් ම. වේග සීමා, බලපත‍්‍ර අවශ්‍යතා ආදිය ලිහිල් කර තියෙනවා. මේවා පදවන අයට නියමුවන්ට වඩා අඩු පුහුණුවක් ප‍්‍රමාණවත්.

මේවා පදවන්නකුට ඒ සඳහා පියසැරි පැය 20ක පුහුණුවක් හා පරීක්ෂණයක් සමත් වීම අවශ්‍යයි.

1930 ගණන්වල සිට නිර්මාණකරුවන් අහස් කාර් තනන්න උත්සාහ ගත්තා. මේ 1947 දී සැලසුම් කළ කොන්වෙයා අහස් රියයි.

1973 දී තැනූ ඒවීඊ මිසාර් අහස් රිය, ෆෝඞ් පින්ටෝ රථයක් හා සෙස්නා ස්කයිමාස්ටර් ගුවන් යානයක රාමුවක් එක් කළ මේ රිය අත්හදා බලද්දී පියාපත් විවෘත නොවීම හේතුවෙන් අනතුරට ලක් ව එහි නිර්මාණකරුවා මිය ගියා.

1930 ගණන්වල තැනූ වෝටර්මන් ඒරොබයිල් යානය සාර්ථකව පියාසර කෙරුණා. මෙවැනි සරල යානා පහක් නිපදවූවත් එය භාවිතයට ආවේ නෑ.

ට‍්‍රාන්සිෂන් රියකට පාර දිගේ පැයට කිලෝ මීටර 70ක වේගයකින් යත හැකියි. අහසේ පැයට කිලෝ මීටර 115ක් යන්න පුළුවන්. මේ යානය ගැන අදහස් දැක්වූ ස්ටීවන් මොස්කාටිලෝ ප‍්‍රකාශකයා කීවේ මෝටර් රථ ඉන්ධන ගැලූම් 23ක ධාරිතාවක් යානය සතු බවයි. මේ යානයට අහසේ දී පැයකට ගැලූම් 5ක් වැය වන අතර මහ මඟ දී ගැලූමකින් සැතැපුම් 35ක් යා හැකි බවයි.

2006 සිට ම ටෙරාෆූජියා සමාගම මෙවැනි යානයක් තනන්න අත්හදා බැලීම් කරනවා. දැන් තමයි ඔවුන් ඒ සිහිනය සැබෑ කර ගන්න හදන්නේ.

ටෙරාෆූජියා සමාගමේ ට‍්‍රාන්සිෂන් යානයට වගේ ම ඕලන්ද පැල් යානයටත් ඉහළ නඟින්න අඩි 500ක් දිග ධාවන පථයක් ඕනෑ වෙනවා.

පැල් යානයට අහස්යානා තටු වෙනුවට ඇත්තේ හෙලිකොප්ටර් තලයි. බිම යද්දී අකුළා ගෙන යන ඒවා ඉහළට නැංවීමට ඕනෑ වූ විට දිග හැරිය හැකියි.

බිම දී පැල් යානය කි‍්‍රයා කරන්නේ ස්පෝට්ස් කාරෙකක් වගෙයි. දෙදෙනකු පමණක් ගෙන යන විට බිම දී මෙයට පැ.සැ. 112ක වේගයකින් ගිය හැකියි. අවශ්‍ය විට මිනිත්තු කීපයක් ඇතුළත පියාපත් තල හා වල්ගය දිග හැර අහසේ ගමනට සූදානම් කළ හැකියි. මෙයට යොදා ගෙන ඇත්තේ ගයිරොකොප්ටර් තාක්ෂණයයි.




source : malkakulu website