Monday, April 7, 2014

නීල් ආම්ස්ට්‍රෝංට කලින් හඳට ගිය පුවත් වාර්තාකරු ටින්ටින්


අපි කාගේත් ආදරයට ලක්වූ අපූරු චිත‍්‍රකතා වීරයෙක් පසුගියදා 84 වැනි උපන්දිනයට පා තැබුවේය. ඒ වෙන කවුරුවත් නොව නීල් ආම්ස්ට්‍රෝංට කලින් හඳට ගිය, අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින ලෝකය වටේ යමින් වීර වික‍්‍රමයන්ට මුහුණ දෙන ලෝක පතල පුවත් වාර්තාකරු ටින්ටින්ය.



82 වැනි වියට පා තැබුවත් ටින්ටින් තවමත් තරුණ විය නොඉක්ම වූ අමරණීය චරිතයකි. ටිංටිංගේ කිට්ටුම මිතුරා වූ සුදෝ සුදු පුංචි ටෙරියර් බලූ පැටවා ස්නෝවි මෙන් ම කපිතාන් හැඩොක්, කැල්කියුලස්, තොම්ප්සන් නිවුන් සොයුරන් නොහඳුනන කෙනකු ලොව නොමැති තරම්ය. ටින්ටින් බිහි කළේ බෙල්ජියානු ජාතික ජෝර්ජ් රෙමී විසිනි. ජෝර්ජ් රෙමී ටින්ටින් ඇතුළු ඒ අපූර්ව චරිත නිර්මාණය කළේ ‘හර්ජි’ යන අන්වර්ත නාමයෙනි. 1983 වසරේ හර්ජි මියගිය පසු ටින්ටින්ගේ වික‍්‍රම වෙන කිසිම නිර්මාණකරුවකුට ලබා නොදීමට හර්ජිගේ බිරිය ෆැනී රොඞ්වෙල් කි‍්‍රයා කළේය.


ටින්ටින් හා ඔහුගේ යාළුවන් කාටූන් චිත‍්‍රපට ති‍්‍රත්වයක් තුළින් රිදී තිරයට ගෙන ඒමට ඞී‍්‍රම්වර්ක්ස් ආයතනය, ස්ටීවන් ස්පීල්බර්ග් හා ලෝඞ් ඔෆ් ද රිංස් අධ්‍යක්ෂක පීටර් ජැක්සන් හර්ජිගේ බිරිය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ. මේ අනුව පළමු ටින්ටින් චිත‍්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරුනා. යුරෝපයේ අතිශයින් ජනප‍්‍රිය ටින්ටින් ඇමෙරිකාවේ එතරම් ජනප‍්‍රියත්වයට පත් නොවූ ටින්ටින් මෙම නව චිත‍්‍රපට ති‍්‍රත්වය හරහා ජනපි‍්‍රය වනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.


1928 වසරේදී අවුරුදු 16 ක් වයසැති ඩෙන්මාක ජාතික පෝල් හල්ඞ් සුප‍්‍රකට විද්‍යා ප‍්‍රබන්ධ කතාකරු යූල්ස් වර්න්ගේ උපන්දිනය වෙනුවෙන් ලොව පුරා දීර්ඝ සංචාරයක යෙදුණේය. ඔහු මොස්කව් නුවර රතු චතුරස‍්‍රය ඉදිරිපිටදී ගත් ඡායාරූපය අනුව පළමු හර්ජි ටින්ටින් වික‍්‍රමයේ ටින්ටින්ව සිතුවම් කර තිබේ. ලෝක සංචාරය නිමා කර යළි කෝපන්හේගන් දුම්රිය ස්ථානයට පැමිණි විට පෝල් හල්ඞ් පිළිගන්න අති විශාල ජනකායක් රැස්ව සිටියහ. පළමු වික‍්‍රමය නිමා කර පැමිණෙන ටින්ටින්ව ජනතාව පිළිගන්නේත් ඒ අනුවයි.


ටින්ටින්ගේ ප‍්‍රථම වික‍්‍රමය පළ වූයේ 1929 ජනවාරි 10 වැනිදාය. ඒ ‘රොමාන් කැතලික් බ‍්‍රසල්ස්’ නම් සතිපතා සඟරාව හා නිකුත් කළ ‘ලෙ වින්ග්ටිම් සිකේල්’ නම් අතිරේකයේය. ටින්ටින්ගේ පළමු වික‍්‍රමය වූයේ සෝවියට් දේශයට ගිය වීර චාරිකාවකි. එදා සිට හර්ජි මියයන තෙක් ටින්ටින් වික‍්‍රම 24 ක් නිර්මාණය කර තිබේ. මෙම චිත‍්‍ර කතා පොත් භාෂා 50 කට පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන 200 ක් අලෙවි වී ඇත. සදා අමරණීය ටින්ටින් වික‍්‍රම එදා මෙන්ම අදත් මතු පරපුර අතරේත් ජනප‍්‍රිය වනු ඇත.


ටින්ටින් චිත්‍රපටය

No comments:

Post a Comment