Friday, April 4, 2014

එකිනෙකා හා කතාබහ කරන පැළෑටි

එක්සන් හෙවත් එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු පර්යේෂණය කරල තියෙන්නෙ. ඒ පර්යේෂකයන් මෙයට මග පාදා ගත්තේ ගෝවා ශාකවල ඞීඑන්ඒවල වෙනසක් ඇති කිරීමෙනුයි. ඒ සඳහා ඔවුන් කළේ ශාකයේ ඞීඑන්ඒවලට ලූසිෆරේස් නම් ප්‍රෝටීනයක් ඊට එක් කිරීමයි. එවිට එහිදී ඇති වන ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා ආලෝකයක් නිකුත් කෙරෙනවා. කලාමැදිරියන් අඳුරේදී දීප්තියක් නිකුත් කරන්නේ මේ ක‍්‍රමයටයි.
පර්යේෂණයේ දී ඔවුන් ගෝවා ශාකයක පත‍්‍ර කැබැල්ලක් කපා දැමූ විට හෝ සිදුරු කළ විට හෝ ඒ අනුව ශාකය මතුපිට මීතයිල් ජැස්මනේට් නම් වායුවක් නිපදවනු ලැබුවා. ඔවුන්ගේ දීප්තිමත් කිරීමේ උපක‍්‍රමයෙන් ඒ වායුව ආලෝකමත් වන නිසා ශාකයේ ප‍්‍රතිචාරය කැමරාවට නැඟිය හැකි වුණා. ඒ වායුව නිසා අසල තිබුණු ගෝවා පැල දෙකකට, අතවත් නොතබාම, මේ පණිවිඩය ගියා. ඒ අනතුරක් ළඟ ඇති බව හා ආරක්ෂා විය යුතු බව කියන පණිවිඩයයි. ඒ පැල වහාම කළේ පත‍්‍රවලට විෂ සහිත රසායනයක් නිකුත් කිරීමයි. වෙනදා එසේ කරන්නේ ඔවුන් කා දමන දළඹුවන් වැනි සතුරු සතුන් ආ විටයි.

එවැනි කි‍්‍රයාවලියක් විද්‍යාඥයන් විසින් ප‍්‍රථම වතාවටයි, මෙසේ කැමරාවට හසුකර ගනු ලැබුවේ. විද්‍යාඥයන් කියන්නේ මේ අනුව ශාක එකිනෙකා අතර ‘අපට නොපෙනෙන’ බසකින් කතාබහ කරන බවට පැහැදිලි සාක්ෂි තිබිය හැකි බවයි. ඒත් අප තාමත් ඒ බස ගැන දන්නේ නැහැ.

මේ පිළිබඳ විස්තරයක් ඇතුළත් ශාක ලෝකයේ රහස් හෙළිකරන වාර්තා වැඩසටහනක් පසුගිය සතියේ BBC2 සේවයෙන් විකාශය කෙරුණා. How to Grow a Planet ‘ග‍්‍රහ ලොවක් වවන හැටි’ නම් වූ කොටස් තුනකින් යුත් මේ වැඩසටහන ඉදිරිපත් කළේ මහාචාර්ය ඉයන් ස්ටුවට් විසින්. ඔහු එංගලන්තයේ භූවිද්‍යා සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයෙක්. එක්සෙටර් Exeter විශ්ව විද්‍යාලයේ මේ සම්බන්ධයෙන් කළ පර්යේෂණ ගැන ඔහු එහි දී විස්තර කළේ මෙහෙමයි:


”එක් ශාකයකින් නිකුත් වූ වායුවක් මගින් අසල්වැසි පැළැටි දෙකක ජෛව කි‍්‍රයාවලියේ වෙනසක් ඇති කෙරුණා. එයින් ඔවුන් දැන ගත්තා ආරක්ෂා විය යුතු අනතුරක් මග එන බව. ඇත්තෙන්ම විස්මිත දෙයක් විවිධ ශාක අතර නිරන්තර කතාබහක් සිදුවෙන බව දැන ගන්නට ලැබීම. ඔවුන්ට කෙසේ හෝ ක‍්‍රමයකින් රසායනික මගින් දැන ගන්නවා අනිත් අයට වෙන දේ ගැන. අප අවට අපට නොතේරන බසකින් මේ සන්නිවේදනය නිතරම සිදුවෙමින් පවතිනවා.

”බොහෝ අය දන්නේ ශාකවලට ඇත්තේ අකි‍්‍රය ජීවන ක‍්‍රමයක් කියලයි. ඒත් ඇත්ත නම් ඔවුන් තුළත් චලනය, සංවේදනය හා සන්නිවේදනය වැනි හැකියාවන් ඇති බවයි. මෙය කිසියම් ආකාරයක බුද්ධිමය හැකියාවක් ඇති බව පෙන්වීමක්’ මහාචාර්ය ඉයන් ස්ටුවට් එම වැඩසටහන ඉදිරිපත් කරමින් කීවා.

 
එංගලන්තයේ වනවගාව වැඩසටහනක් මහරැජින අතින් ඕක් පැළයක් රෝපණය කොට ආරම්භ වූ අවස්ථාව

මෙම පර්යේෂණයෙහි මූලිකත්වය ගත් ජෛවරසායන විද්‍යාඥයකු වූ මහාචාර්ය නික් ස්මිර්නොෆ් ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”අපට මේ පර්යේෂණයෙන් අවස්ථාව ලැබුණා, දෘශ්‍ය මාධ්‍යයෙන් පෙන්වන්න, ශාකයක් තමන්ට තුවාලයක් සිදු වූ විට අවට ඇති ශාකවලට රසායනික මගින් ඒ බව දන්වන බව. ඒත් මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ, ශාකවලට වේදනාව දැනෙන බව, මොකද ඒවාට ස්නායු පද්ධතියක් නැති නිසා.”

”දැනට අපි දන්නේ නැහැ ඒ ඇයිද කියා. සමහර විට ශාකය තමන්ගෙ පත‍්‍රයකට සිදු වූ හානිය ගැන තමන්ගෙම අනික් පත‍්‍රවලට දැනුම් දෙන්නට කරන උත්සාහයක් ‘අසල්වැසි’ පැළෑටි විසින් අල්ලා ගත්තා විය හැකියි. එහෙමත් නැත්නම් කිසියම් හේතුවක් නිසා අනික් ශාකවලට ඒ බව දැන්වීමට ඒ ශාකයට අවශ්‍ය වුණා විය හැකියි.”

”මෙයින් ශාකවලට ඇති වාසිය කුමක්දැයි අපට සිතා ගන්න බැහැ, විශේෂයෙන් ම ඔවුන් අතර එකිනෙකා පරයා නැඟී සිටීමට තරගයක් ඇතැයි අප සිතනවා නම්. මේ ගැන නම් තවත් ගොඩක් පර්යේෂණ කරන්න තියෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

- පර්සි ජයමාන්න

No comments:

Post a Comment